Thursday, April 30, 2009

විචාර ප්‍රතිචාර (කවියකි)

සිත්තරා දිවාරෑ
වෙහෙසී...........
මැව්වේය අනගි සිත්තමක්
කිසිවකුත් එ ගැන කතා නොකල බැවින්
කළකිරුණු සිත්තරා
දිවිනසා ගත්තේය.......
අනගි සිතුවම
ධනව‍තකු සතු විය
මන්දීරයේ බ්ත්තියක් එකලු කළ
අහා! සිතුවම අනගියි
අපූර්ව නිර්මාණය දකින්නට විචාරකයෝ ආහ
කවියෝද ආහ
රසිකයෝද ආහ පෝලිමේ.......
සියලු දෙනා කිව්වේ
ධනපතියාගෙ උසස් නිර්මාණයක් වූ "අලංකාර මන්දීරයේ"
බිත්තියක සැරසී සිටින්නට තරම්
මේ සිතුවම අනගි බවයි.........

අපේ රූපවාහිනී නාට්‍ය කලාව කොයිබටද?

අප රටේ රූපවාහිනී නාට්‍ය නමැති නාට්‍යමය වැඩසටහන් ආරම්භවී දැනට ගෙවී ගොස් ඇත්තේ වසර 27 ක පමණ කාලයකි. මෙම වසර ගනනාව පුරා විවිධ නාලිකා මගින් රූපවාහිනී නාට්‍ය දහස් ගනනක් මේවන විට විකාශයවී හමාරය. පර්යේෂණ මට්ටමින් හා කලා නිර්මාණ වශයෙන් ආයාසකර ප්‍රයත්න හැටියට නාට්‍ය ගනනාවක් ඉදිරිපත් වූ අතරම ටෙලි නාට්‍ය නමින් කරන්නංවාලේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කරන ලද "ලට පට" ගනනාවක්ද වෙයි. එදා ආරම්භයේ ප‍ටන් අද දක්වා මේ තත්ත්වය දක්නට ලැබේ. "දිමුතු මුතු" නමැති හොඳ ප්‍රසාංගික ටෙලි නාට්‍යයෙන් ආරම්භය ලැබී "ලාහිරැ දහසක්" ඹස්සේ යායුතු මග හසර සොයමින් ක්‍රමයෙන් වැඩුනු මෙ‍ම නිර්මාණ ක්‍ෂ්ත්‍රය අද එදාට වඩා "තාක්‍ෂණ" අංශයෙන් බොහෝදුර ගිය දියුනුවක් ලබාගෙන ඇති නමුත් "කලාවක්" වශයෙන් කැපී පෙනෙන කිසියම් දියුණුවක් ලබා ඇත්තේම නැතිබව පැවසීම යුක්ති සහගතය.

සිංහල ටෙලි නාට්‍යන්ගේ තත්ත්වය පිළිබඳව කරන විමර්ෂණ වලදී නිතරම හොඳ ටෙලි නාට්‍ය වශයෙන් සඳහන් කරන නාට්‍ය කිහිපයක නම් නිතර අසන්නට ලැබේ. යසෝරාවය, පලිඟු මැනිකේ, කඩූල්ල ආදී වශයෙන් කවුරුත් සඳහන් කරන එම ටෙලි නාට්‍යයන් ගැන වුවද ප්‍රමානවත් ගැඹුරු විමර්ෂණයන් කෙරී නැති අතර ඇතැමුන් ඒවා සඳහන් කරන්නේ හැමෝම කියන නිසා තමන් තුල ඒ පිළිඹඳ ඇතිකර ගත් හේතු රහිත විශ්වාසයක් නිසා පමනකි. කාලය‍ට සාපේක්‍ෂව හිතට දැනුනු ‍"හොඳ නරක" පිළිඹඳ හැඟීමක් ශේෂ කල නාට්‍ය කිහිපයක් පමනක් බිහිවී ඇතිබව සත්‍යයකි. එහෙත් උසස් නිර්මාණ කාලය හා දේශය යන කරුණු අභිබවා චිරාත් කාලයක් රසවහනය කරන බැවින් එවැනි ටෙලි නිර්මාණ අප රටෙහි බිහිවී ඇතිදැයි අධ්‍යයනය කොට බැලිය යුතුය.
උසස් රූපවාහිනී නාට්‍ය කලාවක් උදෙසා වර්තමානයේ සිට අනාගතය දෙස බලන අපි තවමත් බිහිවී නොමැති උසස් රූපවාහිනී නාට්‍ය කලාවක් පිළිඹඳ අපේක්ෂා ඇතිකරගෙන ඒ සඳහා අවශ්‍ය ශික්ෂනයෙන් යුතුව දුෂ්කර අභ්‍යාසයෙහි යෙදියයුතු වෙමු.

අනාගතයේදී වඩා උසස් ජනප්‍රිය මෙන්ම කලාත්මක රූපවාහිනී නාට්‍ය නිර්මානයන් සඳහා අභ්‍යාස කරන නිර්මාණ කරුවන් ඒ සඳහා ගතයුතු පියවර කිහිපයක් ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.

Wednesday, April 29, 2009

ආනන්දය හා ප්‍රඥාව

කලාවේ අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව ප්‍රදානය කිරීමයි. ආනන්දය යනු රසාස්වාදයයි. රසාස්වාදය යනු පාඨක/ප්‍රේක්ෂක පිරිසගේ චිත්ත සන්තානයෙහි හටගන්නා චමත්කාර ජනක හැඟීමයි. චමත්කාරය හටගන්නේ කලා කෘතියකින් වහනයවන රමණීයත්වය හා අත්දැකීම හෙවත් සත්‍ය අනුවයි.
රමණීයත්වය (Beauty) යනු අපූර්වත්වයි. පෙර නොවිඳි විරු හැඩයක් හා අන්තර්ගතයක් සහිතනම් රමණීය නිර්මාණයක් වෙයි. රමණීය අන්තර්ගතය අපූර්ව වූ අත්දැකීමක් ධ්වනය කරයි.
අපූර්ව වූ අත්දැකීම ප්‍රේක්ෂකයා/පාඨකයා/රසිකයා ප්‍රඥාවන්ත කරයි.

කලාකරුවාට අනන්දයෙන් හා ප්‍රඥා‍වෙන් යුක්ත නිර්මාණ ප්‍රදානය කිරීමට ඇති බාධාවන් කවරේද?

  1. අපූර්වවූ ආකෘතියෙන් හා අන්තර්ගතයෙන් සරුවූ නවමු නිර්මාණ උත්පාදනය කිරීමට අවශ්‍ය ප්‍රතිභාව නැතිකම හෝ එම ප්‍රතිභාව මතු කෙරෙන විවේක බුද්ධියෙන් තොරවීම.
  2. අපූර්වවූ අත්දැකීම් දැකිය හැකි දෘෂ්ඨියෙන් තොරවීම.
  3. අපූර්ව දේ දකින දෘෂ්ඨියෙන්සොයාගත් දුලබ අත්දැකීම රමණීයත්වය නොකෙලෙසා ඉදිරිපත් කිරීමේ ශිල්පීය ඥානයෙන් තොරවීම.
යන කරුණුය.