Tuesday, May 19, 2009

සොයුරනි

ලාංකික දමිළ සොයුරනි, සොයුරියනි
බසයේදී හෝ දූම්රියේදී හෝ
රෝහල් බංකුවේදී හෝ
මහ මගදී හෝ
කවර ගනුදෙනුවකදී හෝ
අපි අපේ ඡාතියක් ගැන නොසැලකුවෙමු
ජාතිවාදී අරමුණු ඉස්මතු නොකලෙමු
ඉදිරියටත් ජාති භේද නොසලකන්නෙමු
ඔබත් ඔබේ ජාතියට
වෙනම බංකුවක් හෝ
වෙනම ඉඩක් හෝ
වෙනම ධජයක් හෝ
නොඉල්ලන්නට පරෙස්සම් වුවහොත්
අප දෙදෙනාටම එකම ධජයක් යට
මේ එකම බංකුවේ හොඳටම ඉඩකඩ තිබෙනු ඇත
සැනසීම තිබෙනු ඇත

අවි ගත්තෝ අවියෙන් නසිති

ඔහුගේ නමෙහි තේරුම "හිරු" යනුයි.‍
එහෙත් ඔහු ආලෝකය දුන් හිරු නොවේ.
ඔහු විෂ සුලඟින් මෙලවුණු චන්ඩවූ, පරුෂවූ, අශික්ෂිත "ගිනිගොඩක්" ම විය.
ගිනිගොඩ නිවා දැමිණි.
බාහිර බලපෑමි නමැති විෂ සුලඟ තවමත් හමයි.
එයද නුදුරෙහි නිමාවනු ඇත.
ඔහුගේ චරිතයෙන් ඔහු ලොවට පෙන්වා දුන්නේ කුමක්ද...?
අනාගත ඉතිහාසයේ පරිච්ඡේදයක් පාසා ඔහුගේ නම ගර්හාවට භාජනය වනු ඇතැයි
මම කියමි.
එසේ නොවේ යැයි කියන කිසිවකු හෝ සිටියහොත්
ඔහුගේ අදහස් සාධාරණ දැයි විනිශ්චය කරන්නට ලෝකය සැදී පෑදී සිටී.
එහෙත් ඒ ගිනිගොඩ සාධාරණ යැයි කිහන්නට
කිසිවකු මේ මිහිපිට නැතැයි මම සිතමි.

Saturday, May 16, 2009

නිර්මාණ රසවිඳීම හා විචාරය

යම්කිසි නිර්මාණයක් කියවලා හරි, නරඹලා හරි එය විචාරය කරන්න කලින් උත්සාහ කරන්න ඕන ඒ කෘතිය රසවිඳීමයි. රසාස්වාදය තමයි රසිකයාගේ මූලිකම උවමනාව. අප චිත්‍ර පටයක් බලන්න යන්නේ විචාරය කරන්න නෙමෙයි රසවිඳින්නයි. ඊට පසු නිර්මාණ කෘතිය තමන්ට අත්කර දූන් ආශ්වාදනීය අත්දැකීම ගැන හැඟීම තමයි අප විචාරයක් හැටියට පිටකරන්නේ. අපූරුයි! හරි ෂෝක් චිත්‍ර පටිය! ආෂික්! විශිෂ්ටයි! ආදී වචන වලින් රසිකයා තමාගේ දැනුමේ හැටි හැටියට අර ආශ්වාදනීය අත්දැකීම ගැන සඳහනක් කරනවා. මේ තමයි රසිකයාගේ අව්‍යාජ මූලිකම විචාරය. ඒ වගේම තමන් බැලූ චිත්‍ර පටය හරි නාට්‍ය හරි තම රසවින්දනය ප්‍රබෝධ නොකලානම් කියනවා හරිම සවුත්තුයි! ජරාවක්! කිසිම වැඩකට නැහැ! ආදී වචන. මේ කියන්නේ එම කෘතිය තමාව වින්දනයට පත් කලේවත් තමාට අපූර්ව අත්දැකීමක් ලබා දීමට සමත්වුනේවත් නැති බවයි. ‍
යම් කිසි නිර්මාණ කෘතියක් රසවිඳින්න හා එහි අත් දැකීම උකහා ගන්න කෙනෙකුට ඒ මාධ්‍ය ගැන දැනුමක් හා අභ්‍යාසයක් තියෙන්න ඕනි. ලෝකයේ තාබෙන හූඟක් උසස් චිත්‍රපට බලා අධ්‍යයනය කල අයෙකුට අපේ චිත්‍ර පටයක හොඳ නරක හඳුනා ගන්න බොහෝම ලෙහෙසියි. ඒත් දුර්වල චිත්‍රපටයක් හෝ ජීවිතයේ පලමු වරට බලන තැනත්තාට එම කෘතිය දැනෙන්නේ අපූර්ව ආනන්දනීය අත්දැකීමක් හැටියටයි. මොසාර්ට් (Mozart) ගේ හෝ බීතෝවන් (Beethoven) ගේ හෝ සංගීතයක් රසවිඳින්න නම් ඒ සංගීතය ගැන මනා දැනීමක් තියෙන්න ඕනි. මේ දැනුම නැති අයකුව මෙම සංගීතය අහන්න වාඩි කෙරෙව්වොත් සමහර විට ටික වේලාවකින් ඔහු නිදාගනියි. නැත්තන් නැගිටලා යයි (ප්‍රතිචාර)
විචාරය කියන්නේ තමන් නිර්මාණ කෘතියක් රස වින්දනය කල අයුරු ප්‍රකාශ කිරීමයි. මෙන්න මේ මේ කරුණු නිසා මේ කෘතිය තමාව ආනන්දයට පත්කල හෝ නොකල බවත් ඒ ඔස්සේ තමාට ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ලැබුණු හෝ නොලැබුණු බවත්, කෙනෙකුට සවිස්තරව විග්‍ර කරන්න පුලුවන්නම් ඒක තමයි උසස් විචාරය. එහිදී එම මාධ්‍යට අදාල ශිල්පීය වචන, න්‍යාය ආදිය ගැන තම දැනුම උපයෝගී වෙනවා. එවැනි විචාරයක් කියවා බලන දැනුමෙන් අඩු අයකුට පවා අර කෘතිය ගැන පෙර නොතිබූ දැනුමක් පවා ඇතිවෙනවා. උසස් විචාරය කියන්නේ නිර්මාණ කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීම වගෙ නිර්මාණාත්මක කාර්යයක් යැයි හඳුන්වන්නේ ඒ නිසයි. "විචාරකයෙක් වෙන්න කලින් හොඳ රසිකයෙක් වෙන්න ඕන". ඒ සඳහා දැනුම හා සතතාභ්‍යාසය ඕන. ඊට පසු කෘතියක් රසවිඳිනකොට තමා තුලින් මතුව එනවා කවර කරුණු නිසාද මේ කෘතිය උසස් වන්නේ හෝ පහත් වන්නේ හෝ කියන අදහස්. ඒ අදාල හේතු සාධක තමයි හොඳ විචාරයක සඳහන් වන්නේ. එසේ නැතිව කියන්නන්වාලේ කීම හෝ ප්‍රචාරයට රැවටීමෙන් හෝ වෙනත් හේතු නිසා හෝ "මේ කෘතිය විශිෂ්ටයි" "මේ කෘතිය අවර ගණයේ එකක්" යනාදී වශයෙන් නිගමනය විතරක් ගෙන හැර පෑම උගත් විචාරකයාගේ ලක්‍ෂණයක් නෙවෙයි. ඒ වගේම හේතු සාධක සහිතව නිර්මාණ කෘතිය "විශිෂ්ටයි" කිව්වත් "පහත්" යැයි කිව්වත්කමක් නැහැ. විචාරකයාට සාධාරණ හේතු මත ඒ කවර නිගමනයක් හෝ ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවා. ඉතින් එවැනි විචාර කියවන්න පුරුදුවුනාම ඕනෑම රසිකයකුගේ රස විඳීමේ හැකියාව වර්ධනය වෙනවා. විචාරයක් කියවලා ඒ අනුව නිර්මාණ කෘතිය දිහා නැවත බලා එම විචාරයේ කරුණු සත්‍ය දැයි පරීක්‍ෂා කර බලන්න රසිකයා පුරුදු වුනොත් රසිකයාගේත් නිර්මාණ මාධ්‍ය වලත් දියුණුවක් ඇතිවෙන්න පටන් ගන්නවා. එයින් කෘතීන් පිළිබඳව තමන්ගේම සාධාරණ මතයක් ගොඩනගා ගැනීමට රසිකයාට හැකියාව ලැබෙනවා.

නිර්මාණ කෘතියක් විචාරය කරීමේදී පහත සඳහන් කරුණු විමසා බැලීම වඩා පලදායක බව ජර්මන් ජාතික මහා කවි Goethe විසින් දක්වා තිබෙන බව පොත් පත් වල සඳහන් වේ.

  1. නිර්මාණ කරු කරන්නට උත්සහ දරා ඇත්තේ කුමක්ද?
  2. ඔහු එය කෙතරම් හොඳින් ඉටු කොට ඇත්ද?
  3. එවැනි නිර්මාණයක් කිරීමේ අර්ථයක් ති‍බේද?
කෘතියක් රස විඳිමින් ඉහත කරුණු විමසා බැලීමෙන් ප්‍රමාණවත් විචාරයක් ගොඩනැගෙනවා. එසේ නොමැතිව කිසිම නිර්මාණ කෘතියක් ගැන තම "නිගමනය" පමණක් ප්‍රකාශ කිරීම විචාරය නොවේ.

ආලෝකය සහ අඳුර

"ප්‍රදීපාගාරයෙහි ආලෝකය එහි ඇතුලට නොවේ. එයින් පිටතටයි"

සිනහව

මිනිසා සතුටට නගන සිනහව
මිනිසා දුකට නගන සිනහව
මිනිසා බයට නගන සිනහව
මිනිසා කැමැත්තට නගන සිනහව
මිනිසා අකමැත්තට නගන සිනහව
මිනිසා උපහාසයෙන් නගන සිනහව
මිනිසා අපහාසයෙන් නගන සිනහව
මිනිසා ද්වේශයෙන් නගන සිනහව
මිනිසා දයාවෙන් නගන සිනහව
මිනිසා ලැජ්ජාවෙන් නගන සිනහව
මිනිසා උපේක්‍ෂාවෙන් නගන සිනහව
ආදී වශයෙන් මිනිසාගේ සිනහව තරම් සංකීර්ණ අරුත් ඇති මානව ක්‍රියාවලියක් තවත් කොහිද?
සිනහවේ අරුත් දන්නෝ සිනහවට සිනානොමසෙති
මේ ඔබ නගන්නේ කුමන සිනහවක්ද?

Monday, May 4, 2009

නිර්මාණ කෘතියක භව්‍ය - අභව්‍ය බව පිළිබඳ අදහසක්

යම්කිසි කෘතියක් කියවා හෝ නරඹා ඔබ ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා විය හැකිය. "අපෝ ඒ කතාවේ කිසිම ඇත්තක් නෑ, ඒ කිසි දෙයක් මේ ලෝකේ සිදුවෙන්න බෑ. එය හරිම අභව්‍යයි"..........
අභව්‍යයි කියා ඔබ අදහස් කරන්නේ "කිසිදා සිදුවිය නොහැකි- අහඹු" යන තේරුමයි. ස්වභාවිකව යම් නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී රසිකයාට ඇදැහිය නොහැකි අස්වාභාවික යමක් ඉදිරිපත් වේ නම් එවිට විශ්වසනීයත්වය නැතිවේ. එය ස්වභාවික කෘතියේ ගුණ කෙලෙසී යාමක් වේ. එහෙත් කලාවේදී යථාර්ථය එළිදරව් කිරීමට ස්වභාවිකත්වය පමනක් ප්‍රමාණවත් නොවන බව වැටහුණු කල නිර්මාණ කරුවෝ ස්වභාවිකත්වයෙන් තරමක් ඈත් මෑත්ව බලන්නට වූහ. ස්වභාවික අයුරින් සිතුවමක් කරමින් සිටි චිත්‍ර ශිල්පියා එහි නොගැඹුරු බව ගැන සිතා ස්වභාවිකත්වය වෙනස් කලා යැයි සිතමු. (Abstract) සිතුවමක් නරඹමු. එහි පෙනෙන කාන්තාවකගේ ඇසක් ඇගේ පපුව මැද ඇත. අනෙක් ඇස අත්ලෙහි ඇත. මෙය අභව්‍යයි. එහෙත් විමසිලිමත් රසිකයා එම සිතුවමේ වඩා ගැඹුරු අර්ථයක් සොයා ගනී. දැන් ඔහු අභව්‍යත්වය ගැන කතා නොකරයි.
අභව්‍යබව හෝ භව්‍යබව පළිබඳ තවත් යමක් කිව හැකිය. ඈත අතීතයේ භාරතයේ ලියැවුණු රාමායණය නමැති ග්‍රන්ථයේ එන රාවණා නමැත්තා දඬුවෙන් සෑදූ අහස් යානාවකින් ලංකා පුරයේ සිට සාගරය තරණය කොට දඹදිවට ගොස් සීතා නමැති කුලඟන පැහැරගෙන ආවේ යැයි කියන පුවතක් වේ. රාමායණය ලියැවුණු යුගයේ එය අභව්‍ය පුවතකි. එහෙත් අද එය සිදුවිය හැක්කකි.
සබ්මැරීනය සොයා ගන්නට පෙර කෙනෙකු මුහුද යට යාත්‍රාවකින් ගියේ යැයි ලිව්වේ නම් එය අභව්‍ය ඇදැහිය නොහැකි බොරුවකි. උම්‍මග්‍ග ජාතකයෙහි මහෞෂධ පඬිතුමා විසින් ඉදිකල උමගක් ගැන සඳහන් වේ. එහි එක් යාන්ත්‍රික යතුරක් තද කල විට එකවර ස්වයංක්‍රීයව ඇරෙන වැහෙන දොරවල් ද, ආලෝකවත්වන, නිවෙන පහන් ගැනද සඳහන් වේ. ග්‍රන්ථය ලියූ අතීතයේ එය ඇදැහිය නොහැකි පුවතක් වූවාට සැක නැත. එහෙත් විද්‍යුත් ශක්තිය ගැන දන්නා වර්තමාන අපට එය මොන අරුමයක්ද. ස්වභාවික ශක්තීන් කවදත් සැඟවි තබේ. ප්‍රතිභා සම්පන්න ලෙඛකයෝ ඒ සැඟවුණූ ශක්තීන් ස්වකීය ඥානයෙන් හැඳින ලියූහ. අද ද ලියති. අද අභව්‍යයැයි පෙනෙන දේ තාක්‍ෂණය හා විද්‍යාව විසින් හෙලිදරව් කරන අනාගතයේ ඉතා භව්‍ය ඇදහිය හැකි දෙයක් බවට පත්වේ. එම නිසා නිර්මාණයක අභව්‍ය බව විසින් හෝ මතු කරන්නට උත්සහ දරන සැඟවුණු යථාර්ථය කුමකි දැයි සෙවීම වඩා ප්‍රඥා ගෝචර බව උගත්හු පවසති.


කවි පොතට...........
"බටහිරින් ඉර පායා එයි"

උදෑසන අවදිවූ ගොවියෝ,
පෙරදිග අහසෙහි මහත් අරුමයක් දුටුවහ.
කො වෙනදා දකින්නට ඇති අරුණෝදය?
නැගෙනහිර අහස කලුවරය
එහෙත් හැරී බැලුවේ මේ ආලෝකය කොහෙන්දැයි
සොයන්නටය
අරුමයකි! බටහිර දෙසින් උදේ හිරු පායයි!
ගොවියෝද ගෙවිලියෝද අසල්වාසිහුද
රොක්වූහ මිදුල්වල........‍‍
වෙනදාමෙන් පක්ෂීහු හඬති
කුකුළාද හඬලයි
උදෑසන තමයි ! ඒත් හිරු නැගෙන්නේ බස්නාහිරින්?
මිදුල්වල පිපෙන මල්
බටහිර දෙස හැරී සිනාසිණි
සූරිය කාන්ත මල බටහිර දෙසින්
කෙමෙන් හරවන්න විය වත
හිරු හා සමග.........
කුමක්ද මේ සිදු වූයේ?
හීනයක්ද? ඔව් ! නැත්නම් කුමක්ද?
විද්‍යාඥයෝ - තාරකා ගනින්නෝ උපකරණ ගෙන යොමුවූහ අහසට
අනතුරුව මිනිස්සු යොමු වුහ සමුලුවට...........
"හිරුගේ තාප ශක්තියෙන්
නිති භ්‍රමණය වන පෘථිවි ලෝකය
ඒ තාප ශක්තියෙහි සුලු වෙනසකින්
ආපසු කර කැවෙන්නට වී ඇත".......
පුදුමයක් නොවේ ! සාධක සහිතය
මෙය සිදුවිය හැක්කකියි පිළිගත්හ සමහරු
"මිනිසුන්ගේ පව්කම් දුෂ්ඨකම් බලවේගයක් වෙලා" යි
ආගමිකයෝ කීහ
"යුද්ධ, ගිනිකඳු පුපුරා
ජනගහනයේ බර අඩුව සැහැල්ලු වූ නිසා" යැයි
කෙනෙක් කීහ සභාව හිනස්සා !
කෙසේ හෝ බස්නිහිරින් ඉර පායයි
මෙතැන් සිට
බස්නාහිරට නැගෙනහිර කියමුද?
නැත්නම් ආපසු නැගෙනහිරින්
හිරු කැඳවන්නට
අපේ ශක්තිය යොදමුද? යි
කලහ ඝෝෂා කරන්නට වූහ......
හිරු අහසේ සිනාසෙයි
සුපුරුදු ලෙසට.........