Wednesday, September 23, 2009

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන - ආකාස කුසුම්

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන
ආකාස කුසුම්

—ආකාස කුසුම් - ලාංකික ජන ජීවිතයේ උප සංස්කෘතියක් තුළ සැරිසරන පොදු නො වූ ස්ත්‍රිය පිළිබඳ වූ සිනමා කවියකියි එය නරඹා සිනමා රඟහලින් නැඟිට එන පළමු මොහොතේ දී ම කිසියම් රසිකයෙකුට සිතේ නම්, එය හේතු යුක්ති සහිත සිතිවිල්ලකි. මෙම සිනමා කෘතිය කේන‍ද්‍රීය වශයෙන් සන‍්ධ්‍යා රාණි නමැති ස්ත්‍රිය පිළිබඳ ආත්ම විවරණය යි. සන‍ධ්‍යා රාණි - දශක දෙකක ට එහා අතීතයෙහි වැජඹි සිනමා තාරකාවියකි. වර්තමානයෙහි ඇය නටඹුන් වූ සිය අතීත ජීවිතය සිතින් යටපත් කරන්නට වැර දරමින් සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නට වෙර දරන කාන්තාවකි. එහෙත් අතීත ජීවිතය ඇය ට ද හොරා ඇය තුළ තවමත් හොල්මන්කරයි. ලාංකික ජන ජීවිතය තුළ සිටින සාමාන්‍ය කාන්තාවකගෙන් ඇය වෙනස් වනුයේ, ඇය මුහුණපාන බොහෝ ගැටළු සිනමා නිළියක වීමේ ප්‍රතිවිපාක වශයෙන් ඇය අත්දකිනු ලබන ඒවා ම වනබැවිනි. අනෙක් අතට සන‍ධ්‍යා රාණි තුළ උණුසුම් දරු සෙනෙහසක් හා පසුතැවිල්ලක් මතුකෙරෙමින් ඇයගේ චරිතයෙහි අවසාන භාගයෙහි දී ඇයට හමුවන —ප්‍රියා නමැති එක ම දියණිය ද අපගේ පොදු ජන ජීවිතයෙහි ඉතා දුලබව දක්නට ලැඛෙන කැරෝකේ සමාජශාලා සේවිකාවකි. ප්‍රියා මුහුණපාන අත්දැකීම් ද අප සමාජයෙහි ස්ත්‍රිය ඒ අයුරින් ම අනුභවකරන්නේ නො වේ. එහෙත් පිරිමියා නිසා වධ බන්ධනයට ලක්වන පොදු ස්ත්‍රිය ද ඇය තුළ ජීවමාන වෙයි. අනෙක් භූමිකාවක් වනුයේ ටෙලි නාට්‍ය නිළිය යි. ඇය වත්මනෙහි මුහුණ පාන තත්ත්වයන් සන‍ධ්‍යා රාණිගේ අතීත දිවිය පිළිබඳ සංකේතයක් බඳු ය. ඇය ද මුහුණපාන්නේ ඇයගේ ක්ෂේත්‍රයට අදාළ ව පැන නඟින විශේෂ අවස්ථාවන්ට ය. සන‍ධ්‍යා රාණාගේ බාල නැඟණිය (කෞශල්‍යා) ලාංකික ජන ජීවිතයට අයත් සාමාන්‍ය ස්ත්‍රියකවන අතර ඇය මුහුණපාන්නේ සිය පවුල නඩත්තු කිරීම පිළිබඳ පොදු ආර්ථීක හා සාමාජීය ගැටළුවට ය. සන‍ධ්‍යා රාණි ට ද අව්‍යාජ ජීවිතයේ බර හා වගකීම රැගෙන එනුයේ මෙම නැගණිය ගේ චරිතය විසිනි. ආකාස කුසුම් විවරණය කරන්නේ ඛෙහෙවින් විශේෂිත වූ ක්ෂේත්‍රයක ලාංකීය ස්ති‍්‍රය බව පැහැදිලි ය. අධ්‍යක‍ෂවරයා ගේ අරමුණ ද එය යි.
ආකාස කුසුම් සන‍ධ්‍යා රාණිය ගේ චරිතය කේන්ද්‍රකොට ගත් ඇයගේ ආත්ම විවරණය යි. මෙහි ආරම්භයක සිට කූට ප්‍රාප්තිය දක්වා දිවෙන කතා පුවතක් නැත. මෙහි ඇත්තේ ඇය ගේ වර්තමාන ජීවිතය හා අතීත නටබුන් අතර සැරිසරණ මතක සටහන්වල එකතුව යි. එහෙයින් ආකාස කුසුම් සාම්ප්‍රදායික සිංහල සිනමා කෘතියක ට, බොහෝ ඔබ්බට යන ප්‍රශස්ත නිර්මාණයක් බවට පත් වෙයි. සන‍ධ්‍යා රාණි ගේ අතීත තාරකා ජීවිතය ද දිස්වනුයේ ශෝක මුසු අපූර්ව වූ උත්ප්‍රාසයක් ද දනවමිනි. එලෙසින් අධ්‍යක‍ෂවරයා ප්‍රයත්න දරා ඇත්තේ සිනමා ප්‍රේක‍ෂක ජනතාව ගේ සිහින ලෝකය අරා වැජඹෙන, වැජඹුණු තාරකා ගුණයෙන් අනූන වූ නිළියන් ගේ දිලිසෙන ජීවිතයේ අභ්‍යන්තරයේ පවතින්නා වූ ඛේදනීය යතාර්ථය මතුපිට ට ගෙන විහිදා දැක්වීම යි. එයින් ප්‍රේක‍ෂකයා දැනුවත් ව ඥාණනය වනුයේ පොදු ස්තී‍‍්‍රත‍්වය ට වඩා විශේෂ ‍‍‍‍කෙ‍ෂ්ත්‍රයක ස්ති‍්‍රය පිළිබඳ ව යැයි සටහන් කළ හැකි ය. ස්වකීය දරුවා සැමියා ට පරිත්‍යාග කොට සිනමා ලොවට වෙන් වී යන සන‍ධ්‍යා රාණි ගේ ජීවිතය පටන් ගැන්මේ දී ම මෙම විශේෂත‍වය ආරම්භ වෙයි.
ප්‍රසන්න විතානගේ —ආකාස කුසුම් සිනමා කෘතිය පබඳන්නේ එහි තිර නාටක රචනයේ සිට ම වනබව සිනමා කෘතිය විකාශනය වන අයුරින් පැහැදිළි ය.
අඳුරු වැසි දිනෙක ගෙමිදුලක හුදකලාව ම නවත්වා ඇති කලූ පැහැති කාර් රථයක් වැස්සෙන් තෙමෙන සමීප රූපයක් මොහොතක් දෙකක් තිරයෙහි දිස් වේ. රථය මත පතිතවන වැසි දියෙන් තෙත්වන රථයෙහි ඉදිරි කවුළුවත්, පැති කණ්නාඩියත් ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ අඳුරු ශෝකාකූල හැඟීම් සමුදායකි. එම හැඟීම් සමඟ ප්‍රේක‍ෂක දෑස ට ළං කරන්නේ, වැසි අඳුරින් පිරුණු - ගෙදර ඉස්තෝප්පුවක හිඳ ලියුමක් දෙස අවධාන යොමුකොට සිටින සන‍ධ්‍යා රාණිගේ මධ්‍යම රූප රාමුවකට යි. ගෙවී ගිය කාලය විසින් ඇගේ මුහුණෙහි සටහන් කොට ඇත්තේ දුක්-දොම්නස, හුදෙකලාව, අපේක‍ෂාව සනිටුහන්කරන ඉරි - කළු පැල්ලම් හා නෙත් බැල්ම යි. මෙම රූප රාමුව සිනමා කෘතියෙහි ආරම්භය මෙන් ම, ඒ සන‍ධ්‍යා රාණිගේ හුදෙකළා - දොම්නස් සහගත අනිවාර්යයෙන් වියැකී යන ජීවිත ඉරණම නිසඟව ප්‍රේක‍ෂක මනැස තුළ සංකල්පීය ව සිතුවම්කරන ලද පද වැලක් වැනි ය. ඉස්තෝප්පුවේ වහළෙන් වැහි දිය බේරෙයි. සන‍ධ්‍යා රාණි ශෝකය ද හද රඳවාගෙන ඒ දෙස බලා සිටී. ඇය ආධ්‍යාත්මයෙන් ගරා වැටෙන්නී ය. සන‍ධ්‍යා රාණිගේ භාවාත්මක මුහුණ වැසි අඳුර හා වැහි දිය දහර ත්, තෙමෙන මෝටර් රථය ත් දක්වමින් අධ්‍යක‍ෂවරයා සන‍ධ්‍යා රාණිගේ භූමිකාවේ ගැඹුරු පදාසයක් රූපමය කාව්‍යයක් ව චිත්‍රණය කරයි. මෙහි දී අඳුර, ආලෝකය, වැසි දිය, මෝටර් රථය, වැසි අඳුරින් පිරුණු ඉස්තෝප්පුව හා සන‍ධ්‍යා රාණිගේ මුහුණ ද ලියුම ද එක් වී ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ එම භූමිකාව පිළිබඳ ඛේදනීය වූ සිතිවිලි සංකීර්ණයකි. කිසියම් ලයකින් කිසියම් කාලයක් තුළ තිරයෙහි දිස්වෙන කෙටි රූපාවලිය සමෝධානය වීමෙන් අධ්‍යක‍ෂවරයා නඟන්නට සිතූ භාවය ත්, අර්ථය ත් නිරූපණය වෙයි. කවියා පද එකතු කිරීමෙන් නව අරුතක් නංවන්නාක් මෙන්, තමා පමණක් පූර්වයෙහි අදහස් කළ හැඟීම් සහ අර්ථය නංවන්න ට මෙහි දී අධ්‍යක‍ෂවරයා දක්වන්නේ ඉතා විශිෂ්ට නිපුණත‍වයකි. එ හෙයින් ආකාස කුසුම් අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවියක් යැයි හැඟෙන සිතිවිල්ල යුක්ති සහගත ය.
තම ලොකු නැඟණිය කැනඩාවේ සිටිමින් තමා වෙත එවන ලද සුහද ඇරියුම සහිත ලිපිය කියැවීමෙන් මද අස්වැසුමකින් සුසුම් හෙලන සන‍ධ්‍යා රාණි ආපසු හැරී ගෙතුළට යන්නේ යළි තමා පෙළෙන තනිකම පිළිබඳ බිය හා කාංසාව වෙත ළං වෙමිනි. ඇය තම යටපත්කරන ලද අතීතය සහිත හුදෙකලා ආධ්‍යාත්මය මොහොතක ට සනහන බළලා වෙත ට ආහාර බඳුනක් ළංකරනු ඉක්බිතිව දිස් වේ. සන‍ධ්‍යා රාණිගේ අඳුරු ඇතුළු හද ගැඛෙහි තවත් පැතිකඩක් වෙත මෙම රූප රාමුවෙන් අධ්‍යක‍ෂවරයා එල්ලකරන්නේ විනිවිද යන ආලෝක කදම්බයකි. තරුණ බළලා සන‍ධ්‍යා රාණිගේ තනිකම ත්, ජීවිතාශාව ත්, සමාජ සම්බන්ධතාවයන් කෙරෙහි දක්වන ඇල්මත් මූර්තිමත් කරන්නක් වැනි ය. සන‍ධ්‍යා රාණි ට මේ සමාජය අතහැර දමා යා නො හැක.
එදිනෙදා ආර්ථීක තත්වය රඳා පවත්වාගනු වස් ඇය කරන්නේ, අතුරුපස සාදා කඩවලට යැවීම යි. මේ කාර්යය ඇය කරන අයුරු අධ්‍යක‍ෂවරයා සීරුවෙන් කලබලයෙන් තොර ව සවිස්තර ව කැමරාව ට නඟයි. ධ්වනිපූර්ණ - අර්ථවත් කෙටි සංවාද ද භාවිත කෙරෙමින්, සන‍ධ්‍යා රාණියගේ දෛනික හැසිරීම රූපගත කෙරෙන ආකාරය ප්‍රේක‍ෂක මනැස ඒ වෙත රඳවා ගැනීමේ පණවත් ආකර්ෂණයකින් යුක්ත ය. සමස්ත සිනමා කෘතිය පුරා ගලායන මෙම රූප රිද්මය, සන‍ධ්‍යා රාණිය පිළිබඳ බාහිර කාරණා මෙන් ම ඇගේ ඇතුළු ආධ්‍යාත්මයෙහි අඳුරු ඉසව් කෙරෙහි අප මනැස ස්පර්ශය කිරීම ට අවශ්‍යය මෙවලම් සකස්කොට ඉදිරිපත් කෙරෙයි. සිය රූප රචනය තුළ සැලසුම්කළ අන්තර්ගතය, ජීවන දෘෂ්ටිය, ළයමානය හා බැඳුණු සිද්ධි දාමයත් භාවයෙන් හා අර්ථයෙන් නිසඟව සිනමා කෘතියට දක්වන දායකත‍වය ඉතා ප්‍රබලය.
මාලනී ෆොන්සේකා රංගධාරිනිය ඇතුළු ව දිල්හානි ඒකනායක, නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු හා ජයනී සේනානායක අධ්‍යක‍ෂවරයා විසින් තිරනාටකයෙහි පටන් සැළසුම් කළ සිද්ධි මාලාවට තම විශිෂ්ට සහභාගීත‍වය දක්වමින්, අධ්‍යක‍ෂවරයාගේ සංකල්පනය ජීවමාන කරනුයේ සිනමා කෘතියෙන් දනවන්න ට තිඛෙන භාවමය ගති හා අර්ථය ධ්වනය වන්නට අවකාශ සලසමිනි. ප්‍රවීණ මෙන් ම ප්‍රතිභා සම්පන්න, විචක‍්ෂණ රංග විඥානයකින් සපිරි මාලනී, දැඩි සංයමයකින් යුක්ත ව ඖචිත්‍ය වූ - විශ්වාසනීය ඉරියව් හා සාත්වික අභිනයෙන් මුහුණේ ගැඹුරු හැඟීම් මුදවා හරිමින් කරන ප්‍රතිනිර්මාණ රංග කාර්යය අති විශිෂ්ට බව ට අන්තර්ජාතික සම්මානයෙන් පවා සාධක සහිත ව සමිමත ව ඇත. නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු දිල්හානි ඒකනායක හා ජයනි සේනානායක ද අධ්‍යක‍ෂවරයාගේ තිරනාටකයෙහි පබැඳි අවස්ථාවනට හෘදයාංගම ලෙස සහභාගී වෙමින් දක්වන භාවපූර්ණ රංගනය අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවිය ප්‍රේක‍ෂක සිත්-සතන්වලට සාර්ථක ලෙස ධ්වනය කරන්න ට තරම් ප්‍රබල ය, ව්‍යක්ත ය.
ආකාස කුසුම් සිනමා කෘතියෙහි කැමරාකරණය ඛෙහෙවින් ව්‍යක්ත ය. සන‍ධ්‍යා රාණි ඇතුළු ස්ත්‍රී චරිතයනගේ අභ්‍යන්තර සිතිවිලි පවා සූචනය කෙරෙන සමීප රූප හා මධම සමීප රූපවලින් යුක්ත රූපරාමුවලින් ඛෙහෙවින් සමන්විත ය.
සමස්ථ චිත්‍රපටය පුරා කැමරාව ප්‍රේක‍ෂක සිත්-සතන්වල සමාධිය බිඳ නො දමමින් දැඩි සංයමයෙන් භාවිත කෙරෙන්නේ නියමිත කලාත්මක වින්‍යාසයකිනි. කැරෝකේ සමාජශාලාවල ඇතුළත රාත්‍රී දර්ශනවල පවත්නා විසිතුරු ආලෝකධාරා උපයෝගීකොටගෙන ඇත්තේ සඟවා ගත් රහස් ඇති ගුප්ත මායාමය ලෝකයක ස්වභාවය සිහිගැන්වෙන පරිද්දෙනි.
සමස්තයක් වශයෙන් ගත් කල ආකාස කුසුම් සිනමා කෘතිය, එක්තරා සමාජ පැතිකඩක දිලිසෙන ස්ත්‍රී ආත්මයන්ගේ සැප - දුක් චිත්‍රණය කෙරෙන ආත්ම විවරණයක් සේ සැළකිය හැකි ය. මෙහි දී සන‍ධ්‍යා රාණි තම පසුතැවිලි සහිත නටඹුන් ජීවිතය තුළින් ම ප්‍රතිනිර්මාණය කරගන්නා නව ජීවිතය වූ දියණියගේ දරුවා තම තුරුලට ගැනීම වූ කලි - සන‍ධ්‍යා රාණි වැනි චරිතයනට එල්ල කළ සුභවාදී වූ ආලෝක ධාරාවක් වැනි ය. ලෝකයේ බිහි වූ තාරකා ගුණැති නළු, නිළි ඇතැමෙකු මත්ද්‍රව්‍ය ආදිය ගෙන පසුතැවිල්ල නැතිකරගන්නට ගොස් පරවී ගිය අයුරු ත්, එ වැනි ඇතැම් කෙනෙකු ළමයින් උදෙසා, අනාථයන් උදෙසා ආදී වශයෙන් කැපවීමෙන් ජීවිතයේ සැනසුම ලැබූ අයුරු ත් නිතැතින් ම අප සිහියට නැගේ. කෙලෙස හෝ ප්‍රසන්න විතානගේ නමැති කෘතහස්ත - ප්‍රතිභා සම්පන්න සිනමා අධ්‍යක‍ෂවරයාගේ ව්‍යක්ත තිර නාටක රචනයෙහි ද, විචක‍ෂණ සිනමා නුවණෙහි ද කෞශල්‍යය මැනැවින් විදහාපාන ආකාස කුසුම් සිනමා කෘතිය අප සිනමාවට කිහිප ආකාරයක මෙහෙයක් ඉටුකරන බව පැහැදිළි ය. සිනමාව හා සම්බන්ධ තාරකාවන්ගේ සිහිනමය වූ මායාමය ජීවිතය විනිවිද ගොස් ඔවුන්ගේ සැබෑ වූ ජීවිතය සොයා ගන්නට ප්‍රේක‍ෂක අප ට ආකාස කුසුම් දොරටු විවර කරන්නේ ප්‍රථම වරට ය. එය සිනමාවෙන් සිනමා ජීවිතය ගවේෂණය කිරීමකි. එසේ ම සිනමා රූපී බවින් යුක්ත ව ජීවිතානුභූතියක් අත්විඳින්න ට ප්‍රේක‍ෂකයනට මනා අවස්ථාවක් සලසා දෙන උසස් ප්‍රයත්නයකි. එය හුදු කතාන්දරයකින් තොර ව සිනමානුභූතියක් මුදවා හරින්නට ගත් දැනුවත් ප්‍රයත්නයකි. එ ලෙස ම සංවිධිත තිර රචනයක ගැබ් කළ සිද්ධිමාලා හා හැඟීම්, උපායශීලී දක‍ෂ අධ්‍යක‍ෂණයෙන් ඉතා විශිෂ්ට ලෙස භූමිකා රංගනයෙන් මුදවා හරින දුලබ ගණයේ සිනමා කෘතියක් ද වෙයි. එනයින් ආකාස කුසුම් ප්‍රේක‍ෂක අපගේ නුවණෙහි හා රස වින්දනයෙහි නිම්වළලූ පුළුල් කරන්නේ යැයි පැවසිය හැකි ය.

එඩ්වින් පීරිස්