Wednesday, November 28, 2012

අපේ සිනමාවේ කර්ම

ප්‍රසන්න ජයකොඩි සිනමාවේදීන්ගේ ප්‍රථම සිනමා කෘතිය ,සංකාරා නම්වූ අතර,දෙවැන්න නම් වන්නේ “කර්ම“ යනුවෙන්ය.කර්ම නැරඹීම ඉතා සැළකිල්ලෙන් අවධානයෙන් යුතුව කළයුතු කාර්යයක් බව එය පළමු වර නැරඹීමේදී මට දැනිණි.
සාමාන්‍ය විනෝදාස්වාදය සදහා කර්ම නැරඹීම නිරර්ථක කාර්යයක්බව ;ඉදිරි අසුනක එය නරඹමින් සිටි මිනිසා ආසනය මත නිදා සිටිනු දැකීමෙන් මට පැහැදිළි විය.
කර්ම; රූපයෙන් රූපය අල්ලා ගනිමින්;එය පිළිබදව සිත මෙහෙයවමින් ස්වයං තර්ක විතර්ක ගොඩ නගමින්; අප මනැස තුළම ප්‍රතිනිර්මාණය කර ගත යුතු සිනමා නිර්මාණයක් බව මට වැටහුණේ එය දෙවැනි වර නැරඹීමේදීය.අධ්‍යක්ෂවරයා අප ඇස් ඉදිරියේ විදහාලන රූප සමුදාය ;පෙන්වන දෙයට වඩා බෙහෙවින් වැඩි දෙයක් ධ්වනය කරයි.ඒනිසා කර්ම නැරඹීම ජීවන අත්දැකීමකට සහභාගි වීමෙන් ලබන ප්‍රඥාවඅප වෙත ප්‍රදානය කරන්නේ අප තුළ පවත්නා ප්‍රඥාව හා සමග ගැටුමක්ඇති කරමිනි. කෙසේ හෝ අවසානයේ එම ගැටුමෙන් සිනමා කෘතිය ජය ගනිමින්;එය අපගේ ප්‍රඥාවට අලුතින් යමක් එක්කාසු කරයි.
කර්ම නැරඹීමෙන් අප ලබන ප්‍රථම ලාබය වන්නේ එම භාවනාවෙන් අපට ලැබෙන සුවිශේෂ අත්දැකීමයි.දෙවැනි ප්‍රතිඵලය නම් එහි අර්ථය අල්ලා ගැනීමෙන් අප තුළ අපගේ සිනමා නුවණ ගැන ඇතිවන සතුටයි.එය නිර්මාණයෙන් ලබන අර්ථ රසය ලෙසද වටහා ගත හැකිය.
පිරිමින් දෙදෙනකු හාඑක්තරා ගැහැණියක අතර පැවතියාවූ එක් අතකින් හුදෙකලාවූ ජීවන අර්බුදයක් ව්‍යංගය සහිත රූපය මගින් කර්ම චිත්‍රපටය අප තුළ රෝපණය කරයි. ලිංගිකවූද ,ජීවිතයේ සෝක ජනකවූ තනිකම හා අපේක්ෂා භංගත්වයේ වේදනාවත් , හුදු ලිංගික ප්‍රේරණය හා මුසුවූ අනිකා පිළිබද නම්‍යවූ කරුණා සහගත මානව හැගීමද කර්ම මා තුළ දැඩි කම්පනයක් ඇති කළේය.මට මෙසේ හැගුන ද කර්ම නරඹන තව කෙනෙකුට හැගෙනු ඇත්තේ වෙනත් දෙයකි.දැනෙනු ඇත්තේ වෙනත් දැනීමකි.කර්ම කෘතියේ ස්වභාවය එයයි.එය නිශ්චිත කතාවක් නොකියයි.නිශ්චිත හැගීම් හෝ කල්පනා අවදි නොකරයි.
ප්‍රේක්ෂකයාගෙන් ප්‍රේක්ෂකයාට ඔහුගේ හෝ ඇයගේ චිත්ත සමාධියේ තරමට යම් යම් දේ වටහා දීමේ ගුණයක් එහි ඇත.කර්ම සිනමා කෘතියේමා දුටු අපූර්වත්වය එයයි.වචනයෙන් සිතුවම් කළ භාවමයවූ ගැඹුරු කවියකින් මෙන් අමුතුම ආශ්වාදයක් එය මට ප්‍රදානය කළේය.   2012 11.29.

Tuesday, November 27, 2012

සුජාත දියණිය ;බොරලු පාර, ස්වයං‍ජාත


සුජාත දියණිය ;බොරලු පාර, ස්වයං‍ජාත
උසස් වින්දනයක් අපේක්ෂා කරමින් රූපවාහිණී නාට්‍ය නරඹන්නට කැමති ප්‍රේක්ෂකයින්ට ජාතික රූපවාහිණියේ දැනට විකාශය වන  “සුජාත දියණිය“බොරලු පාර“නමැති ටෙලිනාට්‍ය දෙක හා ස්වාධීන රූපවාහිනියේ පසුගියදා විකාශය අවසන් කළ  “ස්වයංජාත“ නමැති ටෙලිනාට්‍යද මතක් කර දෙන්නට බෙහෙවින් කැමති වෙමි.
සුජාත දියණිය- රචනයෙන් ;අධ්‍යක්ෂණයෙන්;හා රංගනයෙන්විශිෂ්ටතාවක් පෙන්වන ඉතා සිත් ගන්නා කොරියානු රූපවාහිනී නාට්‍යයකි.එසේම සිංහල සංවාද මුසු කිරීමෙන්ද මෙහි විචක්ෂණ බවක් පෙන්වා ඇත.මග ඇරුණු කොටස්ද සමගින් මෙම නාට්‍ය නැරඹීමෙන් අප ප්‍රේක්ෂකයන්ට ලබා ගත හැකි ආශ්වාදය නොමදය. එසේම ඉන් ලැබිය හැකි ප්‍රබල ජීවන අත්දැකීමද ඉතා අගනේය.
ජාතික රූපවාහිනිය දැනට විකාශය කරන බොරලු පාර නමැති නාට්‍යයද ප්‍රේක්ෂකයින් විසින් නැරඹීමට වටනා නිර්මාණයක් ලෙස මම දකිමි.සූර රචකයකුගේ රූපවාහිනී රචනයෙන් සවිබලවූ මෙය ආශ්වාද ජනක ගැටුමකින් මෙන්ම අත්දැකීමකින්පෝෂිතය.නළුනිළියන්ගේ රංගනයද ප්‍රශස්ථය.
ස්වාධීන රූපවාහිනියද ඉතා රසවත් උසස් නාට්‍ය මෙන්ම ජන ආකර්ශණය දිනාගන්නා ආශ්වාදනීය නාට්‍යද විකාශනයට උත්සුක වන බව පෙනේ.මෑතකදී මෙම නාලිකාව මගින් විකාශය කළ ස්වයංජාත නාට්‍යයද ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනයට හා ජීවන අත්දැකීම් පෝෂණයට පිරිනමන ලද්දේ නොමද නිර්මාණ ආශ්වාදයකි.දුෂ්කර අධ්‍යක්ෂණයක් හා එබදුම දුෂ්කර රංග කාර්යයක් සහිත ස්වයංජාත ප්‍රඥාවත් රචනයකින් යුක්ත බව කිව යුතුය.මෙවරද ස්වාධීන රූපවාහිනිය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය සදහා වන ජනප්‍රිය සම්මානය සිහින පියාපත් ටෙලි නාටකය සදහා දිනා ගැනීමට ඉඩ තිබෙන බව ජන මාධ්‍ය මගින් දැන ගන්නට ලැබෙමින් පවතී. මහතලා හටන, ද මෙම නාලිකාවෙන් අප වෙත ප්‍රදානය කළ අගනා නාට්‍ය තිළිණයකි.

Thursday, November 22, 2012

ටෙලි නාට්ය යනු ව්්‍යාපාරයක් පමණක් ද?


ටෙලි නාට්‍ය යනු කලාවක් නොව ව්‍යාපාරයක් ය යන අදහස දරණ අයද මෙම සමාජයේ වෙසෙති.ඔවුනට අනුව ආයෝජනය කරන මුදලට
සරිලන ලාභයක් උපයන්නට හැකිනම් ඒ හොදටම ප්‍රමාණවත්ය.මස් වෙළදාම හා කුකුළන් විකිණීමද ව්‍යාපාරයන්ය.එහෙත් ලෙඩ කුකුළන්
විකුණා මහජනතාවට වසංගත බෝ කරන්නට ඒ ව්‍යාපාරයට අවසර නැත. ඕනෑම ව්‍යාපාරයක ගුණයක් හා ප්‍රමිතියක් තිබිය යුතුම බව කවුරුත්
දනිති.
එහෙත් නවකථාව,කෙටි කථාව, වේදිකා නාට්‍යය, මෙන්ම ටෙලි නාට්‍යයද කලාවක් විය යුතුය යන ප්‍රචලිත අදහසක් රටේ ස්ථාවරව ඇත.ඒ නිසා
ටෙලි නාට්‍ය සම්මාන උළෙල කිහිපයක්ම පවත්වන අතර ,ඒවායේදී විනිශ්චය මණ්ඩල වලින් ඇගැයීම් කොට තෝරා හොද ටෙලි නාට්‍ය වලට
සම්මාන ප්‍රදානය කෙරේ.එහිදී උසස් යැයි ප්‍රමිති ගත කෙරෙන ටෙලි කලා අංශ වලට සම්මාන ලබාදේ.එසේම ජනආකර්ශණය බහුලව දිනා
ගන්නා ටෙලි නාට්‍ය ජනප්‍රිය නිර්මාණ බවටද පිළි ගැනේ.ටෙලි නාට්‍යයක් එලෙස බහුතර ජනතාවකගේ ආකර්ශණයට පාත්‍ර වීමටද එහි සෑහෙන
තරමි හොද ගුණයක් හා ප්‍රමිතියක් තිබිය යුතු බව ඔප්පුවී ඇත.මේ හැරෙන්නට ටෙලි නාට්‍ය හා ටෙලි නාට්‍ය ශිල්පීන් කලා කරුවන් බවට රාජ්‍ය
පිළිගැනීමක් ඇති බවත් රහසක් නොවේ.මේ නිසා ටෙලි නාට්‍ය යනු හුදු ව්‍යාපාරයක්මයැයි යමෙක් පවසතොත් එය සපුරා පිළිගත හැකි අදහසක්
නොවන බව පැවසිය යුතුය.යම් යම් අංග වලින් එය ව්‍යාපාරයක් බව පෙනෙන නමුත් එය ජනතාවකගේ මනසෙහි උසස් රසවින්දනය හා ජීවන
අත්දැකීම් පෝෂණය කරන, එසේ කළ හැකි ප්‍රබල කලාංගයක් වශයෙන්ද පිළිගෙන කටයුතු කිරීමද අත්‍යවශ්‍ය බව පැහැදිළිය.
එසේම උගතුන් බුද්ධිමතුන් මෙම කලාංගයට පිටුපස හරවාගෙන නොසිට ,මේ කෙරෙහි අවධානය යොමු කොට නිරන්තර ඇගැයිම් කටයුතු
කෙරේ නම් එය සමාජ ඉදිරි ගමනට කරන විශාල රුකුලක් බව පැවසිය හැකිය.එසේම රසික ජනතාව පොදුවේ නිරන්තර අවධානයෙන් සිටිය
යුතු වන්නේ තනිකරම ජඩ වෙළද අරමුණින් යුතුව තමන්ට හා තම දරුවනට වස කවන්නට තැත් දරණ අමන කලා වෙළෙදුන්ගේ වැඩවල හැටි
තේරුම් ගෙන ආරක්ෂාවී සිටීමටයි.2012 11 22

Saturday, November 17, 2012

අද ටෙලි නාට්‍ය නැරඹීමෙන් උසස් රසිකයන් ඉවත්ව සිටින්නේ ඇයි?


අපේ ටෙලි නාට්‍ය ආරමිභ වන්නේ ඉංග්‍රිසි සෝප් ඔපෙරාව පුර්වාදර්ශය කරගෙනය.දිමුතු මුතු හා ලා හිරැ දහසක් යනු අපේ මහඟු ටෙලි නාට්‍ය ආරම්භයයි.දිමුතු මුතු ආදර කතාවකි.මන්දගාමි චලනයෙන් යුතු හැසිරීම් සහිත නළු නිළි රඟපෑම් සිනමාව දැක පුරුදු අප රට ජනයාගේ හාස්‍යයට ලක්වන තරම් ඇතැම් විට විකාර ස්වරූපයක් ඉසිලූ බව කීම අසත්‍යයක් නොවේ.ලා හිරුදහසක් දිගින් දිගට කොටස් ගණනාවක් ඉදිරියට ඇදුණු අර්ධ නාගරික ප්‍රදේශයක් පසුබිම් කර ගත් විසිරුණු කතා පුවතක් සහිත සංවාද බහුල නාට්‍යයක් විය.එහිද ගැඹුරින් සළකා බැලිය යුතු චරිත හෝ පුවතක් තිබුණේයැයි කිව හැකි නොවේ.

මෙලෙස ආරම්භවු අපගේ රූපවාහිනි නාට්‍ය අද වනතුරුත් සැලකිය යුතු දියුණුවක් පෙන්වූ අවස්ථා ඉතා විරලය.හරවත් කතා පුවතක් උසස් රංගනයකින් යුතුව ඉදිරිපත්වූ අවස්ථා ඉතා දුලබය. හොඳ ටෙලි නාට්‍ය වශයෙන් පෙළ ගස්වා හුවා දැක්වෙන  බොහෝ නිර්මාණද උසස් කලා කෘතීන් වශයෙන් හඳුනාගත හැකි ඒවා නොවේ.ඇතැම් ටෙලි නාට්‍ය ව්‍යාජ ගැඹුරු බවක් ආරෝපනය කරගත් රස හීන නිරර්ථක ප්‍රයත්නම විය.අපගේ ටෙලි නාට්‍ය වංශය තුළ පැහැදිළිව හඳුනා ගත හැක්කේ බහුතර ජනතාවකගේ පිළිගැනිමට ලක්වූ ජනප්‍රිය නිර්මාණ අතළොස්සක් පමණය.දුදරුවෝ,. යසෝ රාවය., පළිඟු මෑණිකේ, ගිරය.,කන්දේ ගෙදර.,නෑදෑයෝ, සත්පුර වැසියෝ,.සූරිය දරුවෝ,  කඩුල්ල, වෙද හාමිනේ, දඩු බස්නාමානය,  අසල් වැසියෝ, සෙනෙහෙවන්තයෝ, අඹ යාළුවෝ යන නාට්‍ය පළමු විකාශන කාලය තුළදී සියයට හැටත් අසූ පහත් අතර ප්‍රතිශතයකින් ප්‍රේක්ෂක නැරඹුම්සංඛ්‍යාව වාර්තාගත කිරීමට සමත්ව ඇත.මේ බව අදාළ වර්ෂවල පිළිගත් සමීක්ෂණ වාර්තා පිරික්සීමෙන් ඉදුරා දැන ගත හැකිය.මෙයින් කියවෙන්නේ එම ටෙලි නාට්‍ය අදාළ විකාශන කාලය තුළදී සමස්ත ‍ප්‍රේක්ෂක ප්‍රමාණයෙන් බහුතර සංඛ්‍යාවකගේ සැළකිල්ලට භාජනය වූ බවයි. එය එසේ නමුත් ඉහතකී ජනප්‍රිය ටෙලි නාට්‍ය නිර්මාණ උසස් නිර්මාණමයැයි නිශ්චිතවම කිව නො හැක්කේ ඒවාද නොයෙක් අඩු ලුහුඩුකම් නිසා කලාත්මක බවින් හාඋසස් ගති ලක්ෂණවලින් පූර්ණව නොමැති බැවිනි.ඉහතකී නාට්‍යවලින් බොහොමයක් අදාළ වර්ෂවලදී සම්මාන ඇගයීම්වලටද භාජනයවී ඇති බව පැහැදිළිව ඇත.එසේ වුවත් සාහිත්‍ය කලා විද්වතුනගේ ප්‍රමාණවත් විචාරයනට හෝ ප්‍රමාණවත් විධිමත් ඇගැයීම් වලට හෝ අපගේ ටෙලි නාට්‍ය නිර්මාණ මෙතෙක් භාජනය වී         නොමැත.එම නිසා අපගේ ටෙලිනාට්‍ය පෙර කෙබදු ප්‍රමිතියකින් පැවතියේදැයි හරියටම කිව නොහැකිය. 
               
ඉහත සදහන් පසුබිම අනුව වර්තමානය ගැන විමසා බලන විට අද අපට පෙනෙන්නට තිබෙන්නේ ඉතා කනගාටුදායක තත්යවක් බව පෙනේ. තම තමන්නේ නාලිකාවල පෙන්වනු ලබන ටෙලි නාට්‍ය වැඩිම ප්‍රතිශතයක ජනතාවක් නිතිපතා නරඹන බව හුවා දැක්වීමට නාලිකාවන් අතර ලොකු ප්‍රචාරක තරගයක් පවතින බව පැහැදිළිය.ඒ අතර ඇත්තටම ඒවා නරඹන සංඛ්‍යාව පුදුම සහගත අන්දමින් පහත බසිමින් පවතින බව පැහැදිළිව පෙනේ.එදා ටෙලි නාට්‍ය බැලූ ජනතාවගෙන් සියයට හැත්තෑවක පමණ ජනතාවක් අද ටෙලි නාට්‍ය නරඹන්නේ නැති බව ප්‍රකට කරුණකි.උගතුන් ශිෂ්‍යයින් මෙන්ම සාහිත්‍යකාමී පුද්ගලයින් අද රූපවාහිනී නාට්‍ය හැර දමා වේදිකා නාට්‍ය හා සිනමාව රස විදීමේ තත්වයට පත්ව සිටී.නිතිපතා විකාශය වන අරුත්සුන්, රස හීන වල්පල් ලටපට ,වලින් පිරුණු ටෙලි නාට්‍යයැයි කියනු ලබන විකාර දර්ශනයන් නැරඹීමට ඉතිරිව සිටින්නේ දැන නුවනින් ඉතාම පහළ ස්ථරයක සිටින ඇබ්බැහිවූ පිරිසක් පමණය.මේ ප්‍රවාහය හමූවේ දැනුදු ඉද හිට විකාශය කෙරෙන ස්වයංජාත වැනි හොදනිර්මාණද අපතේ ගසාගෙන යන අයුරු කනගාටුදායකය.ටෙලි නාට්‍යයේ වර්තමානය එලෙසය.ඒ අනුව අනාගතය ගැන කියනුම කවරේද??.......
2012 11 17