Thursday, December 6, 2012

හොදම නළුවා ජගත් චමිල ද? ටෝනි රණසිංහ ද ?


ඊයේ පෙරේදා අවසන්වූ උත්කර්ෂවත් සුමති ටෙලි සම්මාන උළෙල ගැන ප්‍රේක්ෂක අපගේ සතුට! ....
එහි විනිශ්චයන් ගැන අප තුළ වැඩි සතුටක් පවතින නමුත් හොදම නළුවා සම්මානය ගැන නම් රංග වේදය දත් ප්‍රේක්ෂකයින් අතර පවතින්නේ කුකුසකි.විශිෂ්ටතම නාට්‍යවූ ස්වයංජාත හි ජගත් චමිල හොදම නළුවා ලෙස සම්මානනීය වූ අතර පිංසර දොස්තර හි රංගනය උදෙසා ටෝනි රණසිංහ නිර්දේශ වූවා පමණි.
ජගත් චමිල අති දක්ෂ රංගධරයකු බව අපි කවුරුත් හොදින් දනිමු.එහෙත් ස්වයංජාත හි ඔහුගේ රංගනය  ඔහුගේ බාහිර අග පසග වෙනස් කළ වෙස් ගැන්වීම මත යැපුණු බව සළකා බැලිය යුතු නොවන්නේ ද?බොල්ලෑ දත්/ සමේ කළු පැහැය / ආදිය නළුවා ගේ බාහිර ස්වරූපය  සහමුලින්ම වෙනස් කරමින් ඔහුට අනායාස රුකුලක් ලබා දී තිබිණි.එහෙත් නළුවා විසින්ම තම රංග කුසලතාව මගින් තම භූමිකාවේ බාහිර අභිනය සකස් කොට කළ හපන් කමක් මෙහි දක්නට නැත.ඉහතකී වෙස් මකා සිතා බලන විට එහි ජගත් චමිල මිස වෙන කිසිවකු නැත.
එහෙත් පිංසර දොස්තර හී ටෝනි රණසිංහගේ රංගනය පැහැදිළිවම මැනවින් ගොඩ නගා විකාශය කළවිශිෂ්ටතා වලින් හෙබි බව කිව යුතුය. ඔහු තම සිරුර චරිතයට අනුකූල ලෙස සියුම් ලෙස හසුරුවන ආකාරය පැහැදිළිය.තරමක් හුදකලාවූ වයස්ගත අමුතු ගතිද ඇති පුද්ගලයාගේ සාමාන්‍ය ඉරියව් ඔහු තම අංග ප්‍රත්‍යංග ඇසුරින් ප්‍රතිනිර්මාණය කරයි.එසේම භාවමයවූ උත්සන්න  නාටකීය අවස්ථාවන්හිදී ඔහු ස්වකීය කටහඩ තිගැස්මෙන් ලෙලවමින් හා අවස්ථානුගත හද ගැස්මත් එහි කම්පනය වන සැප දුක් සහිත මනෝ භාවයන් සියුම් ලෙස අභිනය කරන අයුරු ප්‍රසංසනීයයි.භාව සන්නිවේදනයේදී මුහුණ හා දෑස විචක්ෂණ ලෙස උපයෝගි කර ගන්නේ රංගනය පෙනී සිටීමකට එහා ගිය දැනුවත් විද්‍යාත්මක කාර්යයක් බව ප්‍රකට කරමිනි.
තිර රචනයට අයත් භූමිකාවේ හරබර චරිත ලක්ෂණ ආරෝපණයවූ පමණින් නළුවකුගේ අභිනයෙහි විශිෂ්ටතාව මතු නොවේ.එහිදී නළුවා/නිළිය තම බාහිර අංග ප්‍රත්‍යංග හසුරුවන ආකාරයේ සියුම් බවත්, අභ්‍යන්තර හැගීම් ප්‍රකාශනයේදී කට හඩ හා ඉංගිති නිර්මාණයේත් හුරුබුහුටි බවක්දැක්විය යුතු වෙයි. පිංසර දොස්තර මේ ලක්ෂණ වලින් සමන්විතය.මෙලෙස රංග පරිසමාප්තයකට අදාළ පරිකල්පනය/ සන්නිවේදනය/ රිද්මය/ආවේග අව්‍යාජත්වය කරුණු අතින්  පූර්ණව ටෝනි කළ රංගනය යස අගේට අපූර්වවූ චරිතයක් විදහා පෑ බව සතුටින් පැවසිය හැකිය.
ජගත් චමිල ප්‍රතිභා පූර්ණ රංග ධරයකු බව සත්‍යයයි.එහෙත් රංග වේදයේ තවත් පසු කළයුතු කඩ ඉම් රාශියක් ඔහුටද ඇත.තවමත් යොවුන් වියෙහි පසුවන ජගත් නුදුරු අනාගතයකදී පරිසමාප්ත බව දිනා ගන්නා බවට සැක නැත.
ජගත් චමිලගේ රංගනය අදාළ උළෙලේදි ටෝනි රණසංහ ගේ රංගනයට වඩා කවර න්‍යායකින් විශිෂ්ට වූයේදැයි පහදා දෙන්නේ නම් එය රංගනය විධිමත් ලෙස හදාරණ අපේ තරුණ කැලට මහගු අධ්‍යයනයක් වනවා ඇත.මේ ආරාධනය විවෘතය.ස්තූතියි.  2012 දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා


Tuesday, December 4, 2012

සාම සම්මානයෙන් පිදුම් ලැබූදීපිකා ප්‍රියදර්ශණී පීරිස්

පිලිපීනයේ මැනිලා නුවර පැවති අන්තර් ජාතික ගුසී සම්මානයෙන් අපගේ ආදරණීය ගායිකා දීපිකා ප්‍රිය දර්ශනී මෙනවිය පිදුම් ලැබූ බව දැනගත් අප සැම අමන්දානන්දයට පත්වූ බව දසතින් අසන්නට ලැබේ“.සරෝජා දියණියේ“ වැනි මානව දයාවෙන් හෘද කම්පනය කිරීමේ අර්ථ හා මාධූර්ය ගුණයෙන් හෙබි ගීතයක් කාලීනව ලොවට ගයන්නට ඇය සමත් වීම අප කාගේත් ආදරයට හා ගෞරවයට හේතුවේ.ඇයගේ මධුර මනෝහර වූ හද පැහැර ගන්නා ද්වනි ගුණයෙන් යුත් ගායන කෞශල්‍ය හා සියුම් කටහඩ ජනතාව වෙනුවෙන් චිරාත් කාලයක් හැඩ වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.
සුගායනයට තුඩුදෙන අයුරින් ගීතයේ පද මාලාව අර්ථ හා ද්වනි ගුණයෙන් පූර්ණව රචනය කළ ගීත රචකයා මෙන්ම අති සියුම් නාද මාලාවක් සංයෝජනය කරමින් තනුව හා සංගීත නිර්මාණයකළ සංගිතඥයාණන්ද අපගේ නොමද ගෞරවයට මෙම මහගු  අවස්ථාවේදීම පාත්‍ර විය යුතුයැයි සිතමි.2012 .11 .04