Sunday, January 20, 2013

ගුරුවරයාගේ වරදින් මිනිමරුවකුවූ අහිංසක සිසුවා



නිර්මාණ රංග ධාරා නාට්‍ය පර්ෂදය මගින් රංජිත් හරිශ්චන්ද්‍ර ගේ “ශිල්ප ශාලිකා“ නාට්‍ය රග දැක්වෙනු පසුගියදා වලපනේ දී දක්නට ලැබිණි.ගුරුවරයකුගේ වැරදි උපදෙස් නිසා අහිංසක සිසුවකු දරුණු මිනිමරුවකු බවට පත්වන අයුරු හා උතුම් ගුරුවරයකුගේ  මග පෙන්වීමෙන් එම ශිෂ්‍යයා යළි යහ මගට පත්වන අයුරු මෙමනාට්‍ය මගින් ඉතා දක්ෂ ලෙස නිරෑපණය වූ අයුරු ප්‍රසංසනීය බව ප්‍රේක්ෂකයින් බහුතරයක අදහස විය.ඉතා ප්‍රබල සංවාද හා අර්ථවත් කන්කළු ගීත යෙන් යුක්ත මෙම නාට්‍ය යෙහි චාමරී නිසංසලා මන්තානි නමැති මවගේ චරිතය රගදැක්වූ අයුරු  මනබදනා ගුණයෙන් යුක්තය.අහිංසක ගේ චරිතය රගදැක්වූ ලක්ෂාන් රන්දික මෙන්ම බණ්ඩාර ධර්මරත්න  අනුෂ්ක ඉදුනිල් ජේ.බි. තෙන්නකෝන් ගාමිණී අමරසිංහ රංජිත් ප්‍රසන්න මහේෂ් රාජිත නාලක දිසානායක තරිදු මයුරංග ද දක්ෂ ලෙස රග පෑහ. මෙහි සංගීත අධ්‍යක්ෂණය කලා භූෂණ එම්. ටිකිරි බණ්ඩාහා විශාරද හසිතා තිලක රත්න ගෙනි. තිමිර රශ්මික සජිත් ජයතිලක සහය වුහ. මෙහි රංග වස්ත්‍ර නිර්මාණය සම්පත් දිසානායක ගෙනි.අංග රචනය කළේ කුමුදු රත්නායක යි.එච් .එල්.ධර්මරත්න රංගා ලෝකය මෙහෙයවූ  ශිල්ප ශාලිකා රංජිත් හරිශ්චන්ද්‍ර ගේ නවතම  නාට්‍ය නිර්මාණයයි.   2013 01 20 

Thursday, January 17, 2013

නෙළුම් පොකුණ“, අපටත් ඕනෑ නැද්ද? “.....



ආරියරත්න ඇතුගල නිර්මාණය කරන “ මහ සමයම“  ඔපෙරාව [ගීත නාටකය ]  ජනවාරි 30 වැනිදා කොළඹදී රග දැක්වීම අරඹන බව සැළවීම කලාකාමී අප සැමගේ සතුටට හේතුවකි.එය නෙළුම් පොකුණ නමැති මහ රගහලෙහි රග ගත වීම වඩාත් සතුටට හේතුවයි. නෙළුමි පොකුණෙ හි විධිමත් සංගීත නාටකයක් රග දැක්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
නෙළුම් පොකුණ ජාතික රගහලක් සේ විවෘත කළාටම පසු නාට්‍යයක් සදහා එහි තිරය හා අනේක විධ නවීන තාක්ෂණික මෙවලම්ද ආලෝක ධාරාවන්ද ප්‍රෙක්ෂක ජනතාව හමුවේ විවෘත වන මහගු අවස්ථාව මෙයයි. විශ්ව මට්ටමින් අපගේ ජාතික නාට්‍ය දොරට වඩන අවස්ථාවක් ලෙස මෙය හැදින්වූවාට වරදක් නැත.එය ආඩම්බරයට හා සතුටට කරැණකි.
එහෙත් දුකක් ද පවතී.සෙසු නාට්‍ය කරුවන් වූ අපට නෙළුම් පොකුණ ගැන හිතන්නටවත් බැරි තත්වයක එය පැවතීම දුකට හේතුවයි.නෙළුම් පොකුණ රගහල නාට්‍යයක් පෙන්වීම සදහා අපට ලබා ගත නොහැක්කේ එම ජාතික රගහල ලක්ෂ දහයක පමණ මුදලක් දර්ශණයක් සදහා අය කරන බැවිනි.එහි ඇති මිළ කළ නොහැකි වටිනා තාක්ෂණික පහසුකම් වලට සරිලන එම අය කිරීම් සාධාරණ නමුත් අප රට සිටින දක්ෂ එහෙත් පොහොසතුන් නොවන සාමාන්‍ය නාට්‍ය කරැවනට එම අය කිරීම් දැරිය නොහැකි තරම් මිළෙන් ඉහළය.
රගහලෙහි ඇති නවීන පහසුකම්  නිර්මාණාත්මකව අති දක්ෂ ලෙස උපයෝගි කර ගනිමින් උසස් නාට්‍ය නිපයීමට තරම් හැකියාවෙන් පූර්ණවූ සූරයන් අප අතර නැතිවා නොවේ. නැත්තේ මුදල් හදල්ය.අප රට සිටින  බහුලවූ ප්‍රේක්ෂක නාට්‍ය ලෝලීන්ට ද රුපියල් දහසක් දෙදහසක් වැනි මුදලක් වුව නාට්‍යක් නැරඹීම සදහා වැය කිරීම පහසු නැත.එවැනි පහසුකම් ඇත්තේ මධ්‍යම පංතියෙන් ඉහළ අතළොස්සක් පමණවූ පිරිසකට පමණය.සාමාන්‍ය ජනතාවගේ හිසට ඉහළින් ඉගිලෙන ජාතික නාට්‍ය කලාවකට පැවැත්මක්ද නැත. පැවතුණත් ඉන් ඇති වැඩක්ද නැත.
නෙළුම් පොකුණ ඇසුරු කරගත් උසස් ජාතික නාට්‍ය කලාවක් ගොඩ නගා ගැනීමෙන් පමණක් මෙම රගහලෙහි පල උපරිමව නෙලා ගත හැකිය.ඒ සදහා රජයේද කලාකරුවන්ගේද නොමද උත්සාහය හා කැප කිරීම් යෙදවීම අති අවශ්‍යය. උසස් ඔපෙරා රචනයන් තෝරාගෙන ඒවා නිෂ්පාදනය කිරීම සදහා රජයෙන් හා පෞද්ගලික අංශයෙන් දක්ෂයනට ප්‍රතිපාදන දිරිදීම් ලබාදීම මගින් මෙම රගහලෙහි නියම අර්ථය ජාතිය සදහා දායාද කළ හැකි බව රහසින් නොව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිය.
කෙසේ වෙතත් මහ සමයම නමැති ප්‍රයත්නයට අපි ආසිරි පතමු.       2013 01 18

Wednesday, January 9, 2013

here AFTER him ඉනියවන් විශිෂ්ට වන්නේ කොහොමද?

අශෝක හදගමගේ  ඉනියවන්.  විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් බව මේ වන විටත් බොහෝ දෙනාගේ පිළි ගැනීම බවට පත්වී ඇත.එය විශිෂ්ට වන්නේ කවර කාරණාවලින් ද?  ප්‍රබලම කාරණය එහි අන්තර්ගතයයි.     නිර්මාණාත්මක කල්පිතයක කලාත්මක ලක්ෂණ එහි ඇති නමුත් එය මුලුමනින්ම හදගමගේ ; සංකල්පනාවක් පමණක් නොවේ.එය බෙහෙවින්ම සත්‍යවූ පසුබිමක ; සත්‍යයටම ළංව නිර්මිත චරිතයන්ගේ ඛේදවාචකය අපූර්ව ලෙස සටහන් කරන්නකි.
මේ චරිත එම පසුබිම තුළ අද කොහේදී කොතනක දී  හෝ නිරන්තරව හමුවන; හමුවිය හැකි චරිතයි. එහෙයින් එය ප්‍රභාකරන්ගේ යුද්ධයට නතුවූ පෙදෙසක ; දමිළ මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ  “සත්‍ය හඩා වැටීම“ පිළිබිඹු කරන කෘතියකි.දකුණේ වෙසෙන සිංහල සමාජය ප්‍රභාකරන් හා සහචරයන්ගේ විනාශයත් යුද්ධයේ නිමාවත් අසා සතුටු වූවා පමණකි. එහෙත් අප යුද්ධයෙන් පීඩිත උතුරේ මිනිසාගේ  හඩා වැටෙන හදවත  දකින්නේ ඉනියවන් තුළිනි.
උතුරේ මිනිසාගේ සමාජය; සංස්කෘතිය හා දේශපාලනයද නටබුන්වූ අර මිනිසාගේ ඇගට පැන හපා කන සැටිත්;උනුන් ගැටී ලේ උරා බොන සැටිත් කවර හෝ ප්‍රේක්ෂකයකුට වුවත් ප්‍රබල අත්දැකීමක් ලෙස ප්‍රත්‍යක්ෂ කරවීමට ඉනියවන් සිනමා කෘතිය සමත් ව ඇත. එම නිසා මෙම සිනමා කෘතිය අප සමාජ හා දේශපාලන දැක්ම පුළුල් කරවන දෘෂ්ටිය සකස් කිරීමේ බලපෑම කළ හැකි කෘතියක් බව නොවළහා පැවසිය හැකිය.
මේ සිනමා කෘතියේ අන්තර්ගතය ; විශ්ව සාධාරණ වන්නේ යුද ගැටුම් හා එයින් ඔත්පලවූ මිනිසුන් ලොව පුරා කොතනත් කවදත් හිග නොමැති බැවිනි.අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එය එක ලෙසම අදාළ වෙයි.ඒ නිසා ඉනි අවන් සමකාලීන අගයකින් යුක්ත දේශජ ලක්ෂණ දරණ කෘතියක් වූවත් එය සර්වකාලීන සර්ව හෞමික අගයකින්ද තොර නොවේ.
පුනරැත්ථාපනය ලබා සිය ගමට එන තරුණයා  මුහුණ දෙන අති දුක්බර අර්බුදය අපට සන්නිවේදනය කරන්නේ කුමක්ද? යුද්ධයෙන් පසු කෙලෙස හෝ නැගී සිටීමටත් ; නැතිවූ සියල්ල ඉක්වනින් ආපසු ලබා ගැනීමටත් උග්‍ර කායික ආධ්‍යාත්මික යුද්ධයක ඔවුනොවුන් හා පැටලී සිටින දුක්බර මිනිස් වගකගේ සැබෑ තත්වයයි.විනාශවී ගිය අනගි සංස්කෘතික සමාජය යළි ගොඩ නගා ගැනීම සිහිනයක් පමණක් විය හැකිය.ඒ වෙනුවට වැළලූ ගිනි අවිය පවා ගොඩ ගැනීමට පොළොඹවන පාතාල නරැම සමාජයක් බිහිවෙමින් පවතින අතර එම හතුරු සමාජය අඩු විහිදුවාගෙන මුලු මහත් උතුරැ සමාජය හා අවට ගිල ගැනීමට පටන් ගෙන ඇත.යුද්ධයෙන් නොමැරී ජීවත්වූ බැවින් කෙසේ හෝ ජීවත් වෙමුය යන ජීවන දෘෂ්ටියෙන් සාමාන්‍ය මිනිසාගේ ප්‍රඥාව හකුලුවා ඇත.එසේ හෙයින් ඔවුනගේ අනාගතය කුමකින් කුමක් වේදැයි අවිනිශ්චිතය.අශෝක හදගම ඉනි අවන් තුළින් නගන්නේ මේ බරපතල සංස්කෘතික හා දේශපාලන ප්‍රශ්නයයි.
සියලු දෙනා සිතා බැලිය යුතු බරපතල පැනයකි එය.කැටි කොට කිව හොත් ඉනියවන් ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ට විශ්වීය තලයේ ප්‍රායෝගිකවූ සිනමා කෘතියකි.
ආරම්භයේ සිට අවසානය දක්වා දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් රූප රාමුවෙන් රාමුවට ප්‍රේක්ෂකයා සිතන්නට පොළඹවන ප්‍රශස්ථ කලාත්මක සංයමයකින් මෙම නිර්මාණය සමන්විත වන්නේ සියලු ශ්‍රව්‍ය දෘශය අංගෝපාංග මැනවින් සිය සහභාගිත්වය දක්වා ඇති බැවිනි.එ බැවින් සැබෑ පුවතකට මනසින් හා කයින් සහභාගි වන්නාක් බදූ සජීවි කම්පනයක් ප්‍රේක්ෂක අප තුළ පහළ වන බව ප්‍රත්‍යක්ෂ වේ.ඉනියවන් ශ්‍රී ලාංකික අප සැම වෙත සාදරයෙන් පිදූ අව්‍යජවූ අගනා විශිෂ්ට සිනමා තිළිනයකි.
2

Sunday, January 6, 2013

අප ඉනියවන් නැරඹිය යුතුද නැද්ද?



ලාංකීය දෙමළ සිනමාවක අවශ්‍යතාව එදාටත් වඩා අද බලවත්ව දැනෙන බව  කිව යුතුය. යුද්ධයට පසු සිංහල මිනිසා හදුනා ගැනීම දෙමළ මිනිසාට බෙහෙවින් වැදගත් වන අතර , දෙමළ මිනිසා හදුනා ගැනීම සිංහල මිනිසාටද ඉතා වැදගත් වෙයි.ඉහතකී දෙදෙනාම එකම රටක වෙසෙන එකම ලාංකික ජාතියේ මිනිසුන් වන බැවිනි.මේ දෙදෙනාගේම හදවත් එකිනෙකා හමුවේ අව්‍යාජව විවෘත වන්නේ නම් අන්‍යෝන්‍ය සැකය; බිය; අවිනිශ්චිතතාව ආදී දුර්ගුණ සිත් වලින් පහවී ඒ වෙනුවට දයාව; කරුණා මෛත්‍රිය;සහයෝගීතාව වැනි මානව හැගීමි වර්ධනය වනු ඇත.දෙදෙනා දෑතින් දෑත පටලවාගෙන හදවතින් හදවතක උණුසුම විද ගනු ඇත.අසිරිය එයයි.මෙය කළ හැකි ප්‍රබල මාධ්‍යය සිනමාවයි.අසෝක හදගම එවැනි ආශ්චර්යවත් සිනමාවක් උදෙසා මෙවර තම නිර්මාණ ප්‍රයත්නය යොදවා තිබීම අප කාගේත් වාසනාවක් බව කිව යුතුය.ඔහුගේ මෙම අවංක ප්‍රයත්නය නමැති පුෂ්ප පැළෑටිය තවත් අය විසින් සාත්තු කොට එය නුදුරු අනාගතයේදීම මහා වෘක්ෂයක් බවට පත් කරන්නට සමත් වෙතොත් එය ලාංකික මානව සංහතියේ  අභිවෘද්ධියට හේතු වන ප්‍රබල කාරණයක් වනු ඇති බව පැවසිය හැකිය
අසෝක හදගම ඉනියවන් සිනමා කෘතිය සදහා ඔහුගේ නිර්මාණ ප්‍රතිභාව හා කායික මානසික ශ්‍රමය නිර්ලෝභිවයොදන්නට දිරි ගැනීමම මහත්වූ එඩිතර ක්‍රියාවකි. ජගත් වැල්ලවත්ත හා අනුර ප්‍රනාන්දු නමැති කලාකාමී අර්ථපතියන් දෙදෙනාගේ අර්ථවත් සහභාගිත්වයදසිනමාව හා මනුෂ්‍යත්වය උදෙසා කළ උසස් පරිත්‍යාගයක්සේ සැළකිය යුතු වෙයි.ඔවුනට අපගේ ගෞරවය හිමි කරතොත් එය මහගු ක්‍රියාවකි.
ලාංකිය දෙමළ සිනමා කෘතියකට  මෙරට තුළදී ආයෝජනය කරන මුදලින් දශම එකක්වත් ආපසු උපයා ගැනීම දුෂ්කර බව හදගම හා අර්ථපතියන් හොදින්ම දැන සිටින බවට සැකයක් නැත.දකුණු ඉන්දියානු සිනමා සිහින ලෝකය තුළින් අප රට දමිළ ප්‍රේක්ෂක ජනතාව ගලවා අපගේමවූ දමිළ සිනමාවකට දිනා ගැනීම බෙහෙවින් දුෂ්කර බව පැහැදිළිව ඇති කරුණකි.ඉනියවන් නැරඹීම අපගේ පරම යුතුකමක් වන්නේ:ලාංකීය ජාතියේ දමිළ ආත්ම ප්‍රකාශන සිනමාව ගොඩ නගා ගැනීමට ඉන් අප ලබා දෙන ශක්තිය ඉමහත් බැවිනි.
2013 ජනවාරි මස 05 වැනිදා සෙනසුරාදා