Wednesday, May 29, 2013

මේක නම් අමුතු පැනයක්



“තාත්තේ මෙහෙ එන්න ...මෙහෙ එන්න..“
අන්තර්ජාලයෙන් පුවත්පත් කියවමින් සිටි ගැටවර පුතා කෑගසන හඩ ඇසී පියා වහා දිව ගිය අතර,පුතා දකිමින් සිටි බිහිසුණු දර්ශනය තාත්තාටද දකින්නට ලැබිණි.
“ආත්ම පූජාවක්ලු !“....තාත්තා හැගීමෙන් යුතුව කීවේය.
“ඇත්තද?..ජපානේ සමහරු බඩ කපාගෙන මැරුණු එක ?“
“ඒකත් එහෙම ලු“.......තාත්තා කීවේය.
“ටිබෙට් හාමුදුරුවරු?“..පුතා මතක් කළේය.“ගිනි තියා ගත්තනේ“
           “එහෙමයි..ඒවා ආත්ම පූජා! උදාර අරමුණක් වෙනුවෙන් දිවි නසා ගැනීම “
            එතකොට තාත්තේ, යුද්ධ කාලෙදි අර හසලක ගාමිණි අයියා බෝම්බ ට්‍රක් රථයකට පැනලා මරාගෙන මැරුණෙ“?..
            “ඔව්පුතේ,රට වෙනුවෙන් ආත්ම පූජාව හරිම ඉහළයි....“
             “යුද්ධෙ නැගලා යන දවස්වල “මැරුණත් කමක් නැහැ රට වෙනුවෙන්“කියල හමුදාවට බැදුණු අල්ලපු ගෙදර නිහාල් අයියා ?
“ මේ ඕනෑ නැති ප්‍රශ්න ඕන නැහැ කට පියා ගන්නවා “..තාත්තා සැර විය. “ නමුත් පුතේ ආත්ම පූජාව ශ්‍රේෂ්ටයි.“
“ඉතින් තාත්තේ නිහාල් අයියත් යුද්දෙදි මැරුණනේ“....
“. හරි හරි, අල්ලපු ගෙදර උන් අපි එක්ක ඉඩමට වෛරයි..උන් මැරෙණ එකමයි කාරිය “....තාත්තා තරහින් කිව්වේ අහක බලා ගෙනය.
“එතකොට තාත්තේ, දිවි නසා ගන්න එක කෙනෙකුට උත්තම ආත්ම පූජාවක්, තව කෙනෙකුට ඒකම පහත් ආත්ම ගාතනයක්...එහෙමද?“
කට උත්තර නැති තාත්තා මොහොතක් බලා සිට සැරෙන් යමක් කීවේය.
“දිවි නහ ගන්න එක හොද නැහැ කියලයි වැඩි දෙනා කියන්නේ.., ඒ කෝක වුණත් උඹ එහෙම ඔය දිහා බලා ඉදලා ඕවා ආදර්ශෙට ගන්නවා එහෙම නෙමෙයි. එහෙම උනොත් මට වෙන්නෙ මහ වින්නැහියක් “
තාත්තා බියපත් හැගීමෙන් පුතා දෙස බලා සිටියේය.ඒ දෑස තුළ අසීමිත පුත්‍ර සෙනෙහස කදුළක් බවට හැරෙමින්  දිලිසෙනු පෙනිණි.
“එතකොට තාත්තේ,....බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයේ වැඩ සිටින කොට අල්ලපු වත්තේ සූකරයන් මරන මිනිහෙක් හිටියලු නේද ? ඉතින් බුදුන්වහන්සේ , කොසොල් රජ්ජුරැවන්ට හරි අනේපිඩු සිටු තුමාට හරි කියලා ඌරු මරන්නාව එතැනින් එළවන්න වැඩ නොකර නිහඩව වැඩ සිටියා කියන්නේ ඇත්තද? “  පුතා බරපතල ප්‍රශ්නයක් නගා සිනහ විය. 
“ඔව්  පුතා ඔව්...,ඒ තමයි මහා කරුණාව!,උපේක්ෂාව!..තේරුණාද?..කර්මය කරන්නා ඒ කර්මයේ පල විපාක විදිනවා.බුදුන් වහන්සේ ඒ යථාර්ථය කියා දුන්නා මිසක කිසිවිටක කාටවත් බලපෑම් කළේ නැහැ.“
“ඒ උනත් තාත්තේ,හැමෝම අඩු ගානේ සෝවාන් ඵලය වත් නැති අයනේ. ඉතින් කොහොමද බුදුහාමුදුරුවන් වගේ ඉන්නේ?
““ඒකත් හරි තමයි පුතේ ..ඒ නිසා සේරම අවුල්..අපි හැම දෙයක්ම තව තව විමසමින් ඉවසිල්ලෙන් තීරණයක් ගනිමු..““ පියා සංසුන්ව කීවේය....

Sunday, May 26, 2013

ඔහු අප ගේය, අප ඔහු ගේය



මේ දිනවල රට පුරා ඇවිදිමින් සිරි නරඹන උගත් විදේශ සංචාරක මහත්මයකු මගේ මිත්‍රයකුගෙන් අපූරු ප්‍රශ්නයක් අසනු මට අසන්නට ලැබිණි. මේ විදේශිකයා මගේ මිතුරාගේ මිතුරෙකි.
“දැන් දවස් ගණනක් තිස්සේ රටපුරා යන යන තැනදි මට ඇහෙන්නේ එකම කට හඩකින් ගැයෙන ගීතමයි.දන්සැල්,තොරණ් ,බුද්ධාගමේ උත්සව වලදී මා දකින්නේ අසන්නේ අනිවාර්ය අංග දෙකක්.එකක් ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය,අනෙක් එක අර කට හඩෙන් ගැයෙන ගීත,....යාළුවා, කවුද ඒ ? මොනවද ඔහු මේ ගයන්නේ ?“  ඔහු ඇසුවේය.
“මහත්මයා ඒ අපේ මහා ගායකයෙක්,ඔහුඔය ගයන්නේ බුදු ගුණ! එක්කෝ නැත්නම් බුද්ධ ධර්මය පදනම් කරගත් දහම් උපදේශ සහිත ගීත...“ මගේ මිතුරා පැවසීය“.ගීත සිය ගානක්!“
“ආ? එහෙනම් ඔහු ඔබේ ජාතියේ සම්පතක් වැනි ස්වරය ද වැනි මහ ගායකයෙක්!..ඔහුගේ නම? “
“ඔහුගේ නම අල්හාජ් මොහිදින් බෙග් !“   මගේ මිතුරා වහා පිළිතුරු දුන්නේය.
“මොහිදින්?  ඔහු ඉස්ලාම් කෙනෙක් ද?“
“එහෙමයි!  ඔහු ඉතා හොද ඉස්ලාම් භක්තිකයෙක් ..“
“මට හරිම පුදුමයි!“  විදේශිකයා කීවේය.
“ඔව් මහත්මයා,ඔහු ජීවත්ව ඉදිද්දී සුපහන් සිතින් ගෞරවයෙන් යුතුව බොදු ගීත ගැයුවා..ඒවා තව චිරාත් කාලයක් මේ ලක්දිවේ රැව් දෙන බව නියතයි.“
“මටහරිම පුදුමයි.“විදේශිකයා යළිත් කීවේය.
“එහෙමද?  ඔහු ඉතා හොද ඉස්ලාම් භක්තිකයකු ලෙස ජීවත් වූවත් ,මිය ගියත්,මිහිදන් වූවත් ඔහු නිතරම මේරටටත් ජනතාවටත් ආදරය කළා ,ගෞරව කළා.ඒ නිසා ඔහු අපගේම කෙනෙක්! ඒ වගේම අපි හැමෝම ඔහුගේම අයයි.“
“ඇත්තටම නියමයි !..“ විදේශික මහතා කීවේය.  “මං බොහෝ රටවල මිනිසුන්ගේ ජාති ආගම් කුල ගැටුම් දැකලා තියෙනවා.ඒවා හරිම කුරිරුයි,ඒත් මේ වගේ අපූරු දෙයක් මංදැක්කේ මේ වතාවෙයි.ඇත්තටම මේ රටත් ජාතියත් හරිම ආශ්චර්යවත්. ඔබේ මේ රටේ බහුතර මිනිසුන් ,මිනිස්කම මිසක ආගම් ජාති බේද තකන්නේ නැති බව මට පැහැදිළියි..“.............විදේශිකයා මවිතයෙන් එහෙත් පුදුම ගෞරවණීය හැගීමකින් කියා සිටියා.
අප හෙළයේ මහා ගායකයකු වැනි අල්හාජ් මොහිදින් බෙග් කලාකරුවාටත්,ඔහුගේ අනගි ගීත ඒ හඩින් සජීවි කරන අපේ ඉසාක් බෙග් ඇතුලු දූ පුතුන්ටත් අපේ කෘත ගුණ සළකා සැළකිය යුතු අවධානයක් යොමු කරනවා නම් එය අපේ ජාතික යුතුකමක් හැටියට මට කල්පනා වේ. එය මහගු පිං කමක්ද වනු නියතයි

Saturday, May 11, 2013

ලයිට් බිල අඩු කර ගැනීමේ නොවරදින මග



තරුණයෝ මහ දැන මුත්තා හමු වූහ. “මහ දැන මුත්තේ , ලයිට් බිල හරි සැර වැඩියි. ගෙවන්න අමාරුයි.
කරුණාකරලා ඒක අඩු කර ගන්නා විදිය අපට කියලා දෙන්න“  තරුණයෝ කංකෙදිරි ගෑවෝය.මෙය ඇසූ
දැනමුත්තා සිණාසුණේය. “ළමයිනේ, වැඩි නම් ඇයි පාවිච්චි කරන්නේ ? අත් අරින්න.
එවර සිණාසුණේ තරුණයන්ය.
“පාවිච්චි නොකර කොහොමද ? ඒක මහ මෝඩ කතාවක්!  “ තරුණයෝ කීහ .
“ළමයිනේ, එහෙමනම් පාවිච්චි කරන්න .“
“ඒකත් මෙන්ටල් කතාවක්නෙ..“ හඩ නගා සිණාසුණහ.
“අවශ්‍ය දේට පාවිච්චි කරන්න ,අනවශ්‍ය දේ අත් අරින්න.“ මහදැනමුත්තා හඩ නගා සිණාසුණේය.“
“අනවශ්‍ය දේ ? ඒ මොනවාද ?“
“නිකරුණේ ලයිට් දාගෙන නිදිමැරීම, වෙළද දැන්වීම් සමග නිසරු ටෙලි නාට්‍ය පැය ගණන් බැලීම,වෛර
“දේශපාලන සාකච්චා බලමින් කාලය මැරීම,තොදොල් කතා කියන රේඩියෝ වැඩ පැය ගණන් අසා සිටීම
“තව ඕනැද..?“
“හෝව්!හෝව්! ඔය ඇති,ඔය ඇති. මුත්තා කිව්වොත් කියන්නේ ඔය වගේ ‘එළු බෙලි කතාවක්“ ම තමයි “
තරුණයෝ හූ කියමින් සිනහ වූහ.