Monday, June 24, 2013

මේ මගේ ප්‍රාර්ථනාවයි!



රට මැද සිට සතර දිශාවට ගලන ගංගාඇල දොල, බාධා කිරීමකින් තොරව, රට සැම තැන සරු කරමින්,යෙහෙන් ගලා යේවා!
රටේ උතුර, දකුණ, බස්නාහිර, නැගෙනහිර,වයඹ,නිරිත,ඊසානමධ්‍යම ආදී පළාත්, දිසා හරහා දිවෙන මං මාවත්වල වැට කඩුලු නොමැතිව  බාධා කිරීමකින් තොරව නිදහසේ ගමන් කිරීමට දැන් අපට ඇති නිදහස සදා කල් එලෙසම පවතීවා!
රටේ ඕනෑම පුරවැසියකුට සිය රටේ ඕනෑම පෙදෙසකින් ඉඩමක් මිළදී ගැනීමට,නිවෙසක් ඉදිකර හෝ මිළදී ගෙන එහි පදිංචි වීමට බාධා ඇති නොවේවා!
රට තුළදී ඕනෑම කෙනෙකුට ඕනෑම අයකු හා දෙදෙනාටම වැටහෙන ඕනෑම ශිෂ්ට භාෂාවකින් කතා කිරීමට දැන් ඇති නිදහස තව තවත් වර්ධනය වේවා!
රට පුරා ඇති අපේ අගනා පුරා වස්තු සියල්ල ,සියලු දෙනාගේ ජාතික උරුමයහා ප්‍රෞඩත්වය වන බැවින්, ඒවා සියල්ල එක ලෙස රැක ගැනීම,සියලු දෙනාගේ වගකීම හා යුතුකම බව සියලු දෙනාට එක ලෙස වැටහේවා!
රට වටා ඇති මහ මුහුද රටේ සැම දෙනාගේ පොදු උරුමයක් බවට ඇති පිළිගැනීම මේ කප පවත්තා තුරු ඒ ලෙසම පවතීවා!
රටපුරා සැම තැනම සිංහල මිනිසුන්ද,දෙමළ මිනිසුන්ද, මුස්ලිම් මිනිසුන්ද වෙනත් ලාංකිකයන්ද ආදී වාසින්ද නිතර දක්නට ලැබුනොත් එය පුදුමයට කරුණක් නොවේවා!(කොළඹ දී දැනුත් එසේ දක්නට ලැබෙන බව ඇත්තකි.)
ජාතිවාදී හැගීම් හා ආගම්වාදී පටු අදහස් වලින් කුණු නොවූ නිදහස්කාමී ,ශ්‍රේෂ්ට ලංකා ජාතියක් බිහිවනු දැකීම උතුම් ප්‍රාර්ථනයයි.
මේ කවි කල්පනාව සැබෑවක්ම වේවා!
  

Saturday, June 22, 2013

මිනිසුන් මෙලෙස කැදවන්නේ ලෝක විනාශය ද?



හිරෝෂිමාවේ  හෙලූ පරමාණුවේ
දුක් අදෝනා තව ඇසේ  -ඒ අතීතය දිසේ
නවත්වනු මැන මිනිසුනේ-වියරු රණ ගෝෂා
කෝප ගිනි දැල් නිවා දා -රුදුරු ගිනි අවි බිම හෙලා
බලනු මැන මිනිසුනේ
මිනිස් වග දුක් වේදනා.....
රුදුරු අවි ගැටුණු තැන -ලේ මස් සුවද පහ නොවේ
සා ගින්න පිපාසය - පෙළයි අසරණ මිනිසාව
තවත් මිනිසෙක් මිනිසකු ට-තර්ජනය කරයි අවියෙන්
අහෝ මිනිසත් බව!!
ක්‍රෝධයෙන් දැල්  වුණ- මහා ගිනි ජාලා නිවා
පැමිණෙන්න පැමිණෙන්න-විනාශය අත ලගය
මනුසත් බව නුඹ කොයි ද?
මනු ලොවෙන් චුතව -පර සක්වලක සැගවිණි ද?
එතනෙහිද නොසිට -අලු ධූලි වී  වායු වී
මේ මහා සක් වලින් -සදා අතුරුදන් වීද?
අහෝ! මනුසත් බව,-මුර ගගා සොයමි
නුඹ කොයිද? නුඹ කොයිද? නුඹ කොයිද?....



Tuesday, June 18, 2013

ඉල්ලන අයට පමණයි! කලා බූසණ



කලා බූසණ සම්මාන ඉල්ලා ලබා ගත් අය දහස් ගණනක් සිටිති.වසරක් පාසා මෙම ප්‍රදානය ඉල්ලා ලබා ගන්නා අයද බෝ වෙති.ඒ අතර මේ බූසණය ඉල්ලා ලබා ගත් අයද වසරක් පාසා කිසිම සුගතියක් නො ලැබ රහසේම මිය යති.     යම් රටක කලාකරුවා යනු ගෞරව සම්මාන ලැබිය යුතු අයකු බව කීම සාධාරණය.එහෙත් කලාකරුවා තම හැකියාව හා ප්‍රතිභාව අනුව  කරන ලද කාර්යයන් උදෙසා සම්මාන ඉල්ල ඉල්ලා ඉල්ලුම් පත්‍ර දැමිය යුත්තකු වන්නේ නම් එය මහත් පුදුමයකි.!අසාධාරණයකි!.එය විශේෂයෙන්ම හැට පැන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවාට මහත් අවමානයකි.කලාකරුවාට රජයකින් සම්මාන පිදිය යුත්තේ ඔහු කළ ඉහළ සාහිත්‍ය හා කලා සේවයට ගෞරවයක් වශයෙනි.ඒ සදහා කලාකරුවා සම්මාන අයැද සිටිය යුතු නොවේ.
මේ බව දන්නා කලාකරුවෝ කවදාවත් මේ කලා බූසණය සදහා ඉල්ලුම් කරන්නේ නැත. ඒ නිසා දැනට වසරක් පාසා කලා බූසණය ලබන්නේ බොහෝවිට ඉල්ලුම් පත්‍ර දමන උදවියයි.මේ අය අතර නියම කලාකරුවන් සිටින්නේ අහම්බෙන් එක් කෙනෙක් දෙන්නෙකි.1980 දශකයේ සිටි රජයක් විසින් සේරු ගණනින් බෙදීමට පටන් ගත් මෙම බූසණ සම්මානය අදත් එලෙසම පවත්වා ගෙන යන්නේ කවර උපදේශකයකුගේ උපදේශයකින් දැයි අපට නොතේරේ.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් පාසා සංස්කෘතික නිලධාරින් යැයි වැටුප් ලබන පිරිසක් සිටිති.මොවුහූ තම තම පෙදෙසේ සිටින කලාකරුවන් පිළිබදව දැනුමක් හා හදුනා ගැනීමක් ඇති අය විය යුතුය.එහෙත් එය එසේ නොවේ යැයි බොහෝ විට ප්‍රත්‍යක්ෂ වන කරුණකි.කලාබූසණ ඉල්ලුම් පත්‍ර පෝර්මය ලබා ගැනීම,සුදුසු කම් තහවුරු කිරීමේ සාක්ෂි ඇතුළත් ලිපි ද්‍රව්‍ය සොයා ඡායා පිටපත් සකස් කර ගැනීම,ඒවා නිලධාරින්ට පෙන්නා තහවුරු කොට අනුමත කරවා ගැනීම වැනි දහසක්දේට රස්තියාදු විය යුතු තත්වයක් මෙම සම්මාන පිදිල්ලේ අනිවාර්යෙන්ම පවතී. හැට පැන්න කලාකරුවාට ඒවා හොද දඩුවම්ය.ඒවාත් විද දරා ඉතා සුදුසු කලාකරුවෙක් ඉල්ලුම් පත්‍රයක් දැමුවත් අර තේරීම් මණ්ඩල වල සිටින ඇතැම් ...........ගේ  කුහක කම් වලටද මුහුන පාන්නට සිදුවීමද මහත් ඛේදවාචකයකි.    දැන්වත් මේ තත්වය වෙනස් කොට නියම කලාකරුවනට නියම“ කලා භූෂණ“  සම්මානයෙන් ගෞරව කරන්නට සම්මාන දෙන්නෝ හිතට ගත යුතුය.

Wednesday, June 12, 2013

තාත්තගේ සහ පුතාගේ සදාචාරය !



පුතා තම අත ඇති පොත හඩ නගා කියවූයේය .  ...........
“කාමාශාව, බඩ ගින්න,සහ නිදිමත යනු සකල සත්වයාගේ මූලික අවශ්‍යතාවන් බව ප්‍රොයිඩ් වැනි මනෝ විද්‍යාඥයින් විසින් ද  පැවසී ඇත.බඩ ගින්න නිසා සත්වයා ආහාර සොයයි. සදයි. ගිජු ලෙස වළදයි. කාමාශාවද එසේමය. නිදිමත ඇතිවූ විට වැටුණු තැනක නිදා ගැනීමට අවශ්‍යමය.“
“සදාචාරය යනු කාමාශාව බඩගින්න නිදිමත යන මූලික අවශ්‍යතාවන් “තැන නොතැන“ බලා පාලනය කර ගැනීමයි.“    මේ පාලනය හෙවත් “සදාචාරය“ තිරිසනාගෙන් මිනිසා වෙනස් කරවන ප්‍රධාන අංග ලක්ෂණයයි. සදාචාරය නොමැති තැන මිනිස්කම නැත.“
පොඩි පුතා තමා කියවමින් සිටි පොතේ ඉහත සදහන් පාඨය හඩ නගා කියවා අනතුරුව පියාගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
“කාමාශාව කියන්නේ මොකක්ද තාත්තේ ?.“...
“කාමාශාව කියන්නේ පංචඉන්ද්‍රියන් පිනවීමේ ආශාවට.! ඒ කියන්නේ ඇහැ,කන, නාසය,දිව සහ ලිංගික අවයව ඇතුලුව ශරීරය යි හිතයි පිනවිමේ ආශාව“ පියා සංසුන්ව තේරුම් කළේය.
“මට තේරුණේ නැහැ“ පොඩි පුතා කුනු කුනු ගෑවේය. ..
“පුතේ,  ඇහැ පිනවනවා කියන්නේ,ඇහෙන් දකින දේ ආසාවෙන් බල බලා හිත සතුටු කර කර ඒ රූපෙට ඇලී සිටීම කියලා කියන්න පුලුවනි.‘‘පියා ඉවසිල්ලෙන් යුතුව පැහැදිළි කළේය.
“මට තේරුණා!..රස රස කෑම ජාති කකා පෙරේත කමට ඉන්න එක වගේ නේද?“...බුද්ධිමත් පුතා වහා කීවේය.
“අන්න හරි,අධික විදියට ඔය ඇහැ කන ආදි ඉන්ද්‍රියන් පිනවන්න ගියාම,මිනිස්සූ(සත්තූ)එක එකාගෙන් උදුර උදුරා ගෙන තමන් ඒ ඒ රස විදින්න පටන් ගන්නවා.එතකොට කල කෝලාහල කර ගන්නවා,පොර කනවා,බලහත්කාර කම් කරනවා,මිනි මරා ගන්නවා,ඉක්මනින් ලෙඩ වෙනවා,ඉක්මනින් මැරෙනවා,විකාරයක් වෙනවා“  පියා දිගු කතාවක් කෙටියෙන් කීවේය.
“ඔව්,ඔව් මට තේරුණා! පාලනයක් තියෙන එක හොදයි,නැත්තම් සේරම ජෑම් වෙනවා,හැබැයි තාත්තේ,ඒ පාලනේත්“ දඩයක් දඩුඅඩුවක්“වුණොත් හොද නැහැ නේද“ ?
“ ඔව් පුතා, සදාචාරය හොදයි!හැබැයි ,ඒ සදාචාරය මිනිසාගේ සාමාන්‍ය නිදහසට බාධා කරන තරම් දර දඩු වෙන්න හොද නැහැ“
“බලාගෙන ගියාම සදාචාරය කියන්නේ,“ඇතුවත් බැරි නැතුවත් බැරි,තේරැම් ගන්නත් බැරි අපබ්‍රංසයක් නේද තාත්තේ“?
“නැහැපුතේ, නුවණ ඇති මිනිසා සදාචාරයේ සීමා මායිම් හොදට තේරුම් ගන්නවා“...
“ඉතින් තාත්තේ,තාත්තා සදාචාරවත්ද?“ පුතා කොළොප්පන් ප්‍රශ්නයක් ඇසුවේය.
“මං ගැන හිතන්න ඉස්සර වෙලා, පුතා පුතා ගැනම හිතලා බලලා මැනගෙන බලන්න“ පියා සිනාසෙමින් කීවේය.

Tuesday, June 4, 2013

ස්වාධීන රූපවාහිනි ය මල්වර වෙයි.


1979වර්ෂයේ ආරම්භ කරන ලද ස්වාධීන රූපවාහිනී සේවය අද තිස් හතර වසරක් සපුරා සිය යොවුන් වියට සම්ප්‍රාප්ත වූ බව සතුටින් සිහිපත් කිරීම වටී.එය මෙතෙක් කළ සාර්ථක සේවයට ප්‍රේක්ෂක අපගේ උපහාරය පුද කෙරෙන අතර,ඉදිරියේදී තව තවත් අපූර්වවූ නවාංග ඉදිරිපත් කරමින් ජන හද හා මනස පෝෂණය කරනු ඇතැයි විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කළ හැකිය.වත්මන් සභාපතිවර රොස්මන්ඩ් සේනාරත්තයන්ගේ විවිධ අංශවල හැකියාව හා දක්ෂතාවත් නිහතමානී සමබර ජිවන ආකල්පයනුත් පිහිට කර ගනිමින් ස්වාධීන රූපවාහිනියමලින් හා  පලයෙන් සරුසාර වනු ඇති බව කාගේත් විශ්වාසයයි.එහි සියලු කාර්යය මණ්ඩලයද ප්‍රතිභාවෙන් හා දක්ෂතාවෙන් පිරිපුන් අනභිභවනීය හැකියාවෙන් සපිරි බව ස්වකීය කාර්යයෙන්ම තහවුරු කොට ඇත. එම සියලු දෙනාගෙන් සමන්විත අනගි ස්වාධීන රූපවාහිනි සේවයට ප්‍රේක්ෂක අපගේ ආසිරි පිරිනැමේ'....