Tuesday, July 30, 2013

කලාකරු හැදුනුම් පත ඉතා විශිෂ්ටයි.නමුත්.....?


කලාකරුවන් සදහා විධිමත් හැදුනුම් පතක් නිකුත් කිරීමටත් එය කලාකරුවන් අතට පත් කිරීමටත්
සංස්කෘතික අමාත්‍යංශය පියවර ගැනීම ඉතා කාලෝචිත පලදායක ව්‍යාපෘතියකි. ඒසදහාවෙහෙස
මහන්සිවූ සියලු දෙනාට අපගේ කෘතවේදිත්වය සහිත ප්‍රණාමය පුද කරනු වටින්නේය. එහෙත් එම
හැදුනුම් පත කලාකරුවන් අතට පත් කිරීමට කටයුතු සංවිධානය කොට තිබූ ආකාරය නම් කොහෙත්ම
 හොද නැති බව පැවසීමට සිදුවී තිබීම කනගාටුවට කරුණකි.  කලාකරුවන් 600 දෙනෙකුට පමණ හැදුනුම්
පත් දීමට ඇරයුම් කොට තිබිණි. එම ඇරයුම් පතෙහි කිසියම් අනුක්‍රමික අංකයක් සදහන් කොට තිබුණු අතර එයට අනුව කෙනෙකුට ඉදිරි අසුනක්ද තවත්කෙනෙකුට පිටුපස පේළියක අසුනක්ද පිරිනැමීමට නිලධාරීන් විශේෂ උත්සාහයක යෙදෙනු දක්නට ලැබිණි.මේ පෙළ ගැස්ම කවර පදනමකින් තෝරා ගැනිණිදැයි විමතියට පත්වූ ඇතැම් දෙනා ඒ ගැන කතා කරනුද අසන්නට ලැබිණි.ගෝල බාලයෝ ඉදිරි පෙළ සිටියදී කලා ගුරුවරු පසුපසට වී දුර්මුඛව සිටිනු දක්නට ලැබීම අභාග්‍යයකි.
සංස්කෘතික ඇමති තුමා අතින් හැදුනුම් පත් දීම ඇරඹිණි.මුලින්ම වේදිකාවට කැදවුයේ ප්‍රවීණ රංග ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය හා රංග ශිල්පී,වේදිකා නාට්‍ය නිෂ්පාදක,හා සිනමා අධ්‍යක්ෂ සතිස්චන්ද්‍ර එදිරිසිංහ කලාප්‍රවීණයන් දෙදෙනාය.වයෝ වෘද්ධ කලා ශිල්පීන්වූ එම දෙදෙන වේදිකාවට නගින විටම රැස්ව සිටි සියලුම කලා කරුවනගේ සතුට ප්‍රකාශ වූයේ වේගවත් දීර්ඝ අත්පොළොසන් හඩිනි. ඉතා ප්‍රශස්ත ආරම්භයකි.
ඛේදනීය තත්වය පටන් ගත්තේ ඉන් අනතුරුවය.අමාත්‍ය තුමා අතින් එක දිගට කලාකරුවන් සිය දෙනෙකුට පමණ
හැදුනුම් පත් පිරිනැමීම සිදුවෙද්දී  බොහෝ කලාකරුවන් එදෙස බලා සිටියේ විමතියෙන් තුෂ්නිම් භූතවය.ඉහත කී විශේෂිත සියදෙනා තෝරාගෙන තිබුනේ කිසිදු සාධාරණ තෝරා ගැනීමේ පදනමකින් තොරවය. සිය දෙනාගෙන් අනූ දෙකක් පමණ වූයේ නළු නිළියන්ය.
මෙහිදී සංවිධායකයින් වෙහෙස ගෙන තිබුණේ ,ජනප්‍රිය නළු නිළියනට ඇමති තුමා අතින් හැදුනුම් පත් පිරි නැමූ බව කැමරා හමුවේ තබා රටේ ජනතාවට ප්‍රදර්ශනය කරවන්නට බව කාටත් පැහැදිළි විය. මේ අතර නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වරයාද කැමරා හමුවේ වේදිකාව මතදීම සිය හැදුනුම් පත ලබා ගැනීම සිත් ගන්නා සුළු දර්ශනයක් විය.
ඉතිරිවූ සෙසු කලාකරුවන් පන්සිය දෙනා උත්සව අවසානයේ ආලින්දයේ මේස අසළ පොරකමින් තම හැදුනුම්පත ලබා ගැනීමට වෙහෙස වනු දක්නට ලැබීම ඇත්තෙන්ම සෝක ජනක දර්ශනයක් විය.“ කලාකරු“ ගණයට වැටෙන්නේ නළු නිළි රංග ශිල්පීන් පමණක් නොවන බව සංස්කෘතික අමාත්‍යංශයේ සංවිධායකවරු නොදැන සිටින්නට බැරිය.එසේනම් ඔවුන් සෙසු වටිනා කලාකරැවන් ගෙන්වා සිතාමතාම කළේ ඔවුනට නිගරුවක්  නොවේද? 
එම උත්සව සභාවේ සෙසු කලාකරුවන් පිරිස අතර නාට්‍ය නිෂ්පාදක වරුන්,අධ්‍යක්ෂ වරුන්,කැමරා කලාකරුවන්,කලා අධ්‍යක්ෂ වරුන්,වෙස් ගැන්වීම් ශිල්පීන් ආදී අය කෙතරම් සිටියාදැයි දන්නෝ දනිති.ඒ සියළු දෙනා අප්‍රධාන කලාකරුවන් ගණයට ලා ප්‍රසිද්ධියේ ඔවුන් අපහසුතාවට පත්කිරීම මෙහිදී සිදුවූ බව කනගාටුවෙන් යුතුව දැනුම් දිය යුතුව ඇත. සියලු දෙනාටම එක වර විශේෂත්වයකින් තොරව වේදිකාව මතදීම හැදුනුම් පත් පිරිනැමීම කළ නොහැකි බව ඇත්තය.කරන්නට තිබුණේ ජාතික මට්ටමින්හෝ ජාත්‍යන්තර මට්ටමින් හෝ විශේෂ සම්මානයට පාත්‍රවූ කලා කරුවන් පස්දෙනෙකුට පමණ සංකේත වශයෙන් වේදිකාව මතදී අදාළ ප්‍රදානය සිදුකොට අනතුරුව සෙසු සියලු දෙනාට ආලින්දයේදී බෙදා හැරීමයි.කලාකරුවන් සියලු දෙන එක සමානයන් බව අපි කවුරුත් දැන සිටිය යුතු වෙමු. කලා කරුවන් ගැන පුහු මිනිසුන් තුළ පවත්නා “සෝබන ආකල්පය“ සංස්කෘතික අමාත්‍යංශයේ වග කිවයුත්තන් අතරද තිබේ නම් එයද ජාතියේ අවාසනාවකි.
සිය ප්‍රතිභාව අනුව,සිය ධනය,කාලය,ශ්‍රමය යොදමින් නිර්මාණකරණයේ යෙදෙන සියලු කලාකරුවන්ට දිරිදී අගයනවා වෙනුවට ප්‍රසිද්ධියේ අහේතුක ලෙස ඔවුන් වර්ගකොට වැඩි දෙනකු ඉදිරියේ අවමානයට බදුන් කිරීම කිසිවකු විසින්වත් කළ යුතු සදාචාරවත් ක්‍රියාවක් නොවේ.ඇතැම් පෞද්ගලික අංශයේ කලා උත්සව වලදී මුහුණු බල බලා දොරටු වලින් ඇතුළට ගෙන,ආසන ලබා දීමේ මෝඩ පිළිවෙත් වලින් බොහෝ ප්‍රවීණ විශිෂ්ටතම කලා කරුවෝ(මුහුණින් ප්‍රසිද්ධිය ලබා නැති )අවමානයට බදුන්වී ඇති වෙන්නට කළකිරී සිටින්නාහ.දැන් ඔවුහු වැඩිදෙනා එබදු නොවටිනා උත්සව වලට යෑමෙන් වැළකී සිටිති.
කලාකරුවන් බොහෝ දෙනා සිය කලාවන් කරගෙන යන්නේ කිසිවකුගෙන් හෝ කිසිදු ආධාරයක් නොමැතිව,ස්වකීය ඉඩ කඩම්,ගේ දොර,රන් භාණ්ඩ,වාහන ආදිය විකුණා හෝ උකසට තබා හෝ බව යථාර්ථයකි. ස්වකීය ප්‍රතිරූපය රට හමුවේ තබන්නට ප්‍රචාරක වියදම් දරන්නට බොහෝ අයට හැකියාවක් නොමැති බැවින් තමා සැගවී සිටිමින් හෝතම නිර්මාණය පමණක් රසිකයා හමුවේ තබන්නට නොමදව වෙහෙස දරති.මෙබදු තත්වයක් මත මෙරට බොහෝ සුවිශේෂි ප්‍රතිභා සම්පන්න කලාකරුවෝ අප්‍රසිද්ධව සිය කාර්යයේ යෙදෙති.මේ අප්‍රසිද්ධ බව ඔවුනට ශාපයක් ලෙස දැනෙන්නේ වග කිව යුතු ආයතන වලින් පවා තමනට විදින්නට සිදුවන සිත් වේදනා සහඅවමානයන් හේතුවෙනි.
දේශපාලන ගැතිකම්,ඇයි හොදයි කම් මත ඇතැම් කලාකරුවනට සුවිශේෂ වරප්‍රසාද හිමිවීම ජාතියම පහත් තත්වයකට ඇද හෙලන අවමානයකි.කලාකරුවා අදීන අභිමානවත් පුද්ගලයකු වන තරමට ජාතිය අභිමානවත් වෙයි.කලාකරුවකුද වූ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ට මෙන්ම,සංස්කෘතික ඇමති ටි.බී.ඒකනායක ඇමති තුමාටද මෙරට කලාකරුවන්ගෙන් සියයට අනූ නවයයි දශම නවයක්ම සළකන්නේ  සිය සොහොයුරන් තරමට ලෙන් ගතු කමිනි. සංස්කෘතික අමාත්‍යංශයේ ක්‍රියාකාරි නිලධාරි තුමන්ලා මේ වග හොදින් දනිති.

Saturday, July 13, 2013

කා එක්කද බැරි ?



මේ දවස්වල හැම චැනල් එකකම වගේ යන ටෙලි නාට්‍ය හුගක් අන්තිම සවුත්තුයි..ජරාව!..මං බලන්නේ නැහැ ඔය ජරාව...“
තරුණ පුතා හඩ නගා කීවේය.
“මෝඩ කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ රස්තියාදු ලව් පාට් !මං බලන්නෙත් නැහැ“ ..තරුණ දුවත් හඩ නගා කීවාය.
“නැහැ නෝනා ඒවා ,ඒවා හරි ජොලිනෙ!.“  සාලය අතුගාමින් සිටි ගුනපාල කොලුවා ආසාවෙන් තලු මරමින් කිව්වා.
“ඔව් ඉතිං උඹට හොදයි “..ගෙදර ළමා තැනී සැර වුණා.“........
“ නැහැ දරුවනේ, ඔය යන හැම ටෙලි නාට්‍යයක්ම යන්නේ,බුද්ධිමත් තේරීම් මණ්ඩලයකින් තෝරා ගෙනනේ.හොද නැති ඒවා-
-         ඒගොල්ලෝ බාර ගන්නේ නැහැ..ඒ ගොල්ලෝ තෝරන හොදම ඒවා තමයි ඔය විකාසනය වෙන්නේ..“ තාත්තා පහදා දුන්නේය.
“ඇත්තද?“ පුතා පුදුමයෙන් ඇසුවේය.
““එහෙනම් අනුමානයක් නැහැ, ඔය බුද්ධිමත් තේරීම් මණ්ඩල වල ඉන්නේ ගුනපාල වගේ උදවිය වෙන්න ඕන..“.දුව කීවාය.
“ඒකහරි !.“ පුතා සත්‍ය තේරුම් අරගෙන කීවේ හඩ නගා සිනාසෙමිනි....
මේ කතාබහ පවතින අතර ගුනපාල අතුගාන අතුගාන කුණු පුටුව යටට තල්ලු කරනවා දුටු තාත්තා ගුනපාලට මෙසේ සැර විය.

“බූරුවා!“..