Friday, August 2, 2013

“අමුතු මිනිස්සූ.“..අමුතුයි.



සදුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘අමුතු මිනිස්සූ“ ටෙලි නාට්‍ය ඕනෑම රසිකයකුට රස විදිය හැකි,අපූර්ව නිර්මාණ කෘතියක් වශයෙන් කැපී පෙනෙන බව කිව යුතුය.නාට්‍යයට පාදක කරගෙන ඇති සිදුවීම් හා චරිත ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ නැවුම් අත්දැකීමකි.රූප ගත කොට ඇති රිද්මය හා ශෛලිය ඉතා ප්‍රසස්ථය. චරිත නිර්මාණයේදී සියලුම නළු නිළියන්  “ඉසියුම් රංග භාවිතයෙන්“ (METHOD ACTING ) ඉතා විශිෂ්ට සහභාගිත්වයක් දැක්වීම ප්‍රේක්ෂක අපගේ හෘද කම්පනය,රසාස්වාදය,හා ප්‍රත්‍යක්ෂ ඥානය පුලුල් කරවන තරම් ගැඹුරුය.
අමුතු මිනිස්සූ ටෙලි නාට්‍ය නැරඹීම කොයි කාටත් තම තම රස වින්දන හැකියාව මත ගැඹුරු හෝ සරල හෝ හොද වින්දනයක් ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂයකි.ඉතා හරසුන් ,බොළද භාවාතිශය ටෙලි නාට්‍ය රැල්ල අතරින් වෙනස් වී කැපී පෙනෙන“ අමුතු මිනිස්සූ “අප කාටත් නැවුම් ආශ්වාදයක් පිරිනමයි.
ජාතික රූපවාහිනියට අපගේ ස්තුති ප්‍රණාමය පිරිනැමිය යුත්තේ ,මෙවැනි අර්ථවත් උසස් ප්‍රයත්නයකට ඉඩ හසර සලසා,දිරිමත්ව එය අප වෙත ලබාදීම පිළිබදවයි.රන්මිහිතැන්න  උපයෝගි කොට ගෙන කරන ලද මෙම ටෙලි නිර්මාණය බදු වැදගත් නැවුම් කෘතීන් තව තවත් විවිධ පරිසර තුළ විවිධ අයුරින්  බිහිවී අප රස පවස නිවමින් විකාශය වේවා යි පතමු.