Sunday, September 22, 2013

පොත් ප්‍රදර්ශනයේ අරුමය !

ජනයාගෙන් අතුරු සිදුරු නැතිව ප්‍රදර්ශන ශාලා පිරී යාම හේතුවෙන්,කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේ ශාලාවකට අමාරුවෙන් ඇතුල්වූ කෙනෙකුට ඉන් පිටව යෑමට ඊටත් වඩා අපහසුවක් දැරීමට සිදුවිය.ජනතාවට තමන් රිසි පරිදි පොතක් පතක් තෝරා ගැනීමට එහි පැවතියේ දැඩි අපහසුතාවකි.ඊට හේතුව නොසෑහෙන තදබදයක් පොත්හල් තුළ පැවතීමයි.පොත් බලා හදුනාගෙන කැමති පොත පත මිළදී අරගෙන යෑමේ අදහසින් එහි ඇතුල්වූ බොහෝ දෙනා ආපසු පිටව ගියේ හිස් අතිති.ඇතුළත තිබූ මහා තදබදය නිසා පොත පත දැන හදුනාගෙන තෝරා බේරා මිළදී ගැනීමට තිබූ අපහසුව මීට හේතුවයි.
 ඇතැම් දෙනා ආවා වෙනුවට අතට හසුවූ පොතක් පතක් මිළදී ගෙන    අ තෘප්තියෙන් පිටව යනු දකින්නට ලැබිණි.(මෙය වෙළෙන්දාට වාසියක් නමුත් පාඨකයාට අවාසියකි.)
සම්මාන ප්‍රදානය කොට තිබූ ජනප්‍රිය කළ කෘතීන් කෙරෙහි පාඨක අවධානය අධිකවූ බැවින් එතරම් ප්‍රචාරය නොලත් ඇතැම් හොද පොත් ප්‍රදර්ශනය තුළ සැගව ගොස් තිබිණි.
ප්‍රදර්ශනය වංක ගිරියක් ලෙසින් අවුල් සහගත වීම නිසා කාටත් එය අවාසියක් විය.
සම්මාන ප්‍රදානය කළ කෘති වෙනම කුටියක හා ඒ ඒ විෂයයන්ට අනුව පොත පත වෙන වෙනම ස්ථාන ගතවූ කුටි තුළ තැබුවේ නම් සාහිත්‍යකාමී මහජනයා මෙතරම් අපහසුවකට පත් වන්නේ නැත.ප්‍රදර්ශනයද සැබැවින්ම ප්‍රදර්ශනයක් වීමට ඉඩ තිබිණි.
වෙළද වාසි ගැන පමණක් සිතා, පොත් සාප්පු පිටින් අරගෙන අවුත්, එලෙසම ස්ථාන ගත කිරීමෙන්, ප්‍රදර්ශනය අවුලක් වූවා මිස පාඨකයාට වැඩක් ඇති තැනක් වූයේ නැත.
නොයෙක් කෑම බීම නම් විෂයානුබද්ධව සරුවට ස්ථාන ගත කොට තිබූ නිසා ඒවායේ ජාවාරම ඉතා සරුවට තිබිනි. සමහර උදවිය පොත් ගැනීමට අරගෙන ආ සල්ලි මුදල් කෑමටම වියදම් කොට සිත් සතුටින් නිවෙස් බලා ගිය බවද ආරංචි විය.

Tuesday, September 17, 2013

එකඑක්කෙනා ගේ එක එක බලය



පසුගිය දවසක සිංහල චිත්‍රපටයක් වන සීතා මං ආවා මංගල දර්ශනය බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී පවත්වන්නට යෙ දුනා.මේ අවස්ථාවේ සක්විති රාවන ගේ බලය ආරූඨ කරගත් භික්ෂූන් වහන්සේලාය කියන පිරිසක් සහ
තවත් කට්ටියක් එම ශාලාවට  ඇතුල්වී යම්කිසි බලපෑමක් සිදුකරන බව දුටු අප තරමක තිගැස්මකට පත් වූයේේකලබලය නපුරු අතට හැරුනොත් දරු මල්ලන් රැගෙන එළියට යාගන්නේ කොහොමද යන බිය නිසාය. පවතින නීතියට අනුව අවසර ලබා ප්‍රසිද්ධ කොට පෙන්වන දර්ශනයක් බැවින් අප එහි  ඇතුල්වී වාඩිවී සිටියේ සම්පූර්ණ ආරක්ෂාව පිළිබද විශ්වාශයෙන් යුතුවය.අප දරුවන්ගේ වාසනාවට එතන අරගලයක් සිදු නොවූයේ චිත්‍රපටයේ නිෂ්පාදක , අධ්‍යක්ෂ ඇතුලු සාමකාමී කලා ලැදි පිරිසගේ ස්ථානෝචිත කතාබහ සහ හැසිරීම නිසා බව පැහැදිළිය. එතන එක නොදැමුණු කටක් තිබුණේ නම් බරපතල යමක් සිදුවීමටද ඉඩ තිබිණි.
අපට දැන් ප්‍රශ්නයක් ඉතිරිවී තිබේ.නිසි පරිදි රැගුම් පාලක අවසරය ලබා එහි ඇතැම් සංශෝධන වලටද හිස නමා නාට්‍යයක් ,චිත්‍රපටයක් පෙන්වීමට නිදහසක් නැද්ද යන්නයි.රාවන බලය මෙන්ම තවත් බලයන් තිබෙන්නට පුලුවන.ඒවා විවිධ නම්වලින් විවිධ අරමුණු වලින් යුතු විය හැකිය.කතරගම දෙවියන්ගේ බලය,කාලි බලය,දේශපාලන බලය,මුදල් බලය,වෙළද බලය,ගුරු බලය,වෛද්‍ය බලය,පොලිස් බලය,රාමා බලය,සීතා බලය, පත්තිනි බලය ආදී වශයෙන් කැමති කැමති බලයන් සංවිධානය කර ගන්නට කාට කාටත් හැකියාව නැත්තේ නොවේ.ප්‍රශ්නය අසරණ කලා කරුවා තම ශ්‍රමය,ප්‍රතිභාව,මිළ මුදල් පරදුවට තබා ඉහතකී බලයන්ගේ අණ සකට නොගෑවී නිදහස් කලා කෘතියක් මහජනතාව හමුවට ගෙන එන්නේ කෙලෙසද යන්නයි. සකල කලාවනටම එල්ලවන මෙවැනි බලහත් කාරකම් වහා නැවැත්විය යුතුවේ.අපට විධිමත් රැගුම් පාලක මණ්ඩලය තිබුණාම ගානටත් වැඩිය.එය තිබෙන්නට හැර එහිද ගරුත්වය කෙළසන සෙසු බලහත්කාරකම් වහා නැවැත්විය යුතුය.

Wednesday, September 11, 2013

කර්තෘ ප්‍රකාශකයින්ගේ කතාව


මේසාහිත්‍ය මාසයයි.ජාත්‍යන්තර මහා පොත් සල්පිල ද මෙවරත් මේ මාසය තුළ කොළඹ දී පැවැත්වේ. දස ලක්ෂ ගණන් පාඨකයන් මෙම සල්පිලට පැමිණෙනු ඇත.පොත් මිළදී ගනු ඇත.තමන් විසින් මිළදී ගත යුතු නවකතාව,කෙටි කතාව,කාව්‍ය්‍රන්ථය හෝ ශාස්ත්‍රීය කෘතිය කුමක්දැයි බොහෝ පාඨකයනට දැනටමත් දැනුමක් ඇත.මේ දැනුම කවා ඇත්තේ පොත් ප්‍රකාශකයින් හා මෙහෙයවනු ලැබූ මාධ්‍ය විසින්ය.තරග, සම්මාන ආදිය විසින්ද කරනු ලැබ ඇත්තේ මෙම අනගි පූර්ව ප්‍රචාරයයි.අලෙවිය ඉලක්ක කර ගත් මෙම ප්‍රචාර හා සැසදී බොහෝ ප්‍රකාශකයින් විසින්“ රසාලිප්ත“කෘතීන් වෙළද පොළට ඉදිරිපත් කෙරෙනු ඇත.ලිංගික සම්බන්ධතා හුවා දක්වන නවකතා,කෙටි කතා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රකාශකයින්ද කර්තෘවරුන්ද උත්සුක වන්නේ එවැනි කෘතීන් ලෙහෙසියෙන් අලෙවි කළ හැකි නිසායැයි ප්‍රකටය.
කර්තෘ ප්‍රකාශකයින් යනු තමාගේ පොත තමා විසින්මවියදම් කොට මුද්‍රණය කරවා,ප්‍රකාශයට පත් කරන ලේඛක ලේඛිකාවන්ය.ඔවුන් මෙසේ කරන්නේ වෙළදාම මූලික පරමාර්ථය කර ගත්ප්‍රකාශකයින් අතින් මෙම පොත් ප්‍රකාශයට පත් නොවන නිසාය.ලිංගික අවස්ථා ආදියෙන් තොර කෘතීන්, නීරස නොවටිනා කෘති ලෙස එකහෙලා සළකන බොහෝ ප්‍රකාශකයෝ  උසස් අරමුණු ඇතිව ස්වාධීන ලේඛකයින් විසින් රචිත කෘතීන් පවා ප්‍රකාශනයට  නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරති.
එහෙත් කර්තෘ ප්‍රකාශකයින්ගේ පොත් අතර බොහෝ උසස් කෘතීන් පවතින බව දන්නෝ දනිති.එවැනි විමසිලිමත් පාඨකයෝ, පොත් සාප්පුවල,රාක්කවල යටම තට්ටු වල නොසැළකිල්ලෙන් අසුරා සගවා තබා ඇති,උසස් නවකතා කෙටි කතා ආදී පොත් සොයාගෙන කියවා දැනුම හා වින්දනය ලබති.අද පවතින ප්‍රචාරක පෙරහැර හමුවේ,කොන්වී මුලු ගැන්වෙන උසස් කතෘ ප්‍රකාශන සොයා ගැනීම මිණි කැට සොයා ගැනීම වැනි වටිනා එහෙත් වෙහෙසකර වැඩකි.විවිධ ප්‍රචාරයෙන් සායම් ගන්වා ඉදිරිපත් කරන විවිධ කෘතීන් අතරින් සැබෑ වටිනාකමක් ඇති ග්‍රන්ථ වෙහෙසවී සොයා ගන්නා ලෙස ආනන්දය හා ප්‍රඥාව සොයන නැණවත් පාඨකයනට අපි ආරාධනා කරමු.