Tuesday, October 22, 2013

පරම දුර්ලභ අත්දැකීම් හා සුලභ අත්දැකීම්



සාහිත්‍යය හා කලාවෙන් රසිකයාට පිරිනැමිය යුත්තේදුර්ලභ අත්දැකීම් බව ප්‍රකට කාරණයකි.රසිකයා අත්දැකීම් වලින් පෝෂණය වී නැණවත් වන්නේ එසේ දුර්ලභ අත්දැකීම් ලැබීමෙනි.සුලභ අත්දැකීම් සාහිත්‍ය කලාවන්ට පාදක වූ විට රසිකයාට එම කෘති වලින් අමුතු අලුත් අත්දැකීමක් ලබන්නට අවස්ථාව නො ලැබේ.එබදු කෘතීන් නිසරු ඒවා ලෙස ගැරහුමට ලක්වන්නේ ඒවා සේවනය කිරීමෙන් කිසිවකුගේවත් නැණ මඩල පෝෂණය නොවන නිසාය.එම නිසා කෘතහස්ත නිර්මාණ කරුවෝ නිතරම වෑයම් කරන්නේ වඩාත් අලුත් වඩාත් අර්ථවත් දුර්ලභ අත්දැකීමෙන් සිය රසිකයා තෘප්තිමත් කිරීමටය. එහෙත් මෙය ලෙහෙසි කටයුත්තක් නොවේ.දුර්ලභ අත්දැකීම් සිය නිර්මානයකට යොදා ගත හැක්කේ බොහෝ ඇසූ පිරූ ජීවිත අත්දැකීම් ඇති නිර්මාණකරුවකුට පමණකි.එවැන්නා ප්‍රබුද්ධයෙකි. ජනතාවගේ පෙර ගමන් කරුවකු විය හැක්කේ එබදු ප්‍රබුද්ධයකුට පමණකි.
විශ්ව සාහිත්‍ය හා කලා නිර්මාණ අතර පරම දුර්ලභ අත්දැකීම් දනවන වටිනා නිර්මාණ බොහොමයක් කියවන්නට තිබෙන බව බොහෝ අය දනිති.ප්‍රංශ ජාතික ගත්කතුවර ගීදමෝපසාංගේ “මාලය‘‘එබදු පරම දුර්ලභ අත්දැකීමක් දනවන ප්‍රකට කෘතියකි.එබදු තවත් බොහෝ කෙටි කථා, නවකථා රාශියක් විශ්ව සාහිත්‍ය යේ ඇත. අපේ සාහිත්‍ය යේ තිබෙන ජාතක කතාවන් අතරද ඉහතකී වටිනාකම ඇති කතා රාශියක් දකින්නට ලැබෙන බව ප්‍රකට කරුණකි.මාලය නමැති කෙටිකතාවේ එක්තරා අපූර්ව ගැහැණියක් සිටී. ඇය බෙහෙවින් විනෝදකාමී දුප්පත් එකියකි.ඇගේ සැමියාද දුප්පත් ලිපිකරුවෙකි.ඇයට අහම්බෙන් ඉහළ පැළැන්තියේ ප්‍රභූ නිවෙසක රාත්‍රි සාදයකට සහභාගි වීමේ අවස්ථාවක් ලැබේ.මෙයට නොවරදවා සහභාගි වීමට තරයේ සිතට ගන්නා මෙම රූමත් කාන්තාව අමාරුවෙන් සිය සැමියාවද ඊට කැමති කර ගනී.සාදයට සුදුසු ඇදුම් එහෙන් මෙහෙන් හිතවතුන්ගෙන් ඉල්ලාගත් ඇය ගෙල බදින මාලයක් සිය හිතවත් පොහොසත් ප්‍රභූ කාන්තාවකගෙන් ඉල්ලා ගනී.ඉතා අගනා දියමන්ති මාලයකින් සිය ගෙල සරසාගෙන සැමියා සමග පෙර කීවූ සාදයට සහභාගිවී ඇය බෙහෙවින් සතුටු වන අතර ඇගේ රූමත් පෙනුමෙන් කාගේත් අවධානයට ලක්වී බොහෝ සෙයින් සතුටු වෙයි.බොහෝ රෑවී සිය නිවෙසට එන ඇය කැඩපත ඉදිරියේදී දකින්නේ සිත තිගැස්සෙන දර්ශනයකි. තම ධනවත් මිතුරියගෙන් ආපසු පරෙස්සමෙන් ගෙනවිත් දෙන්නට පොරොන්දු වී රැගෙන ආ වටිනා මාලය සිය ගෙලෙහි දැන් නොමැති බව ඇය බලා සිටියේ ත්‍රස්තවූ හැගීමෙනි. දැන් මොනවා කරන්නද?
එතැන් සිට ඉදිරියට වර්ෂ ගණනාවක් ඇය නැතිවූ වටිනා දියමන්ති මාලය වැනිම වටිනා කම ඇති පෙනුමින්ද ඊට සමාන මාලයක් මිළදී ගැනීමට නොයෙක් තැන්වල ඉතා දුකසේ වෙහෙස මහන්සි වෙමින් මුදල් සොයන්නට වූවාය. මෙයින් ඇයගේ රූමත් පෙනුම පවා වෙනස්වී ගියේය. එහෙත් ඇය තම ප්‍රයත්නය අත් නොහැර දිගටම වෙහෙස වූවාය.අවසානයේ ලක්ෂ ගණනක් ගෙවා අගනා දියමන්ති මාලයක් මිළදී ගෙන එයද රැගෙන මිතුරිය හමු වන්නට ගියාය.
“ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ.? මිතුරිය කම්පා වූවාය.“ලස්සනට හිටිය ඔයා අදුරන්න බැරි තරම් වෙනස් වෙලා..මොකද මේ ? ඔයාව අවුරැදු ගානක් මම දැක්කෙත් නැහැ..කොහෙද ගිහින් හිටියේ? 
අසරණ ගැහැණිය තමාට සිදුවූ දේ මිතුරියට හෙළි කරන්නට වූවාය.“අරන් ගිය මාලෙ වෙනුවට එතරම්ම වටිනා මාලයක් මේ මම අරගෙන ආවා. ප්‍රමාද කළාට මට සමා වෙන්න“
මිතුරු ධනවත් ගැහැණිය සිය මවිතය පළ කළාය .“අනේ! මොන එකකටද ඔයා ඔච්චර නැහුනෙ..මගෙන් එදා ඔයා
 ඉල්ලගෙන ගිය මාලේ කොහෙත්ම වටිනා එකක් නෙමෙයි.ඒක හැබෑ දියමන්ති මාලයක් නෙමෙයි. බාල ඉමිටේෂන් මාලයක්නේ“
මේ කතාවේ පරම දුර්ලභ අත්දැකීම වන්නේ මේ දුප්පත් ගැහැණියගේ ඉතා දුර්ලභ මානසිකත්වය සහිත ඇගේ චරිතයයි.මේ වැනි දුප්පත් ගැහැණියක් සැබැවින්ම සිටිය හැකිද? සිය යුතුකමක් උදෙසා මේ තරම් මහත් දුකක් අවුරුදු ගණනක් තිස්සේ එක දිගට ඇය විද දරා ගත්තේ කුමන ආශ්චර්යයකින්ද..බැලූ බැල්මට අභව්‍ය සේ පෙනුන ද මෙය මිනිස් මනසේ මනින්නට බැරි තරම් වූ ගැඹුර අපට සක්සුදක්සේ පැහැදිළි කරන පරම දුර්ලභ අවස්ථාවකි.මේ කෙටිකතාව කියවන පාඨකයාට ලැබෙන්නේ වටිනා දුර්ලභ අත්දැකීමකි .

Wednesday, October 16, 2013

ජයන්ත චන්ද්රරසිරි ගේ “සමනල සංධවනිය“



ප්‍රේක්ෂක අපට පරම දුර්ලභ අත්දැකීමකි.