Monday, May 4, 2009

නිර්මාණ කෘතියක භව්‍ය - අභව්‍ය බව පිළිබඳ අදහසක්

යම්කිසි කෘතියක් කියවා හෝ නරඹා ඔබ ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා විය හැකිය. "අපෝ ඒ කතාවේ කිසිම ඇත්තක් නෑ, ඒ කිසි දෙයක් මේ ලෝකේ සිදුවෙන්න බෑ. එය හරිම අභව්‍යයි"..........
අභව්‍යයි කියා ඔබ අදහස් කරන්නේ "කිසිදා සිදුවිය නොහැකි- අහඹු" යන තේරුමයි. ස්වභාවිකව යම් නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී රසිකයාට ඇදැහිය නොහැකි අස්වාභාවික යමක් ඉදිරිපත් වේ නම් එවිට විශ්වසනීයත්වය නැතිවේ. එය ස්වභාවික කෘතියේ ගුණ කෙලෙසී යාමක් වේ. එහෙත් කලාවේදී යථාර්ථය එළිදරව් කිරීමට ස්වභාවිකත්වය පමනක් ප්‍රමාණවත් නොවන බව වැටහුණු කල නිර්මාණ කරුවෝ ස්වභාවිකත්වයෙන් තරමක් ඈත් මෑත්ව බලන්නට වූහ. ස්වභාවික අයුරින් සිතුවමක් කරමින් සිටි චිත්‍ර ශිල්පියා එහි නොගැඹුරු බව ගැන සිතා ස්වභාවිකත්වය වෙනස් කලා යැයි සිතමු. (Abstract) සිතුවමක් නරඹමු. එහි පෙනෙන කාන්තාවකගේ ඇසක් ඇගේ පපුව මැද ඇත. අනෙක් ඇස අත්ලෙහි ඇත. මෙය අභව්‍යයි. එහෙත් විමසිලිමත් රසිකයා එම සිතුවමේ වඩා ගැඹුරු අර්ථයක් සොයා ගනී. දැන් ඔහු අභව්‍යත්වය ගැන කතා නොකරයි.
අභව්‍යබව හෝ භව්‍යබව පළිබඳ තවත් යමක් කිව හැකිය. ඈත අතීතයේ භාරතයේ ලියැවුණු රාමායණය නමැති ග්‍රන්ථයේ එන රාවණා නමැත්තා දඬුවෙන් සෑදූ අහස් යානාවකින් ලංකා පුරයේ සිට සාගරය තරණය කොට දඹදිවට ගොස් සීතා නමැති කුලඟන පැහැරගෙන ආවේ යැයි කියන පුවතක් වේ. රාමායණය ලියැවුණු යුගයේ එය අභව්‍ය පුවතකි. එහෙත් අද එය සිදුවිය හැක්කකි.
සබ්මැරීනය සොයා ගන්නට පෙර කෙනෙකු මුහුද යට යාත්‍රාවකින් ගියේ යැයි ලිව්වේ නම් එය අභව්‍ය ඇදැහිය නොහැකි බොරුවකි. උම්‍මග්‍ග ජාතකයෙහි මහෞෂධ පඬිතුමා විසින් ඉදිකල උමගක් ගැන සඳහන් වේ. එහි එක් යාන්ත්‍රික යතුරක් තද කල විට එකවර ස්වයංක්‍රීයව ඇරෙන වැහෙන දොරවල් ද, ආලෝකවත්වන, නිවෙන පහන් ගැනද සඳහන් වේ. ග්‍රන්ථය ලියූ අතීතයේ එය ඇදැහිය නොහැකි පුවතක් වූවාට සැක නැත. එහෙත් විද්‍යුත් ශක්තිය ගැන දන්නා වර්තමාන අපට එය මොන අරුමයක්ද. ස්වභාවික ශක්තීන් කවදත් සැඟවි තබේ. ප්‍රතිභා සම්පන්න ලෙඛකයෝ ඒ සැඟවුණූ ශක්තීන් ස්වකීය ඥානයෙන් හැඳින ලියූහ. අද ද ලියති. අද අභව්‍යයැයි පෙනෙන දේ තාක්‍ෂණය හා විද්‍යාව විසින් හෙලිදරව් කරන අනාගතයේ ඉතා භව්‍ය ඇදහිය හැකි දෙයක් බවට පත්වේ. එම නිසා නිර්මාණයක අභව්‍ය බව විසින් හෝ මතු කරන්නට උත්සහ දරන සැඟවුණු යථාර්ථය කුමකි දැයි සෙවීම වඩා ප්‍රඥා ගෝචර බව උගත්හු පවසති.


කවි පොතට...........
"බටහිරින් ඉර පායා එයි"

උදෑසන අවදිවූ ගොවියෝ,
පෙරදිග අහසෙහි මහත් අරුමයක් දුටුවහ.
කො වෙනදා දකින්නට ඇති අරුණෝදය?
නැගෙනහිර අහස කලුවරය
එහෙත් හැරී බැලුවේ මේ ආලෝකය කොහෙන්දැයි
සොයන්නටය
අරුමයකි! බටහිර දෙසින් උදේ හිරු පායයි!
ගොවියෝද ගෙවිලියෝද අසල්වාසිහුද
රොක්වූහ මිදුල්වල........‍‍
වෙනදාමෙන් පක්ෂීහු හඬති
කුකුළාද හඬලයි
උදෑසන තමයි ! ඒත් හිරු නැගෙන්නේ බස්නාහිරින්?
මිදුල්වල පිපෙන මල්
බටහිර දෙස හැරී සිනාසිණි
සූරිය කාන්ත මල බටහිර දෙසින්
කෙමෙන් හරවන්න විය වත
හිරු හා සමග.........
කුමක්ද මේ සිදු වූයේ?
හීනයක්ද? ඔව් ! නැත්නම් කුමක්ද?
විද්‍යාඥයෝ - තාරකා ගනින්නෝ උපකරණ ගෙන යොමුවූහ අහසට
අනතුරුව මිනිස්සු යොමු වුහ සමුලුවට...........
"හිරුගේ තාප ශක්තියෙන්
නිති භ්‍රමණය වන පෘථිවි ලෝකය
ඒ තාප ශක්තියෙහි සුලු වෙනසකින්
ආපසු කර කැවෙන්නට වී ඇත".......
පුදුමයක් නොවේ ! සාධක සහිතය
මෙය සිදුවිය හැක්කකියි පිළිගත්හ සමහරු
"මිනිසුන්ගේ පව්කම් දුෂ්ඨකම් බලවේගයක් වෙලා" යි
ආගමිකයෝ කීහ
"යුද්ධ, ගිනිකඳු පුපුරා
ජනගහනයේ බර අඩුව සැහැල්ලු වූ නිසා" යැයි
කෙනෙක් කීහ සභාව හිනස්සා !
කෙසේ හෝ බස්නිහිරින් ඉර පායයි
මෙතැන් සිට
බස්නාහිරට නැගෙනහිර කියමුද?
නැත්නම් ආපසු නැගෙනහිරින්
හිරු කැඳවන්නට
අපේ ශක්තිය යොදමුද? යි
කලහ ඝෝෂා කරන්නට වූහ......
හිරු අහසේ සිනාසෙයි
සුපුරුදු ලෙසට.........




No comments:

Post a Comment