Thursday, December 6, 2012

හොදම නළුවා ජගත් චමිල ද? ටෝනි රණසිංහ ද ?


ඊයේ පෙරේදා අවසන්වූ උත්කර්ෂවත් සුමති ටෙලි සම්මාන උළෙල ගැන ප්‍රේක්ෂක අපගේ සතුට! ....
එහි විනිශ්චයන් ගැන අප තුළ වැඩි සතුටක් පවතින නමුත් හොදම නළුවා සම්මානය ගැන නම් රංග වේදය දත් ප්‍රේක්ෂකයින් අතර පවතින්නේ කුකුසකි.විශිෂ්ටතම නාට්‍යවූ ස්වයංජාත හි ජගත් චමිල හොදම නළුවා ලෙස සම්මානනීය වූ අතර පිංසර දොස්තර හි රංගනය උදෙසා ටෝනි රණසිංහ නිර්දේශ වූවා පමණි.
ජගත් චමිල අති දක්ෂ රංගධරයකු බව අපි කවුරුත් හොදින් දනිමු.එහෙත් ස්වයංජාත හි ඔහුගේ රංගනය  ඔහුගේ බාහිර අග පසග වෙනස් කළ වෙස් ගැන්වීම මත යැපුණු බව සළකා බැලිය යුතු නොවන්නේ ද?බොල්ලෑ දත්/ සමේ කළු පැහැය / ආදිය නළුවා ගේ බාහිර ස්වරූපය  සහමුලින්ම වෙනස් කරමින් ඔහුට අනායාස රුකුලක් ලබා දී තිබිණි.එහෙත් නළුවා විසින්ම තම රංග කුසලතාව මගින් තම භූමිකාවේ බාහිර අභිනය සකස් කොට කළ හපන් කමක් මෙහි දක්නට නැත.ඉහතකී වෙස් මකා සිතා බලන විට එහි ජගත් චමිල මිස වෙන කිසිවකු නැත.
එහෙත් පිංසර දොස්තර හී ටෝනි රණසිංහගේ රංගනය පැහැදිළිවම මැනවින් ගොඩ නගා විකාශය කළවිශිෂ්ටතා වලින් හෙබි බව කිව යුතුය. ඔහු තම සිරුර චරිතයට අනුකූල ලෙස සියුම් ලෙස හසුරුවන ආකාරය පැහැදිළිය.තරමක් හුදකලාවූ වයස්ගත අමුතු ගතිද ඇති පුද්ගලයාගේ සාමාන්‍ය ඉරියව් ඔහු තම අංග ප්‍රත්‍යංග ඇසුරින් ප්‍රතිනිර්මාණය කරයි.එසේම භාවමයවූ උත්සන්න  නාටකීය අවස්ථාවන්හිදී ඔහු ස්වකීය කටහඩ තිගැස්මෙන් ලෙලවමින් හා අවස්ථානුගත හද ගැස්මත් එහි කම්පනය වන සැප දුක් සහිත මනෝ භාවයන් සියුම් ලෙස අභිනය කරන අයුරු ප්‍රසංසනීයයි.භාව සන්නිවේදනයේදී මුහුණ හා දෑස විචක්ෂණ ලෙස උපයෝගි කර ගන්නේ රංගනය පෙනී සිටීමකට එහා ගිය දැනුවත් විද්‍යාත්මක කාර්යයක් බව ප්‍රකට කරමිනි.
තිර රචනයට අයත් භූමිකාවේ හරබර චරිත ලක්ෂණ ආරෝපණයවූ පමණින් නළුවකුගේ අභිනයෙහි විශිෂ්ටතාව මතු නොවේ.එහිදී නළුවා/නිළිය තම බාහිර අංග ප්‍රත්‍යංග හසුරුවන ආකාරයේ සියුම් බවත්, අභ්‍යන්තර හැගීම් ප්‍රකාශනයේදී කට හඩ හා ඉංගිති නිර්මාණයේත් හුරුබුහුටි බවක්දැක්විය යුතු වෙයි. පිංසර දොස්තර මේ ලක්ෂණ වලින් සමන්විතය.මෙලෙස රංග පරිසමාප්තයකට අදාළ පරිකල්පනය/ සන්නිවේදනය/ රිද්මය/ආවේග අව්‍යාජත්වය කරුණු අතින්  පූර්ණව ටෝනි කළ රංගනය යස අගේට අපූර්වවූ චරිතයක් විදහා පෑ බව සතුටින් පැවසිය හැකිය.
ජගත් චමිල ප්‍රතිභා පූර්ණ රංග ධරයකු බව සත්‍යයයි.එහෙත් රංග වේදයේ තවත් පසු කළයුතු කඩ ඉම් රාශියක් ඔහුටද ඇත.තවමත් යොවුන් වියෙහි පසුවන ජගත් නුදුරු අනාගතයකදී පරිසමාප්ත බව දිනා ගන්නා බවට සැක නැත.
ජගත් චමිලගේ රංගනය අදාළ උළෙලේදි ටෝනි රණසංහ ගේ රංගනයට වඩා කවර න්‍යායකින් විශිෂ්ට වූයේදැයි පහදා දෙන්නේ නම් එය රංගනය විධිමත් ලෙස හදාරණ අපේ තරුණ කැලට මහගු අධ්‍යයනයක් වනවා ඇත.මේ ආරාධනය විවෘතය.ස්තූතියි.  2012 දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා


Tuesday, December 4, 2012

සාම සම්මානයෙන් පිදුම් ලැබූදීපිකා ප්‍රියදර්ශණී පීරිස්

පිලිපීනයේ මැනිලා නුවර පැවති අන්තර් ජාතික ගුසී සම්මානයෙන් අපගේ ආදරණීය ගායිකා දීපිකා ප්‍රිය දර්ශනී මෙනවිය පිදුම් ලැබූ බව දැනගත් අප සැම අමන්දානන්දයට පත්වූ බව දසතින් අසන්නට ලැබේ“.සරෝජා දියණියේ“ වැනි මානව දයාවෙන් හෘද කම්පනය කිරීමේ අර්ථ හා මාධූර්ය ගුණයෙන් හෙබි ගීතයක් කාලීනව ලොවට ගයන්නට ඇය සමත් වීම අප කාගේත් ආදරයට හා ගෞරවයට හේතුවේ.ඇයගේ මධුර මනෝහර වූ හද පැහැර ගන්නා ද්වනි ගුණයෙන් යුත් ගායන කෞශල්‍ය හා සියුම් කටහඩ ජනතාව වෙනුවෙන් චිරාත් කාලයක් හැඩ වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.
සුගායනයට තුඩුදෙන අයුරින් ගීතයේ පද මාලාව අර්ථ හා ද්වනි ගුණයෙන් පූර්ණව රචනය කළ ගීත රචකයා මෙන්ම අති සියුම් නාද මාලාවක් සංයෝජනය කරමින් තනුව හා සංගීත නිර්මාණයකළ සංගිතඥයාණන්ද අපගේ නොමද ගෞරවයට මෙම මහගු  අවස්ථාවේදීම පාත්‍ර විය යුතුයැයි සිතමි.2012 .11 .04

Wednesday, November 28, 2012

අපේ සිනමාවේ කර්ම

ප්‍රසන්න ජයකොඩි සිනමාවේදීන්ගේ ප්‍රථම සිනමා කෘතිය ,සංකාරා නම්වූ අතර,දෙවැන්න නම් වන්නේ “කර්ම“ යනුවෙන්ය.කර්ම නැරඹීම ඉතා සැළකිල්ලෙන් අවධානයෙන් යුතුව කළයුතු කාර්යයක් බව එය පළමු වර නැරඹීමේදී මට දැනිණි.
සාමාන්‍ය විනෝදාස්වාදය සදහා කර්ම නැරඹීම නිරර්ථක කාර්යයක්බව ;ඉදිරි අසුනක එය නරඹමින් සිටි මිනිසා ආසනය මත නිදා සිටිනු දැකීමෙන් මට පැහැදිළි විය.
කර්ම; රූපයෙන් රූපය අල්ලා ගනිමින්;එය පිළිබදව සිත මෙහෙයවමින් ස්වයං තර්ක විතර්ක ගොඩ නගමින්; අප මනැස තුළම ප්‍රතිනිර්මාණය කර ගත යුතු සිනමා නිර්මාණයක් බව මට වැටහුණේ එය දෙවැනි වර නැරඹීමේදීය.අධ්‍යක්ෂවරයා අප ඇස් ඉදිරියේ විදහාලන රූප සමුදාය ;පෙන්වන දෙයට වඩා බෙහෙවින් වැඩි දෙයක් ධ්වනය කරයි.ඒනිසා කර්ම නැරඹීම ජීවන අත්දැකීමකට සහභාගි වීමෙන් ලබන ප්‍රඥාවඅප වෙත ප්‍රදානය කරන්නේ අප තුළ පවත්නා ප්‍රඥාව හා සමග ගැටුමක්ඇති කරමිනි. කෙසේ හෝ අවසානයේ එම ගැටුමෙන් සිනමා කෘතිය ජය ගනිමින්;එය අපගේ ප්‍රඥාවට අලුතින් යමක් එක්කාසු කරයි.
කර්ම නැරඹීමෙන් අප ලබන ප්‍රථම ලාබය වන්නේ එම භාවනාවෙන් අපට ලැබෙන සුවිශේෂ අත්දැකීමයි.දෙවැනි ප්‍රතිඵලය නම් එහි අර්ථය අල්ලා ගැනීමෙන් අප තුළ අපගේ සිනමා නුවණ ගැන ඇතිවන සතුටයි.එය නිර්මාණයෙන් ලබන අර්ථ රසය ලෙසද වටහා ගත හැකිය.
පිරිමින් දෙදෙනකු හාඑක්තරා ගැහැණියක අතර පැවතියාවූ එක් අතකින් හුදෙකලාවූ ජීවන අර්බුදයක් ව්‍යංගය සහිත රූපය මගින් කර්ම චිත්‍රපටය අප තුළ රෝපණය කරයි. ලිංගිකවූද ,ජීවිතයේ සෝක ජනකවූ තනිකම හා අපේක්ෂා භංගත්වයේ වේදනාවත් , හුදු ලිංගික ප්‍රේරණය හා මුසුවූ අනිකා පිළිබද නම්‍යවූ කරුණා සහගත මානව හැගීමද කර්ම මා තුළ දැඩි කම්පනයක් ඇති කළේය.මට මෙසේ හැගුන ද කර්ම නරඹන තව කෙනෙකුට හැගෙනු ඇත්තේ වෙනත් දෙයකි.දැනෙනු ඇත්තේ වෙනත් දැනීමකි.කර්ම කෘතියේ ස්වභාවය එයයි.එය නිශ්චිත කතාවක් නොකියයි.නිශ්චිත හැගීම් හෝ කල්පනා අවදි නොකරයි.
ප්‍රේක්ෂකයාගෙන් ප්‍රේක්ෂකයාට ඔහුගේ හෝ ඇයගේ චිත්ත සමාධියේ තරමට යම් යම් දේ වටහා දීමේ ගුණයක් එහි ඇත.කර්ම සිනමා කෘතියේමා දුටු අපූර්වත්වය එයයි.වචනයෙන් සිතුවම් කළ භාවමයවූ ගැඹුරු කවියකින් මෙන් අමුතුම ආශ්වාදයක් එය මට ප්‍රදානය කළේය.   2012 11.29.

Tuesday, November 27, 2012

සුජාත දියණිය ;බොරලු පාර, ස්වයං‍ජාත


සුජාත දියණිය ;බොරලු පාර, ස්වයං‍ජාත
උසස් වින්දනයක් අපේක්ෂා කරමින් රූපවාහිණී නාට්‍ය නරඹන්නට කැමති ප්‍රේක්ෂකයින්ට ජාතික රූපවාහිණියේ දැනට විකාශය වන  “සුජාත දියණිය“බොරලු පාර“නමැති ටෙලිනාට්‍ය දෙක හා ස්වාධීන රූපවාහිනියේ පසුගියදා විකාශය අවසන් කළ  “ස්වයංජාත“ නමැති ටෙලිනාට්‍යද මතක් කර දෙන්නට බෙහෙවින් කැමති වෙමි.
සුජාත දියණිය- රචනයෙන් ;අධ්‍යක්ෂණයෙන්;හා රංගනයෙන්විශිෂ්ටතාවක් පෙන්වන ඉතා සිත් ගන්නා කොරියානු රූපවාහිනී නාට්‍යයකි.එසේම සිංහල සංවාද මුසු කිරීමෙන්ද මෙහි විචක්ෂණ බවක් පෙන්වා ඇත.මග ඇරුණු කොටස්ද සමගින් මෙම නාට්‍ය නැරඹීමෙන් අප ප්‍රේක්ෂකයන්ට ලබා ගත හැකි ආශ්වාදය නොමදය. එසේම ඉන් ලැබිය හැකි ප්‍රබල ජීවන අත්දැකීමද ඉතා අගනේය.
ජාතික රූපවාහිනිය දැනට විකාශය කරන බොරලු පාර නමැති නාට්‍යයද ප්‍රේක්ෂකයින් විසින් නැරඹීමට වටනා නිර්මාණයක් ලෙස මම දකිමි.සූර රචකයකුගේ රූපවාහිනී රචනයෙන් සවිබලවූ මෙය ආශ්වාද ජනක ගැටුමකින් මෙන්ම අත්දැකීමකින්පෝෂිතය.නළුනිළියන්ගේ රංගනයද ප්‍රශස්ථය.
ස්වාධීන රූපවාහිනියද ඉතා රසවත් උසස් නාට්‍ය මෙන්ම ජන ආකර්ශණය දිනාගන්නා ආශ්වාදනීය නාට්‍යද විකාශනයට උත්සුක වන බව පෙනේ.මෑතකදී මෙම නාලිකාව මගින් විකාශය කළ ස්වයංජාත නාට්‍යයද ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනයට හා ජීවන අත්දැකීම් පෝෂණයට පිරිනමන ලද්දේ නොමද නිර්මාණ ආශ්වාදයකි.දුෂ්කර අධ්‍යක්ෂණයක් හා එබදුම දුෂ්කර රංග කාර්යයක් සහිත ස්වයංජාත ප්‍රඥාවත් රචනයකින් යුක්ත බව කිව යුතුය.මෙවරද ස්වාධීන රූපවාහිනිය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය සදහා වන ජනප්‍රිය සම්මානය සිහින පියාපත් ටෙලි නාටකය සදහා දිනා ගැනීමට ඉඩ තිබෙන බව ජන මාධ්‍ය මගින් දැන ගන්නට ලැබෙමින් පවතී. මහතලා හටන, ද මෙම නාලිකාවෙන් අප වෙත ප්‍රදානය කළ අගනා නාට්‍ය තිළිණයකි.