Saturday, July 12, 2014

ඇසළ මහ සිසු පෙරහැර



ඇසළ මහ සිසු පෙරහැර
අනර්ඝයි..විශිෂ්ටයි ..පලදායකයි
අපේ සිසු පරපුර මොන තරම් දක්ෂද..
කැපවීමෙන් යුතුද..විනීතද..
ගුරුවර ගුරුවරියන් කෙතරම් දක්ෂද
අපට හරිම සතුටුයි........
මේ සංකල්පය ශ්‍රේෂ්ටයි..වසරක් පාසා පැවැත්වීම මැනවි..රටේ දරු පරපුරට ආදරය කරන අප සැමට මෙයනම් ආශ්වාදජනක වූ සෞන්දර්යයෙන් සපිරි අමරණීය සුබ දසුනකි. දරු සෙනහසින් නෙත් අගට සතුටු කදුලු නංවන
ආනන්දජනක අවස්ථාවකි.
මේ සදහා කැපවූ සැමට අපගේ ප්‍රණාමය !..
ජනාධිපති තුමා පැය තුනක පමණ කාලයක් එක දිගට ඉතා ඉවසිල්ලෙන් හා සතුටින් පෙරහැරේ යන  සිසු සිසුවියනට සුබ ප්‍රතිචාර දක්වමින් එය නරඹමින් සිටීම දෙමව්පියන් ගුරුවර ගුරුවරියන් සහ සිසු සිසුවියනට පිරිනැමුණු මහත්මවූ අභිමානයකි.මෙය සැමට වටිනා ආදර්ශයකි. මෙය සංවිධානය කළ අධ්‍යාපන අමාත්‍යාංශයට
අපගේ ස්තූතිය පිරිනැමිය යුතුවීම යුතුකමකි.
මේ මහගු “ජාතික සිසු පෙරහැර“ වසරක් පාසා යළි යළි මුලු ලොවටම දිස්වේවා!





Thursday, April 24, 2014

සම්මාන ගැන මාර කතාවක්!



“සර් , මං මේ දවස්වල උසස් සිනමා කෘතියක් නිර්මාණය කරනවා “..අහම්බෙන් මට හමුවූ මගේ පැරණි ගෝලයෙක් මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා.
“බොහෝම හොදයි..උසස් කෘතියක් නම් සම්මානත් ලැබෙයි නේද ? “ මම විහිලුවට මෙන් ඇසුවෙමි.
“ ඔව් සර්, අනිවාර්යෙන්ම ලැබෙයි. ?ඔහු තද විස්වාසයකින් යුතුව වහා පැවසුවා.
“ම්..අරමුණක් ඇතිව කරන එක බොහොම හොදයි, මොන වගේ තේමාවක්ද ඔය නිර්මාණයට පාදක වෙන්නේ..“
“මේක සර් මරණය,එම්බාම්,සංසර්ගය සහ මිනී පෙට්ටි ගැන කියවෙන සිනමාත්මක වියමනක්, සම්මාන ෂුවර්!“
“ඒ කොහොමද  එහෙම හරියටම කියන්නේ“ ?
“ හේතු තියෙනවා සර්..පහුගිය අවුරුද්දක රාජ්‍ය නාට්‍ය උළෙලේ අති විශිෂ්ට නාට්‍ය සදහා සම්මානය දිනා ගත්තේ කොළොම්බො කොළොම්බො කියලා නාට්‍යයක්.ඒක එම්බාම් සහ මරණය සමග සංසර්ගයේ යෙදෙන කතාවක් .ඊළගට බඹර වළල්ල චිත්‍රපටය.ඒකත් මිනිපෙට්ටි එම්බාම් කතාවක්.ඊළගට ඊයේ පෙරේදා  නිකිණි වැස්ස චිත්‍රපටිය.ඒකත් ඉතින් මරණය එම්බාම් මිනිපෙට්ටි සමග සංසර්ගය තමයි.අති විශිෂ්ටයි සම්මාන සේරම අතේ!..
“හරි! හරි! මටත් මතකයි. මොකද ඒ.?
“විනිශ්චය මණ්ඩල වල ඉන්න විද්වතුන් හිතනවා සර්, ඒ තේමාව ඇර වෙන එකකින් ජීවිතය යථාර්තයෙන් පෙන්වන්න බැහැ කියලා.ඉතින් මාත් කරනවා මරණය ,එම්බාම්,සංසර්ගය සහ මිනී පෙට්ටි ඇතුළත් සම්භාව්‍ය සිනමා කෘතියක් !සම්මාන ෂුවර් ! “

Monday, March 10, 2014

කළකිරීමෙන් මිය යන අපේ රටේ නාට්‍ය කරුවන් බේරා ගනිමු --2වැනි කොටස

වසර පුරා අයදුම් පත් එවා රග දක්වන නාට්‍ය, විනිශ්චය මන්ඩලයක් විසින් නැරඹිය යුතුය.(මේ විනිශ්චය මණ්ඩලය නාට්‍ය කලාව පිළිබද විශේෂ දැනුම ඇති අය විය යුතුයි.)රගදක්වන නාට්‍ය හොදින් නිරීක්ෂණය කළ පසු එම විනිශ්චය මණ්ඩලයේ සෑම සාමාජිකයකු විසින්ම , තමා නරඹා විනිශ්චය කළ නාට්‍ය පිළිබදව සාරවත් විධිමත් අංග සම්පූර්ණ විචාරයක් ලිවිය යුතුය.එහිදී එක් එක් නාට්‍ය පිළිබදව විචාරකයන් හත් දෙනකුගෙන් පමණ සාරවත් විචාර‍ /අගැයීම් ඉදිරිපත් වේ.වසර අවසානයේ මෙම විචාර සියල්ල ප්‍රකාශනයක (ග්‍රන්ථයක) පළ කොට ප්‍රේක්ෂක ජනතාවට කියවන්නට සැළසිය යුතුවේ. එසේ වූවිට නාට්‍ය කරුවන් තමතමන් ඉදිරිපත් කළ නාට්‍ය නිර්මාණවල රස ගුණ අඩුපාඩු,හා විශිෂ්ටතා ඉතා විවෘතව හා සාධාරණ හේතු සාධක සහිතව යළි විමසා සැළකිල්ලට ගන්නවා ඇත. ප්‍රෙක්ෂකයින්ද නාට්‍යයන්හී විශිෂ්ටතාවන් කෙබදුදැයි උගැන්මක් ලබනු ඇත .
එසේම සියලු දෙනා නාට්‍ය විනිශ්චය කරුවන්ගේ දැනුමෙන් හා විචක්ෂණ භාවයෙන් උපරිම පල නෙලා ගනු ඇත්තේ ,ඉහතකී විචාර  මගින් නාට්‍යයක් දෙස විචාරක්ෂියෙන් බැලීමට අධ්‍යාපනයක්ද ලබන බැවිනි. මෙයින් මෙ රට නාට්‍ය කලාවේ යම් ප්‍රවර්ධනයක් අපේක්ෂා කළ හැකි ය. නාට්‍ය කලාව පිළිබදව පලදායක කතිකාවක් ද ඇති වනු ඇත.නාට්‍ය කලාව හදාරන සිසු පරපුරටද මෙය මහගු අස්වැන්නක් වනු ඇත. රාජ්‍ය/ ජාතික  වාර්ෂික නාට්‍ය ව්‍යාපෘතිය මෙයයි.තම අතට ලැබෙන සම්මාන පලකයකට වඩා ඉහතකී විචාර ප්‍රකාශනය(ග්‍රන්ථය) නාට්‍ය කරුවාට බොහෝ සෙයින් වැදගත් වනු ඇත.එය දිගු කලක් පුස්තකාලයක හෝ පැවතෙමින් නාට්‍ය ඉතිහාසය තුළ නාට්‍ය කරුවාගේ නමද  හැකියාවද පිළිබදව නිරන්තරව කතා කරනු ඇත. එය නාට්‍ය වෙනුවෙන් ඔහු වගුරුවන මහා ශ්‍රමයත්, කැප වීමත්,විසි කරන අමාරුවෙන් උපයා ගත් ධනයත් පිළිබද සෝක ජනක අත්දැකීම් සදහා ඔහු ලබන සැනසුම් පොදක් වනු ඇත.
** මෙහි පෙර ලිපියට අදහස් දැක්වූ සැමට බෙහෙවින් ස්තුතියි.ඔබගේ අදහස් නිසාම මේ ලිපිය ලියන්නට පෙළඹුණු බව කෘතවේදිව සදහන් කරමි.

Wednesday, March 5, 2014

කළකිරීමෙන් මිය යන අපේ රටේ නාට්‍ය කරුවන් බේරා ගනිමු.



අපේ ජාතික නාට්‍ය උළෙලේ තරග වට සියල්ල දැන් අවසන්ය.මතුවට ඉතිරිව ඇත්තේ “සම්මාන ලාභීන්“ ප්‍රකාශයට
 පත් කොට සම්මාන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමයි.මුල් වට දෙකෙන් ඉවත් කරන ලද නාට්‍ය කළ පිරිස දැනටම සෑහෙන්නට හෙම්බත්ව ඇතැම් විට කළකිරී සිටින බව සක් සුදක් සේ පැහැදිළිය.එම නාට්‍ය කළ පිරිස අතර දක්ෂ රචකයින්, අධ්‍යක්ෂ වරු සහ නළු නිළියන් ද සිටින්නට ඇත.ඒ ගැන කිසිවකුගේ අවධානය නො ලැබෙන නිසා ඉහත කී කළකිරීම, අපගේ නාට්‍ය කලාවට අදාළ ව මහත් ව්‍යසනයකි.1956 සිට මේ දක්වා මෙම ව්‍යසනය, රාජ්‍ය හෝ ජාතික හෝ හැම නාට්‍ය උළෙලක දීම දිගටම සිදු‍ වෙයි. මෙය මෙරට නාට්‍ය කරුවා නාට්‍ය උළෙලින් සැමදා ලබන නිසරු අස්වැන්නයි.
අවසාන වටයෙන් සම්මාන ලබන නාට්‍ය හා නාට්‍ය කලා කරුවන් අභියෝගයක් ජය ගත්තා වූවද, ඔවුන් වුවද සැබැ නාට්‍ය කරුවන් ලෙස පිළි ගැනීමට විචාරවත් ප්‍රේක්ෂක ජනතාවට ඔවුන් දෙස( “ඔවුන්ගේ මතු නිර්මාණ දෙස),තව ටික කලක් බලා සිටින්නට සිදුවෙයි.ඒ හැර අවසාන වටයට ද පෙනී සිට සම්මාන ඇගැයීම් නොලබන බහුතර නාට්‍ය කරුවෝ පරාජිත හැගීම් ඇති කර ගනිති.එහි බලවත්ම ඛේදවාචකය වන්නේ පරාජිත නාට්‍ය යේ රචකයා,අධ්‍යක්ෂවරයා පමණක් නොව නළු නිළියන්ද අදක්ෂ, වටිනා කමක් නැති නාට්‍ය කරුවන් හැටියට බහුතර සමාජය විසින් සැළකෙන්නට පටන් ගැනීමයි.1956 උළෙලේ සිට මේ දක්වා මේ අසාධාරණයට ලක්වූ බොහෝ අය අදටත් නාට්‍ය කලාවම කෙරෙහි කළකිරීමෙන් යුතුව පැත්තකටවී සිටිනු අප දැක තිබේ.මෙය බලවත් ඛේදවාචකයක් නොවේද? එලෙසම කළකිරීමෙන් යුතුව මිය ගිය සැබෑ නාට්‍ය කරුවන් කොතෙක්ද?
මේ අපේ නාට්‍ය උළෙලේ ඉතිහාස ගත ඛේද වාචකයයි. ඉතින් ඉදිරියටත් මෙම නිරර්ථක හානිකර ප්‍රයත්නයෙහි යෙදෙමුද? නැතිනම් මෙම තරගකාරී අනුවණ ව්‍යාපෘතියේ නුගුණ නුවණින් සළකා ,වසරේ කැපීපෙනෙන සෑම හොද නාට්‍යයක්ම මැනවින් ඇගැයෙන, සාධාරණ නාට්‍ය උළෙලකට සැරසෙමුද?