Sunday, August 9, 2009

තහනම් ගහේ ගෙඩි

ලිංගිකත්වය තහනම් කළ යුතුයැයි සිතන්නෝ සදාචාර සමාජවල බහුලව සිටිති.ආහාර ගැනීම, නින්දට යෑම, මෙන්ම ලිංගික ක්‍රියාවන්ට පෙළඹීම මූලික මනුෂ්‍ය අවශ්‍යතාවයන් බව උගත්හූ පෙන්වා දෙති. සියලු ජීවීන් තම වර්ගය බෝකිරීමේ ක්‍රියාවලියක යෙදෙන අතර මිනිසා ඒ සදහා ස්ත්‍රී පුරුෂ රමණය හෙවත් සංවාසය උපයෝගි කර ගන්නේ ස්වභාවිකවමය. පුරැෂයා සහ ස්ත්‍රිය මැවූ දෙවියන් වහන්සේටවත් ඒ මිනිසුන්ගේ ලිංගික ක්‍රියාව නැවැත්වීමට බැරිවූ බව බයිබලයෙහි සදහන් වෙයි. බුදුනු සාහිත්‍යයෙහිද ලිංගික ආශාව නිසා ගැහැනුන් සහ පිරිමින් සිදු කළ බොහෝ මිනිස් හැසිරීම් විවිධාකාරයෙන් විස්තර කරමින් ජීවිතය මේ යැයි පෙන්වා දීමට උත්සාහ ගෙන තිබෙනු දැකිය හැකිය. එම නිසා මිනිස් ජීවිතය හා සම්බන්ධ පැතුම්, බලාපොරොත්තු, ක්‍රියාකාරකම්, ප්‍රශ්න ගැටලු යනාදී සියල්ලම ලිංගිකත්වය මත පවතින බව කීම බොරැවක් වන්නේ නැත. මිනිසකුගේ ලිංගික උත්තේජනය බැලීමෙන්, ඇසීමෙන් , දැකීමෙන්, ස්පර්ශයෙන් හා සිතීමෙන් මිනිසා තුළ අසුරු සැණින් පැන නගී. මෙය පාලනය කරන්නට මිනිසා තමන්ගේම උඩු සිතෙහි පවත්නා ශිෂ්ටාචාරය, සදාචාරය, සිරිත්විරිත්, නීති රීති, දඩුවම් ආදිය පිළිබද හැගීම් උපයෝගී කර ගනී. ඉහතකී හැගීම් වලින් ලිංගිකාශාව යටපත් කර ගැනීමට අපොහොසත් ස්ත්‍රිය හෝ පිරිමියා සැහැසි ලෙස හෝ ලිංගිකාශාව තෘප්ත තර ගැනීමට මාන බලයි. ඒසදහා නොයෙක් උපා උපක්‍රම යොදා ගනී. බොහෝ කාම අපරාධ ද සිදුවන්නේ එවිටය. ඒ නිසා යම්කිසි දෙයකින් ලිංගිකාශාව වැඩෙන්නේ නම් ඒදෙය මිනිසාට අහිතකර විය හැකිවන්නේ ඉන් බොහෝ වැරදි සිදුවන බැවිනි. යම් කලා හෝ සාහිත්‍ය කෘතියක් මිනිසාගේ කාම තෘෂ්ණාව අවුස්සන්නේ නම් එම කෘතිය සමාජයට අහිතකර බැවින් එය තහනමට ලක් කිරීම සාධාරණය.එසේම යම් කලා සාහිත්‍ය කෘතියකින් මිනිසාගේ කාමාශාව අවුස්සන්‍ නේ නැතිව ලිංගිකත්වයේ සැටි අදාළ දර්ශන සංයමයකින් යුතුව දර්ශනය කරමින් පවා ජීවිත විවරණයක් ලෙස පෙන්වන්නේනම් එය සමාජයට ජීවිතාවබෝධය සපයන කෘතියක් බැවින්එය සුදුසු ලෙස වර්ග කොට සමාජගත කිරීම කළ යුතු යුතු කමකි. අපගේ ඇතැම් ජාතක කතාවල ලිංගිකත්වය විවරණය කෙරෙන්නේ ඉහත සදහන් පරිදි සංයමයෙන් යුතුව මිනිසා නැණවත් කරවන පරමාර්ථයෙන් යුතුවය. එම නිසා නිර්මාණ කෘතිය ලිංගික දර්ශන දක්වමින් කරන්නේ හැගීම් ඇවිස්සීමද නැතිනම් සංයමයකින් යුතුව යථාර්ථය ගෙනහැර පෑමද යන්න විමසා බලා සුදුසු ලෙස කටයුතු කිරීම පාලක මණ්ඩල වල තදබල යුතුකම හා දැඩි සමාජ වගකීමයි. සාහිත්‍ය කලා කෘති තෝරා දෙන මණ්ඩල වලට පත් කළ යුත්තේ කෘතියක ගුණ අගුණ තේරෙණ පුද්ගලයන් මිසක වෙනත් සුදුසුකම් ඇති අන්ධ බාලයන් නොවෙ. එසේ නැති නම් හිසේ වසා සිටින මැස්සා පළවා හරින්නට පියාගේ හිසට පොරවෙන් කෙටූ පුතා මෙන් කටයුතු කෙරෙන්නට වාරණ මණ්ඩල වලට ඉඩ කඩ ඇති විය හැකිය.

3 comments:

  1. ඔබ හ‍රිය මම එකගය

    ReplyDelete
  2. ඕක තෙරුම්ගන්න අපෙ පාලකයින්ට බැහැනෙ දෙයියනේ... ඔය තීරණ ගන්න මිනිස්සු පෙන්නල තියෙන්නෙ කලාවගැන තමන්ට තියන දැනුම තමයි..

    ReplyDelete
  3. ආහාර ගැනීම, නින්දට යෑම, මෙන්ම ලිංගික ක්‍රියාවන්ට පෙළඹීම මූලික මනුෂ්‍ය අවශ්‍යතාවයකි. මේවා සියල්ල නිදහසේ කල හැකි දෙයක් නොවන ලෙස පාලනය කිරීම ලඟදී ම සිදුවිය හැකිය.

    ඉහත කී හැම දේ හොද නරක ඇත. සියල්ලම සීමාවක් තුල විය යුතුය. අනුන ට හිරිහැර නොකර කෙරෙන දේ කිසිම වරදක් නැත. ලිංගික හැසිරීම පමණක් විසෙස් ලෙස සලකා සීමා කිරීම හේතු සහගත නොවෙයි. වෙනෙකුගේ සිත තුල ඇතිවන හැගීම් මෙසේ විය හැකියැ යි සිතන අය නූගතුන් වේ. තමාගේ සිතවත් නොදන්නා අප, අනෙකුගේ සිත පහලවන දේ ගැන මොනවා දනී ද? එසේ නම් එම දේ පාලනය ට ලක් කිරීම ට අයිතියක් කෙසේ ලබා ගත හැකි ද?

    ReplyDelete