Wednesday, November 28, 2012

අපේ සිනමාවේ කර්ම

ප්‍රසන්න ජයකොඩි සිනමාවේදීන්ගේ ප්‍රථම සිනමා කෘතිය ,සංකාරා නම්වූ අතර,දෙවැන්න නම් වන්නේ “කර්ම“ යනුවෙන්ය.කර්ම නැරඹීම ඉතා සැළකිල්ලෙන් අවධානයෙන් යුතුව කළයුතු කාර්යයක් බව එය පළමු වර නැරඹීමේදී මට දැනිණි.
සාමාන්‍ය විනෝදාස්වාදය සදහා කර්ම නැරඹීම නිරර්ථක කාර්යයක්බව ;ඉදිරි අසුනක එය නරඹමින් සිටි මිනිසා ආසනය මත නිදා සිටිනු දැකීමෙන් මට පැහැදිළි විය.
කර්ම; රූපයෙන් රූපය අල්ලා ගනිමින්;එය පිළිබදව සිත මෙහෙයවමින් ස්වයං තර්ක විතර්ක ගොඩ නගමින්; අප මනැස තුළම ප්‍රතිනිර්මාණය කර ගත යුතු සිනමා නිර්මාණයක් බව මට වැටහුණේ එය දෙවැනි වර නැරඹීමේදීය.අධ්‍යක්ෂවරයා අප ඇස් ඉදිරියේ විදහාලන රූප සමුදාය ;පෙන්වන දෙයට වඩා බෙහෙවින් වැඩි දෙයක් ධ්වනය කරයි.ඒනිසා කර්ම නැරඹීම ජීවන අත්දැකීමකට සහභාගි වීමෙන් ලබන ප්‍රඥාවඅප වෙත ප්‍රදානය කරන්නේ අප තුළ පවත්නා ප්‍රඥාව හා සමග ගැටුමක්ඇති කරමිනි. කෙසේ හෝ අවසානයේ එම ගැටුමෙන් සිනමා කෘතිය ජය ගනිමින්;එය අපගේ ප්‍රඥාවට අලුතින් යමක් එක්කාසු කරයි.
කර්ම නැරඹීමෙන් අප ලබන ප්‍රථම ලාබය වන්නේ එම භාවනාවෙන් අපට ලැබෙන සුවිශේෂ අත්දැකීමයි.දෙවැනි ප්‍රතිඵලය නම් එහි අර්ථය අල්ලා ගැනීමෙන් අප තුළ අපගේ සිනමා නුවණ ගැන ඇතිවන සතුටයි.එය නිර්මාණයෙන් ලබන අර්ථ රසය ලෙසද වටහා ගත හැකිය.
පිරිමින් දෙදෙනකු හාඑක්තරා ගැහැණියක අතර පැවතියාවූ එක් අතකින් හුදෙකලාවූ ජීවන අර්බුදයක් ව්‍යංගය සහිත රූපය මගින් කර්ම චිත්‍රපටය අප තුළ රෝපණය කරයි. ලිංගිකවූද ,ජීවිතයේ සෝක ජනකවූ තනිකම හා අපේක්ෂා භංගත්වයේ වේදනාවත් , හුදු ලිංගික ප්‍රේරණය හා මුසුවූ අනිකා පිළිබද නම්‍යවූ කරුණා සහගත මානව හැගීමද කර්ම මා තුළ දැඩි කම්පනයක් ඇති කළේය.මට මෙසේ හැගුන ද කර්ම නරඹන තව කෙනෙකුට හැගෙනු ඇත්තේ වෙනත් දෙයකි.දැනෙනු ඇත්තේ වෙනත් දැනීමකි.කර්ම කෘතියේ ස්වභාවය එයයි.එය නිශ්චිත කතාවක් නොකියයි.නිශ්චිත හැගීම් හෝ කල්පනා අවදි නොකරයි.
ප්‍රේක්ෂකයාගෙන් ප්‍රේක්ෂකයාට ඔහුගේ හෝ ඇයගේ චිත්ත සමාධියේ තරමට යම් යම් දේ වටහා දීමේ ගුණයක් එහි ඇත.කර්ම සිනමා කෘතියේමා දුටු අපූර්වත්වය එයයි.වචනයෙන් සිතුවම් කළ භාවමයවූ ගැඹුරු කවියකින් මෙන් අමුතුම ආශ්වාදයක් එය මට ප්‍රදානය කළේය.   2012 11.29.

No comments:

Post a Comment