Wednesday, January 9, 2013

here AFTER him ඉනියවන් විශිෂ්ට වන්නේ කොහොමද?

අශෝක හදගමගේ  ඉනියවන්.  විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් බව මේ වන විටත් බොහෝ දෙනාගේ පිළි ගැනීම බවට පත්වී ඇත.එය විශිෂ්ට වන්නේ කවර කාරණාවලින් ද?  ප්‍රබලම කාරණය එහි අන්තර්ගතයයි.     නිර්මාණාත්මක කල්පිතයක කලාත්මක ලක්ෂණ එහි ඇති නමුත් එය මුලුමනින්ම හදගමගේ ; සංකල්පනාවක් පමණක් නොවේ.එය බෙහෙවින්ම සත්‍යවූ පසුබිමක ; සත්‍යයටම ළංව නිර්මිත චරිතයන්ගේ ඛේදවාචකය අපූර්ව ලෙස සටහන් කරන්නකි.
මේ චරිත එම පසුබිම තුළ අද කොහේදී කොතනක දී  හෝ නිරන්තරව හමුවන; හමුවිය හැකි චරිතයි. එහෙයින් එය ප්‍රභාකරන්ගේ යුද්ධයට නතුවූ පෙදෙසක ; දමිළ මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ  “සත්‍ය හඩා වැටීම“ පිළිබිඹු කරන කෘතියකි.දකුණේ වෙසෙන සිංහල සමාජය ප්‍රභාකරන් හා සහචරයන්ගේ විනාශයත් යුද්ධයේ නිමාවත් අසා සතුටු වූවා පමණකි. එහෙත් අප යුද්ධයෙන් පීඩිත උතුරේ මිනිසාගේ  හඩා වැටෙන හදවත  දකින්නේ ඉනියවන් තුළිනි.
උතුරේ මිනිසාගේ සමාජය; සංස්කෘතිය හා දේශපාලනයද නටබුන්වූ අර මිනිසාගේ ඇගට පැන හපා කන සැටිත්;උනුන් ගැටී ලේ උරා බොන සැටිත් කවර හෝ ප්‍රේක්ෂකයකුට වුවත් ප්‍රබල අත්දැකීමක් ලෙස ප්‍රත්‍යක්ෂ කරවීමට ඉනියවන් සිනමා කෘතිය සමත් ව ඇත. එම නිසා මෙම සිනමා කෘතිය අප සමාජ හා දේශපාලන දැක්ම පුළුල් කරවන දෘෂ්ටිය සකස් කිරීමේ බලපෑම කළ හැකි කෘතියක් බව නොවළහා පැවසිය හැකිය.
මේ සිනමා කෘතියේ අන්තර්ගතය ; විශ්ව සාධාරණ වන්නේ යුද ගැටුම් හා එයින් ඔත්පලවූ මිනිසුන් ලොව පුරා කොතනත් කවදත් හිග නොමැති බැවිනි.අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එය එක ලෙසම අදාළ වෙයි.ඒ නිසා ඉනි අවන් සමකාලීන අගයකින් යුක්ත දේශජ ලක්ෂණ දරණ කෘතියක් වූවත් එය සර්වකාලීන සර්ව හෞමික අගයකින්ද තොර නොවේ.
පුනරැත්ථාපනය ලබා සිය ගමට එන තරුණයා  මුහුණ දෙන අති දුක්බර අර්බුදය අපට සන්නිවේදනය කරන්නේ කුමක්ද? යුද්ධයෙන් පසු කෙලෙස හෝ නැගී සිටීමටත් ; නැතිවූ සියල්ල ඉක්වනින් ආපසු ලබා ගැනීමටත් උග්‍ර කායික ආධ්‍යාත්මික යුද්ධයක ඔවුනොවුන් හා පැටලී සිටින දුක්බර මිනිස් වගකගේ සැබෑ තත්වයයි.විනාශවී ගිය අනගි සංස්කෘතික සමාජය යළි ගොඩ නගා ගැනීම සිහිනයක් පමණක් විය හැකිය.ඒ වෙනුවට වැළලූ ගිනි අවිය පවා ගොඩ ගැනීමට පොළොඹවන පාතාල නරැම සමාජයක් බිහිවෙමින් පවතින අතර එම හතුරු සමාජය අඩු විහිදුවාගෙන මුලු මහත් උතුරැ සමාජය හා අවට ගිල ගැනීමට පටන් ගෙන ඇත.යුද්ධයෙන් නොමැරී ජීවත්වූ බැවින් කෙසේ හෝ ජීවත් වෙමුය යන ජීවන දෘෂ්ටියෙන් සාමාන්‍ය මිනිසාගේ ප්‍රඥාව හකුලුවා ඇත.එසේ හෙයින් ඔවුනගේ අනාගතය කුමකින් කුමක් වේදැයි අවිනිශ්චිතය.අශෝක හදගම ඉනි අවන් තුළින් නගන්නේ මේ බරපතල සංස්කෘතික හා දේශපාලන ප්‍රශ්නයයි.
සියලු දෙනා සිතා බැලිය යුතු බරපතල පැනයකි එය.කැටි කොට කිව හොත් ඉනියවන් ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ට විශ්වීය තලයේ ප්‍රායෝගිකවූ සිනමා කෘතියකි.
ආරම්භයේ සිට අවසානය දක්වා දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් රූප රාමුවෙන් රාමුවට ප්‍රේක්ෂකයා සිතන්නට පොළඹවන ප්‍රශස්ථ කලාත්මක සංයමයකින් මෙම නිර්මාණය සමන්විත වන්නේ සියලු ශ්‍රව්‍ය දෘශය අංගෝපාංග මැනවින් සිය සහභාගිත්වය දක්වා ඇති බැවිනි.එ බැවින් සැබෑ පුවතකට මනසින් හා කයින් සහභාගි වන්නාක් බදූ සජීවි කම්පනයක් ප්‍රේක්ෂක අප තුළ පහළ වන බව ප්‍රත්‍යක්ෂ වේ.ඉනියවන් ශ්‍රී ලාංකික අප සැම වෙත සාදරයෙන් පිදූ අව්‍යජවූ අගනා විශිෂ්ට සිනමා තිළිනයකි.
2

No comments:

Post a Comment