Monday, March 10, 2014

කළකිරීමෙන් මිය යන අපේ රටේ නාට්‍ය කරුවන් බේරා ගනිමු --2වැනි කොටස

වසර පුරා අයදුම් පත් එවා රග දක්වන නාට්‍ය, විනිශ්චය මන්ඩලයක් විසින් නැරඹිය යුතුය.(මේ විනිශ්චය මණ්ඩලය නාට්‍ය කලාව පිළිබද විශේෂ දැනුම ඇති අය විය යුතුයි.)රගදක්වන නාට්‍ය හොදින් නිරීක්ෂණය කළ පසු එම විනිශ්චය මණ්ඩලයේ සෑම සාමාජිකයකු විසින්ම , තමා නරඹා විනිශ්චය කළ නාට්‍ය පිළිබදව සාරවත් විධිමත් අංග සම්පූර්ණ විචාරයක් ලිවිය යුතුය.එහිදී එක් එක් නාට්‍ය පිළිබදව විචාරකයන් හත් දෙනකුගෙන් පමණ සාරවත් විචාර‍ /අගැයීම් ඉදිරිපත් වේ.වසර අවසානයේ මෙම විචාර සියල්ල ප්‍රකාශනයක (ග්‍රන්ථයක) පළ කොට ප්‍රේක්ෂක ජනතාවට කියවන්නට සැළසිය යුතුවේ. එසේ වූවිට නාට්‍ය කරුවන් තමතමන් ඉදිරිපත් කළ නාට්‍ය නිර්මාණවල රස ගුණ අඩුපාඩු,හා විශිෂ්ටතා ඉතා විවෘතව හා සාධාරණ හේතු සාධක සහිතව යළි විමසා සැළකිල්ලට ගන්නවා ඇත. ප්‍රෙක්ෂකයින්ද නාට්‍යයන්හී විශිෂ්ටතාවන් කෙබදුදැයි උගැන්මක් ලබනු ඇත .
එසේම සියලු දෙනා නාට්‍ය විනිශ්චය කරුවන්ගේ දැනුමෙන් හා විචක්ෂණ භාවයෙන් උපරිම පල නෙලා ගනු ඇත්තේ ,ඉහතකී විචාර  මගින් නාට්‍යයක් දෙස විචාරක්ෂියෙන් බැලීමට අධ්‍යාපනයක්ද ලබන බැවිනි. මෙයින් මෙ රට නාට්‍ය කලාවේ යම් ප්‍රවර්ධනයක් අපේක්ෂා කළ හැකි ය. නාට්‍ය කලාව පිළිබදව පලදායක කතිකාවක් ද ඇති වනු ඇත.නාට්‍ය කලාව හදාරන සිසු පරපුරටද මෙය මහගු අස්වැන්නක් වනු ඇත. රාජ්‍ය/ ජාතික  වාර්ෂික නාට්‍ය ව්‍යාපෘතිය මෙයයි.තම අතට ලැබෙන සම්මාන පලකයකට වඩා ඉහතකී විචාර ප්‍රකාශනය(ග්‍රන්ථය) නාට්‍ය කරුවාට බොහෝ සෙයින් වැදගත් වනු ඇත.එය දිගු කලක් පුස්තකාලයක හෝ පැවතෙමින් නාට්‍ය ඉතිහාසය තුළ නාට්‍ය කරුවාගේ නමද  හැකියාවද පිළිබදව නිරන්තරව කතා කරනු ඇත. එය නාට්‍ය වෙනුවෙන් ඔහු වගුරුවන මහා ශ්‍රමයත්, කැප වීමත්,විසි කරන අමාරුවෙන් උපයා ගත් ධනයත් පිළිබද සෝක ජනක අත්දැකීම් සදහා ඔහු ලබන සැනසුම් පොදක් වනු ඇත.
** මෙහි පෙර ලිපියට අදහස් දැක්වූ සැමට බෙහෙවින් ස්තුතියි.ඔබගේ අදහස් නිසාම මේ ලිපිය ලියන්නට පෙළඹුණු බව කෘතවේදිව සදහන් කරමි.

1 comment:

  1. මා සිතන්නේ නාට්‍ය කලාව හෝ කිනම් කලාවකට රජයේ අනුග්‍රහ ලබාදීම නොකල යුතුය යන්නයි. රාජ්‍ය අනුග්‍රහ නොමැති කල්හී වෙළඳ පොළට සමාන්තරව කලාවක් නිර්මාණය වන අතර එය විසින් සැබෑ නිර්මාණකරුවන් බිහි වෙනු ඇත. රජ ය විසින් යම් යම් සීමා කිරීම් කල යුතු නම් ඒවා කල යුතු වන්නේද නිර්මාණශීලිත්වය කැටි කොට ගෙන වෙයි. ටෙලිනාට්‍ය ගැන බොහෝ කතා ඇති මෙකල රජයට අවැසි නම් ටෙලිපිටපත් තරඟයක් තබා වඩාත් හොඳ ටෙලිනාට්‍ය තෝරා එය රාජ්‍ය නාලිකා හරහා විකාශය කිරීමට පුලුවන. නමුත් එය වුවද ලාභ නොලබන්නේ නම් හැමදාම මිනිසුන්ට බලෙන් සදාචාරය ඉගැන්වීමේ තැතක යෙදීම නොකල යුතුය.

    ReplyDelete