Friday, October 21, 2016

වල්බූරු නිදහස



                  “ තාත්තේ ?“  පුතා දුක්බර හඬින් තාත්තාට කතා කළේය.
“ඇයි පුතේ ?   තාත්තා පුතාගෙන් විමසුවේ පහත් හඬිනි .
“දැන් තාත්තේ , අපි මේ බස් එකක නැගලා යන්නේ අම්මව බලන්න නේ . අම්මා ඉන්නේ අසනීපවෙලා හොඳටම අමාරුවෙන් ! අම්ම ඉන්න ඉස්පිරිතාලේ ලෙඩුන් බලන්න ඇතුළට යන්න ගේට්ටුව අරින්නේ හරියටම දවල් දොළහට. ඊගාවට හරියටම දවල් එකට ඒ ගේට්ටුව වහනවා . ඒ නිසා ලෙඩුන් බලන අය දවල් එක වෙනකොට වාට්ටු වලින් පිටවෙලා යන්නම ඕනෑ“  පුතා කඳුළු පිරීගෙන එන සිය දෙනෙත පියා දෙස යොමු කරගෙන බලා සිටියේය.
“ ඔව් පුතේ ,ඒකනේ රෝහලේ නීතිය.“
“ඉතින් තාත්තේ, දැන් අපි මේ බස් එකේ කොටුවෙලා පැය බාගයක් වෙනවා , තව පැයක්වත් මෙතනම නැවතිලා ඉන්න වෙයි නේද? දැනටම වෙලාව දොළහයි දහයයි !
“ඔව් දරුවෝ,  මෙහෙම ගියොත් අදත් අපිට අම්මව බලන්න වෙන්නේ නැහැ.හැරිලා එන්නයි වෙන්නේ.මේ කාලකන්නි විරෝධතා කාරයෝ පාර පුරාම හිටගෙන, ඉඳගෙන, පාර සේරම අහුරගෙන බෝඩ් ලෑලි අල්ලගෙන
කෑගගහා කලබල කරන හැටි පේනවනේ ? තව වරුවකට බැරිවෙයි මේ බස් එකට මෙතනින් එහාට යන්න.!
ඉතින් කාටවත් බැරිද  කරදරකාරයින්ව පැත්තකට කරන්න , අර බලන්නකො ,ඒ අය පොලිසියේ රාලහාමිලටත් ගල් මුල් වලින් ගහනවා !
“ ඔව් ,ඔව් එකම පෙරළියයි ! අනේ අනිච්චං , කාටවත් බෑනේ මේවා නවත්තන්න !“
“ මොකක්ද තාත්තේ මේ කරුමේ තේරුම ?? “
“පුතේ, මේ තමයි රටේ දැන් තියෙන නිදහස !“ අපි ඉතින් කාට කියන්නද ? මේවා වළක්වන්න බැහැලුනේ !නිදහස නිදහස !“
“ එහෙමද තාත්තේ ? එහෙනම් අපිත් අපේ නිදහස පාවිච්චි කරමුකෝ ..
“ මොනවා “ ?
“ඔව් , දැන් මේක නිසා අපි යනකොට ඉස්පිරිතාලේ ගේට්ටුව වහලා තිබුණොත්“ ,අපිත් අපේ නිදහස පාවිච්චි කරලා“ ගේට්ටුව කඩාගෙන ඇතුළට යමු !“
“හප්පෝ ! “ එහෙම කළොත් මුරකාරයෝ අපට බැටේ  දෙයි ,ඇදගෙන ගිහින් දමයි පොලිස් කූඩුවට “
“ඒකත් එහෙමද තාත්තේ ! එහෙනම් මේ පාරේ විරෝධතා කරදර කලබල කරලා අපේ නිදහස නැති කරන අර ගොල්ලන්ව හසුරවන්න නීතියක් නැද්ද ?“
“නැහැ පුතේ!ඕනෑ හැටියට විරෝධතා පාන්න නිදහස තියෙනවානෙ “
“ඒක මහා යකාගේ වල්බූරු නිදහසක්නෙ “ තාත්තේ
“ඔව් මගෙ පුතේ ,නිදහස උවමනායි තමයි ! ඒත් වල්බූරු නිදහස දෙන එකනම් හරිම භයානකයි !“
“ තාත්තේ, මහජනයා ගැවසෙන පාරක තොටක ඇවිදින්න කාටත් නිදහස තියෙන්න උවමනායි . එහෙම කියලා, ඇවිදින ගමන් බස්තම් කරකවන්න නිදහස දුන්නොත් මොනව වෙයිද “.?     පුතා තවත් යමක් කියා වි‍රෝධතා කරුවන් දෙස බලා සුසුමක් හෙලුවේය.

1 comment:

  1. ඊයේ අන්න අර මහින්ද අමරවීර උන්නැහේ කිව්වා, පාරවල් අවහිර කරගෙන උද්ඝෝෂණ කරන උදවිය එක්ක සාකච්ඡා කරන්නේ නෑ කියලා. ප්‍රතිපත්තියක් වශයෙන් හැම දෙනාම එහෙම කරන්න පටන් ගත්තොත්, පාර අවහිර නොකර උද්ඝෝෂණ කරන්න පුරුදු වෙයි.

    ReplyDelete