Sunday, October 14, 2012

තණ්හාව මතුපිටට පැමිණි යුගයක්


අද ලෝකය තණ්හාව මතුපිටට පැමිණි යුගයක් හැටියට හදුන්වන්න පුලුවන්.එහෙම කියන්නේ මිනිසුන් විවෘතවම තණ්හාව පෙන්නුම් කරමින් කටයුතු කරන බව හොදින්ම පෙනෙන්නට තියෙන නිසයි.තණ්හාව සගවාගෙන වෙනත් ස්වරූපයකින් තම කාර්යය ඉෂ්ට කර ගැනීම සදහා කටයුතු කරන්නේ කලාතුරකින් බවයි පෙනෙන්නේ.එම නිසා අද ඔවුනොවුන් හා තරග වැදීම මෝස්තරයක් හා වීර කමක් හැටියටයි  පිළිගැනෙන්නේ.තරගයට නොඑළඹීම මෝඩ කමක් ලෙස ගැරහුම් ලබන ප්‍රතිපත්තියක්.අපි අද දරුවන්ට උගන්වන්නේම හැකිතාක් තරග වදින්නටයි.අනෙකාට වඩා ලකුණු ගන්නට කැපී පෙනෙන්නට,සියලු දේ අත්පත් කර ගන්නට,මුදුන් වෙන්නට අප උගන්වන්නේ එසේ නොකලොත් දරුවා සමාජය හමුවේ කොන් වෙතැයි යන බියෙන්.
එහෙත් අනෙකාට ගෞරව කිරීම ,අනෙකාට නිසි තැන දීම,අනෙකා සමග බෙදා හදා ගැනීම මානව ගුණ ධර්මයක්. එය පුරුදු කළ සමාජය අනවශ්‍ය ගැටුම් වලින් තොර සතුටින් ජීවත් විය හැකි තැනක් වන බව වර්තමාන මිනිසුන් දන්නේ නැහැ.ක්‍රෝධයෙන් හා වෛරයෙන් පුපුරු ගසන සිත් ඇති ලෝකයක කිසිවකුටත් කිසිවක්ම දිනා ගැනීමට අවස්ථා නොමැති බව තේරැම් ගන්නට තරම් අද මිනිසා ප්‍රඥාවත් නැහැ.මෙවැනි වකවානුවක ප්‍රඥාවන්තයෝ ඉවසීමෙන්,මෛත්‍රී කිරීමෙන් කරැණාවෙන් හා අනෙකාට ඉඩ දීමෙන් කිසිවෙකුටවත් නොදැනෙන්නට බොහෝ දේ දිනා ගන්නා බව නුවනින් විමසන කෙනෙකුට පෙනෙනවා ඇත.ලෝකය දිනන්නට ලෝකයා හා තරග කළ යුතු නැත.

No comments:

Post a Comment