Wednesday, March 5, 2014

කළකිරීමෙන් මිය යන අපේ රටේ නාට්‍ය කරුවන් බේරා ගනිමු.



අපේ ජාතික නාට්‍ය උළෙලේ තරග වට සියල්ල දැන් අවසන්ය.මතුවට ඉතිරිව ඇත්තේ “සම්මාන ලාභීන්“ ප්‍රකාශයට
 පත් කොට සම්මාන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමයි.මුල් වට දෙකෙන් ඉවත් කරන ලද නාට්‍ය කළ පිරිස දැනටම සෑහෙන්නට හෙම්බත්ව ඇතැම් විට කළකිරී සිටින බව සක් සුදක් සේ පැහැදිළිය.එම නාට්‍ය කළ පිරිස අතර දක්ෂ රචකයින්, අධ්‍යක්ෂ වරු සහ නළු නිළියන් ද සිටින්නට ඇත.ඒ ගැන කිසිවකුගේ අවධානය නො ලැබෙන නිසා ඉහත කී කළකිරීම, අපගේ නාට්‍ය කලාවට අදාළ ව මහත් ව්‍යසනයකි.1956 සිට මේ දක්වා මෙම ව්‍යසනය, රාජ්‍ය හෝ ජාතික හෝ හැම නාට්‍ය උළෙලක දීම දිගටම සිදු‍ වෙයි. මෙය මෙරට නාට්‍ය කරුවා නාට්‍ය උළෙලින් සැමදා ලබන නිසරු අස්වැන්නයි.
අවසාන වටයෙන් සම්මාන ලබන නාට්‍ය හා නාට්‍ය කලා කරුවන් අභියෝගයක් ජය ගත්තා වූවද, ඔවුන් වුවද සැබැ නාට්‍ය කරුවන් ලෙස පිළි ගැනීමට විචාරවත් ප්‍රේක්ෂක ජනතාවට ඔවුන් දෙස( “ඔවුන්ගේ මතු නිර්මාණ දෙස),තව ටික කලක් බලා සිටින්නට සිදුවෙයි.ඒ හැර අවසාන වටයට ද පෙනී සිට සම්මාන ඇගැයීම් නොලබන බහුතර නාට්‍ය කරුවෝ පරාජිත හැගීම් ඇති කර ගනිති.එහි බලවත්ම ඛේදවාචකය වන්නේ පරාජිත නාට්‍ය යේ රචකයා,අධ්‍යක්ෂවරයා පමණක් නොව නළු නිළියන්ද අදක්ෂ, වටිනා කමක් නැති නාට්‍ය කරුවන් හැටියට බහුතර සමාජය විසින් සැළකෙන්නට පටන් ගැනීමයි.1956 උළෙලේ සිට මේ දක්වා මේ අසාධාරණයට ලක්වූ බොහෝ අය අදටත් නාට්‍ය කලාවම කෙරෙහි කළකිරීමෙන් යුතුව පැත්තකටවී සිටිනු අප දැක තිබේ.මෙය බලවත් ඛේදවාචකයක් නොවේද? එලෙසම කළකිරීමෙන් යුතුව මිය ගිය සැබෑ නාට්‍ය කරුවන් කොතෙක්ද?
මේ අපේ නාට්‍ය උළෙලේ ඉතිහාස ගත ඛේද වාචකයයි. ඉතින් ඉදිරියටත් මෙම නිරර්ථක හානිකර ප්‍රයත්නයෙහි යෙදෙමුද? නැතිනම් මෙම තරගකාරී අනුවණ ව්‍යාපෘතියේ නුගුණ නුවණින් සළකා ,වසරේ කැපීපෙනෙන සෑම හොද නාට්‍යයක්ම මැනවින් ඇගැයෙන, සාධාරණ නාට්‍ය උළෙලකට සැරසෙමුද?

2 comments:

  1. ඔබතුමා ඔයකියන සාධාරන නාට්‍ය උළේල කොයි වගේ එකක්ද ඒ ගැනත් ලියන්ඩ එපෑ ඔබේ අදහස කුමක්ද

    ReplyDelete
  2. ඔබ කියන කතාව ඇත්තම ඇත්තක් ඒත් ඔබ කියන ඔය සාධාරන නාට්‍ය උළෙලේ ආකෘතිය කුමක්ද යන්න මට නොවැටහේ එසේනම් තරගයකින් තොරව ඇගයීමක් පමනක් කිරීමට සිදුවේ එම ඇගයීම සිදු කිරීමට ඉතා ශක්තිමත් ආකෘතියක් අවශ්‍යවේ

    ReplyDelete