Thursday, January 17, 2013

නෙළුම් පොකුණ“, අපටත් ඕනෑ නැද්ද? “.....



ආරියරත්න ඇතුගල නිර්මාණය කරන “ මහ සමයම“  ඔපෙරාව [ගීත නාටකය ]  ජනවාරි 30 වැනිදා කොළඹදී රග දැක්වීම අරඹන බව සැළවීම කලාකාමී අප සැමගේ සතුටට හේතුවකි.එය නෙළුම් පොකුණ නමැති මහ රගහලෙහි රග ගත වීම වඩාත් සතුටට හේතුවයි. නෙළුමි පොකුණෙ හි විධිමත් සංගීත නාටකයක් රග දැක්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
නෙළුම් පොකුණ ජාතික රගහලක් සේ විවෘත කළාටම පසු නාට්‍යයක් සදහා එහි තිරය හා අනේක විධ නවීන තාක්ෂණික මෙවලම්ද ආලෝක ධාරාවන්ද ප්‍රෙක්ෂක ජනතාව හමුවේ විවෘත වන මහගු අවස්ථාව මෙයයි. විශ්ව මට්ටමින් අපගේ ජාතික නාට්‍ය දොරට වඩන අවස්ථාවක් ලෙස මෙය හැදින්වූවාට වරදක් නැත.එය ආඩම්බරයට හා සතුටට කරැණකි.
එහෙත් දුකක් ද පවතී.සෙසු නාට්‍ය කරුවන් වූ අපට නෙළුම් පොකුණ ගැන හිතන්නටවත් බැරි තත්වයක එය පැවතීම දුකට හේතුවයි.නෙළුම් පොකුණ රගහල නාට්‍යයක් පෙන්වීම සදහා අපට ලබා ගත නොහැක්කේ එම ජාතික රගහල ලක්ෂ දහයක පමණ මුදලක් දර්ශණයක් සදහා අය කරන බැවිනි.එහි ඇති මිළ කළ නොහැකි වටිනා තාක්ෂණික පහසුකම් වලට සරිලන එම අය කිරීම් සාධාරණ නමුත් අප රට සිටින දක්ෂ එහෙත් පොහොසතුන් නොවන සාමාන්‍ය නාට්‍ය කරැවනට එම අය කිරීම් දැරිය නොහැකි තරම් මිළෙන් ඉහළය.
රගහලෙහි ඇති නවීන පහසුකම්  නිර්මාණාත්මකව අති දක්ෂ ලෙස උපයෝගි කර ගනිමින් උසස් නාට්‍ය නිපයීමට තරම් හැකියාවෙන් පූර්ණවූ සූරයන් අප අතර නැතිවා නොවේ. නැත්තේ මුදල් හදල්ය.අප රට සිටින  බහුලවූ ප්‍රේක්ෂක නාට්‍ය ලෝලීන්ට ද රුපියල් දහසක් දෙදහසක් වැනි මුදලක් වුව නාට්‍යක් නැරඹීම සදහා වැය කිරීම පහසු නැත.එවැනි පහසුකම් ඇත්තේ මධ්‍යම පංතියෙන් ඉහළ අතළොස්සක් පමණවූ පිරිසකට පමණය.සාමාන්‍ය ජනතාවගේ හිසට ඉහළින් ඉගිලෙන ජාතික නාට්‍ය කලාවකට පැවැත්මක්ද නැත. පැවතුණත් ඉන් ඇති වැඩක්ද නැත.
නෙළුම් පොකුණ ඇසුරු කරගත් උසස් ජාතික නාට්‍ය කලාවක් ගොඩ නගා ගැනීමෙන් පමණක් මෙම රගහලෙහි පල උපරිමව නෙලා ගත හැකිය.ඒ සදහා රජයේද කලාකරුවන්ගේද නොමද උත්සාහය හා කැප කිරීම් යෙදවීම අති අවශ්‍යය. උසස් ඔපෙරා රචනයන් තෝරාගෙන ඒවා නිෂ්පාදනය කිරීම සදහා රජයෙන් හා පෞද්ගලික අංශයෙන් දක්ෂයනට ප්‍රතිපාදන දිරිදීම් ලබාදීම මගින් මෙම රගහලෙහි නියම අර්ථය ජාතිය සදහා දායාද කළ හැකි බව රහසින් නොව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිය.
කෙසේ වෙතත් මහ සමයම නමැති ප්‍රයත්නයට අපි ආසිරි පතමු.       2013 01 18

1 comment:

  1. ඔය පොකුණට අරක්ගත් රාක්ෂයෙක් ඉන්නවා. නලපාන ජාතකයේ ඉන්න රාක්ෂයා වගේ. හැබැයි මේ රාක්ෂයාට ලජ්ජා බය කියන ධර්මය කියාදී දමනය කරන්න බැහැ. කවදා හෝ ඌ විහින් නැහෙන තුරු අපට ඉවසීමෙන් බලාඉන්න වෙනවා. හැබැයි කාලය වේගයෙන් ගතවෙනවා. එය මහත් සතුටක්. පොකුණට බහින්න පුළුවන් රාජපක්ෂ/රාජ්‍යපක්ෂ අයට පමණයි. ඒ වසුරු හඳුන් කලක මෙන් නළලේ උලාගනිමින් 'ජැක්' ගහන කළා ව්යාපාරිකයන්ටනම් ඒ නරාවල අනෝතත්ත විලකි.

    ReplyDelete