Thursday, February 21, 2013

කලා කෘතියක සත්ය හා රමණීයත්වය truth and beauty’……….



කලා කෘතියක් නම් එය ජීවිතය , පුද්ගලයා හා සමාජය පිළිබද සත්‍යය එනම් යථාර්ථය විවරණය කරන්නේයැයි පිළිගැනීමක් වෙයි.
යථාර්ථය යනු හැමවිටම මතුපිටින් පෙනෙන ඇසෙන දෙයම නොවේ.ජීවිතය දෙසට කැඩපතක් යොමු කළහොත් අපට පෙනෙන්නේ ස්වභාවික දර්ශනයකි. මෙම ස්වාභාවිකත්වය මතු පිට පෙනුම මිස එය සම්පූර්ණ සත්‍යයම නොවේ.පුද්ගලයා මතු පිටින් දැකීමෙන් ඔහු පිළිබද සත්‍ය තත්වය වටහා ගැනීමට හැකිද?  බොහෝ විට පුද්ගලයා හෝ සමාජය පැළද සිටින්නේ වෙස් මුහුණකි. සත්‍යය ඇත්තේ එම මතු පිට වෙස් මුහුණට යටිනි.
කලාකරැවා සත්‍ය අනාවරණය කිරීමට නම් ඔහු මතු පිටින් පහසුවෙන් පෙනෙන දෙය පමණක් නොව  ඒ ඉක්මවා ගැඹුර දැකිය යුතු වෙයි.කලාකරුවා සාමාන්‍ය මිනිසාට ඉදිරියෙන් යිටිය යුතු යැයි කියන්නේ එම නිසාය.
සත්‍ය බොහෝ විට තිත්තයි. නීරසයි.එම නිසා නීරස ඇත්ත අනාවරණය කරන කෘතියක් කලා කාතියක් වන්නේ සත්‍ය රමණීයත්වයෙන් විවරණය කිරීමෙනි.රමණීයත්වය යනු නිර්මිත කලා කෘතියකින් විහිදෙන චමත්කාරයයි.එයට රසය යැයි ද කියමු.සහෘදයා කලා කෘතියකින් වින්දනය කරන්නේ එය හා බද්ධව ඇති අර්ථ රසය හෙවත් සත්‍ය හා රමණීයත්වයෙහි චමත්කාරයයි. 

උසස් කලා නිර්මාණයක සත්‍ය හා රමණීය බව දෙකක් නොව එකක්මය.ඒ දෙක වෙන් කිරීමට නො හැකි වනුයේ සත්‍ය රමණීයත්වයෙන් වෙන් කළ කල්හී එහි කලාව අතුරුදන් වන බැවිනි.රමණීයත්වයෙන් තොර කෘතිය සත්‍ය අඩංගු වාර්තාවක් පමණකි.
නිර්මාණ කරුවන් සත්‍ය ප්‍රකාශනය කෙරෙහි වඩාත් අවංක වී  එහි සෞන්දර්ය හෙවත් රමණීයත්වය ගැන නොසළකා හැරියහොත් ඔවුන්ගේ නිර්මාණ බොහෝ ජනයා අතර භාවිත නොවන සීමිත පිරිසකගේ පමණක් අවධානයට ලක්වන  කෘතියක් බවට පත්විය හැකිය.එසේම කෘතියෙන් ප්‍රකාශ විය යුතු මනා දුලබ සත්‍යයක් ගැන නොසළකා හුදු  විනෝදය පමණක් අරමුණු කොට කරන නිර්මාණයන්ද  ශ්‍රි ලංකාව වැනි චිරාගත උසස් සාහිත්‍ය සම්ප්‍රදායක් පවතින රටවල බහුතර ජනතාවකගේ පිළිගැනීමට බදුන් නොවේ.
ඉහත කරැණු සළකා බලන කළ මෙරට බහුතර ජනතාවකගේ පිළිගැනීමට ලක්වන  නිර්මාණ කෘති ප්‍රමාණවත්සත්‍ය හා රමණීයත්වයෙන් සපිරි කෘති වශයෙන් සළකා බැලිය යුතු බව පැවසිය හැකිය.
            කලා කෘතියක  සත්‍ය හා රමණීයත්වය truth and beauty’…යනු එයින් ප්‍රකාශනය වන ආනන්දය හා ප්‍රඥාවමයි.

1 comment: