Sunday, March 17, 2013

නාට්‍ය තරග සම්මාන හා අවමාන -2 (පෙර ලිපියට සම්බන්ධයි)



මෙසේ  තිබියදී නාට්‍ය අනුමණ්ඩල එදා සිට අද දක්වා සැබෑ නාට්‍ය කලා ගැරුම් වට්ටියට එක වටිනා මැණිකක් හෝ ගරා ගැනීමට අපොහොසත් වී ඇති බව කීම ද ලැජ්ජාවට කරුණකි.උසස්ම කෘති නැතත්, මධ්‍යම ගණයේ ස්වතන්ත්‍ර කෘතියක් දෙකක්වත් හදුනාගෙන ඒවා මුද්‍රණයෙන් හෝ සංරක්ෂණය කිරීමට තරම් නැණවත් නොවූ  අනුමණ්ඩල වලින් ඇති වැඩේ කුමක් ද?.එසේ කර තිබුණා නම් ඒවා ප්‍රංශ, ඉංග්‍රිසි,ජපන්, දෙමළ ආදී භාෂා වලට පරිවරතනය කොට, මෙන්න අපේ නාට්‍යයැයි ලෝකයට හදුන්වා දෙන්නට තිබිණි.උසස් ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියක දේශයේ පරිසරය,ජන විඥානය ,හා ලෝක දෘෂ්ටිය සටහන්ව ඇති බව කිව යුතු නොවේ.පැරණි රුසියානු සමාජය හදුනා ගැනීමට ඇන්ටන් චෙකොව් ගේ හෝ ගොගොල් ගේ හෝ වෙනත් රුසියානු නාට්‍ය රචකයකුගේ කෘතියක් කියවීමවුව සෑහේ. චෙරි උයන, මුහුදු ලිහිණි, රජයේ පරීක්ෂක වැනි නාට්‍ය වලින් විහිදෙන මානව ගුණය රසය හා අනුභූතීන් කෙතරම් අරුම ද? අනෙක් රටකට ජාතියකට අයත් ස්වතන්ත්‍ර නාට්‍ය කෘති මෙන්ම නවකථා ,කෙටිකථා ආදියටද ඇත්තේ එවැනිම ශක්‍යතාවකි. උසස් නාට්‍ය කෘතිය එහි පෙළ නොතකා නිෂ්පාදිත නාට්‍ය පමණක් හුවා දක්වා උදම් ඇනීම බලවත් මෝඩ කමකි.
1959 සිට අද දක්වා නාට්‍ය උළෙලයනට ඉදිරිපත්වී එහිදී කැපී පෙනුණු නාට්‍ය රචනා කෘති පෙර කී ලෙස සංරක්ෂණය කොට තැබුවා නම් අද පරපුරට ඒවා හැදින ගෙන අලුත් අර්ථ කථනයෙන් හෝ ඒවා රග බිමට ගෙන අවුත් නාට්‍ය කලා කෙත සාරවත් කිරීමට අවකාශ තිබුණා නොවේ ද? එසේ තිබුණා නම් මොන තරම් ස්වතන්ත්‍ර නාට්‍ය කෘති රැසක් අප ජාතිය සතුව ඇද්දැයි දැන ගන්නට තිබිණි.
වසරකට වරක් නාට්‍ය උළෙල නමින් හඩ නගා කරන උත්සව පැවැත්වීමේ අරමුණ නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම නම් ,එය මෙතෙක් සිදුවී නැති බව පැවසීමට සිදුවීම  කනගාටුවට කරුණකි. වසර ගණනාවක නාට්‍ය විනිශ්චය විසින් හා උත්සව කතිතා වලින් ගොඩ නැගී ඇත්තේ කවර නාට්‍ය ප්‍රමිතියක්ද? අද දවසේ දිවයින පුරා රග දැක්වෙන (යළි යළි  සරුවට රග දැක්වෙන) නාට්‍ය  වලින් පැවසෙන්නේ එම අනර්ඝ ප්‍රමිතීන්ගේ අංග ලක්ෂණයන්ද ? පිළිතුර නැත යන්න නම්  මේ සා විශාල ජාතික ධනයක් හා ශ්‍රමයක් වැය කළේ එවැනි ප්‍රතිපලයක් ලබා ගනු පිණිසදැයි නැණවත් අය ප්‍රශ්න කරනු ඇත.
වසරේ නාට්‍ය කිහිපයක් පෙන්නා තෝරා සමිමාන ලබා දී“ ඔන්න අපි නාට්‍ය උත්සවය ඉහළින්ම කළායැයි උදම් අනමින් ජය පැන් පානය කිරීමේ අර්ථයක් නැති බව දැන් පැහැදිළිව ඇත.පරිවර්තන හා අනුවර්ථන රචනයන් පාදක කරගෙන නිෂ්පාදනය කෙරෙන නාට්‍යද ප්‍රෙක්ෂක ජනයාට බොහෝ වැදගත් වන බව සත්‍යයකි.එහෙත් අපිට හොද ස්වතන්ත්‍ර නාට්‍ය රචනා පිටපත් නැහැ කියමින් කම්මැළිකමින් කර ඇර පරිවර්තන වලට වැඩිපුර තැනක් දීම නම් අනුවණ කමකි.
පළමුව නාට්‍ය රචනා කැදවා,ඒවා විද්වත් මණ්ඩල මගින් ඉතා මැනවින් පරික්ෂා කොට හොදම රචනා තෝරා,ඒවා නිෂ්පාදනය කිරීමට උපදෙස් හා ආධාර සැපයීමෙන් ඉතා හොද නාට්‍ය බිහි කිරීමේ අවංක ප්‍රයත්නයක යෙදීමට නාට්‍ය අනුමණ්ඩලය කැප වුවහොත් මීළග වසරේදීවත් සාරවත් නාට්‍ය උළෙලක් පැවැත්වීමට අප සමත් වනු ඇත. එසේ නැතිව තව දුරටත් මෙහෙම ගියොත් අපේ නාට්‍ය කලාවට දෙවියන්ටවත් පිහිටක් වන්නට නොහැකි වනු ඇත.

1 comment:

  1. නාටක නැරඹීමට දැන් ලාංකික ජනයා එත්ම්ම පෙළඹෙන බවක් පෙනෙන්ට නැහැ...

    ReplyDelete