Saturday, March 16, 2013

නාට්‍ය තරග සම්මාන හා අවමාන



1959 වසරේ සිටම රාජ්‍ය නාට්‍ය උළෙලක් පවත්වයි. මෙය නාට්‍ය අනුමණ්ඩල හා නිලධාරීන් වෙහෙසවී කරන වර්ෂයේ ඉහළම කාර්යය වෙයි.
1959 සිට අද දක්වා මෙම නාට්‍ය තරග හා උළෙල වලින් අතළොස්සක් වූ සම්මාන ලාභීන් පුම්බා උඩ යැවෙන අතර බහුතරයක් නාට්‍යකරැවන් අවමානයට බදුන්කොට වළපල්ලට යැවෙයි. පිම්බී උඩ යැවුණු සම්මාන ලද්දන් අතර  පුස්සන්  බහුලවූ අතර ,  අවමානයෙන් ඉවත්කොට වළපල්ලට යැවුණු අය අතර නිස්සෝද දක්ෂයෝද හිග නොවූහ.
සමස්ත නාට්‍ය උළෙලේ ඉතිහාසයේ සාරාංශය එයයි.
දියුණු නාට්‍ය කලාවත් පවතින රටවල නාමයන් සමග අපට කවදත් එකවර මතකයට එන්නේ , ඒ ඒ රටවල කීර්තිමත් නාට්‍ය කරැවන්ගේ නම් වැල හා නාට්‍ය නාමාවලියයි. සොපොක්ලිස්, යුරිපිඩිස්, ප්ලෝටස්, ෂේක්ශ්පියර්, ඉබ්සන්,ගාර්ෂියා ලෝකා, බර්ටෝල්ඩි බ්‍රෙෂ්ට් ආදී වශයෙන් නිතර කියවෙන නාට්‍ය කරැවන්ගේ නාමාවලිය කවුරැත් දනිති.ඔවුන් කවුරුද?  ලෝකයට කල්පවත්නා නාට්‍ය කෘති රචනය කළ රචකයෝ වෙති. මේ රචනා පාදක කර ගනිමින් එදත් අදත් විවිධ අධ්‍යක්ෂකවරු නාට්‍ය නිර්මාණය කරති. විවිධ නළුවෝ ඒ භූමිකා යළි යළි රග දක්වති. අධ්‍යක්ෂක (නිෂ්පාදක) හා නළු නිළියන් වෙනස් වුවත් , වෙනස් නොවන්නේ මූලික නාට්‍ය රචනයයි.එය කවදත් හදුන්වන්නේ නාට්‍ය රචකයාගේ නමිනි. උදා- ෂේක්ශ්පියර්ගේ  හැම්ලට් ,ඉබ්සන්ගේ  ඩොල්ස් හවුස් , සොපොක්ලිස් ගේ  ඊඩිපස් ,  ආදී වශයෙනි.
ඒ සම්භාව්‍ය රචනයන් උපයෝගි කරගෙන නාට්‍ය නිපදවන අදියුරුවන් හා නළු නිළියනුත් ලබන්නේ කාලීන අගයක් පමණකි. සර්වකාලීනව ඇගයෙන්නේ රචනයයි.
මේ යථාර්ථය අපේ ඇත්තෝ දනිත්ද?  නැත.1959 සිට මේදක්වා මොන තරම් උසස් ස්වතන්ත්‍ර සිංහල නාට්‍ය රචනා සංඛ්‍යාවක් බිහි වුණේදැයි කිසිවෙක් නොදනිති.දැන ගන්නට කිසිවකුටත් උවමනාවක් ඇති බවක්ද නො පෙනේ.එක් එක් නාට්‍ය උළෙලේ පළමුවැනි වටය, දෙවැනි වටය තුළදී නාට්‍ය නිෂ්පාදනයේ දුර්වලතාවන් නිසා උළෙලින් අයින්වන නාට්‍ය අතරෙහි යම් තරමකටවත් උසස් ස්වතන්ත්‍ර නාට්‍ය රචනයන්ද තිබූ බවට දන්නා නමුත්  ඒවා වෙනම ගෙන ඇගයීමටත් , සංරක්ෂණය කොට තබා ගැනීමටත් වැඩ පිළිවෙලක් යෙදුවේ මොන නාට්‍ය අනුමණ්ඩලයක් විසින් ද ?  නැත නැත.
වටිනා මැණික් ඉවත ලා ගල් වැලි ගරා ගන්නා අන්ධ බාලයන් මෙන් අප මෙතෙක් කර ඇත්තේ, ස්වතන්න්‍ර නාට්‍ය රචනයන් වළපල්ලට ඇද දමා වළ වැසීමයි. ඉතින් ලැබිය හැක්කේ කවරනම් නාට්‍ය කලා සංවර්ධනයක්ද?
“නුඹලාගේ ජාතික නාට්‍ය කරුවෝ කවරහුද?“ යි  යන පැණයට අපට දිය හැකි පිළිතුරු ඉතා සීමිතය. “එදිරිවීර සරච්චන්ද්‍ර ,දයානන්ද ගුණවර්ධන“ !  ...සෙසු බොහෝ නම් නාට්‍ය පරිවර්තකයන්ගේ හෝ අනුවර්තකයන්ගේ නම් වෙයි. ජාතියේ නමින් ලොවට හදුන්වා දිය හැක්කේ ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන් හා එමනිෂ්පාදනයන් පමණකි..         (මතු සම්බන්ධයි)
(අපේ නාට්‍ය උළෙල නිමිත්තෙනි.)

No comments:

Post a Comment