“ තාත්තේ ?“ පුතා දුක්බර හඬින් තාත්තාට කතා කළේය.
“ඇයි පුතේ ?
තාත්තා පුතාගෙන් විමසුවේ පහත් හඬිනි .
“දැන් තාත්තේ , අපි මේ බස් එකක නැගලා යන්නේ අම්මව
බලන්න නේ . අම්මා ඉන්නේ අසනීපවෙලා හොඳටම අමාරුවෙන් ! අම්ම ඉන්න ඉස්පිරිතාලේ ලෙඩුන්
බලන්න ඇතුළට යන්න ගේට්ටුව අරින්නේ හරියටම දවල් දොළහට. ඊගාවට හරියටම දවල් එකට ඒ
ගේට්ටුව වහනවා . ඒ නිසා ලෙඩුන් බලන අය දවල් එක වෙනකොට වාට්ටු වලින් පිටවෙලා යන්නම
ඕනෑ“ පුතා කඳුළු පිරීගෙන එන සිය දෙනෙත
පියා දෙස යොමු කරගෙන බලා සිටියේය.
“ ඔව් පුතේ ,ඒකනේ රෝහලේ නීතිය.“
“ඉතින් තාත්තේ, දැන් අපි මේ බස් එකේ කොටුවෙලා පැය
බාගයක් වෙනවා , තව පැයක්වත් මෙතනම නැවතිලා ඉන්න වෙයි නේද? දැනටම වෙලාව දොළහයි
දහයයි !
“ඔව් දරුවෝ,
මෙහෙම ගියොත් අදත් අපිට අම්මව බලන්න වෙන්නේ නැහැ.හැරිලා එන්නයි වෙන්නේ.මේ
කාලකන්නි විරෝධතා කාරයෝ පාර පුරාම හිටගෙන, ඉඳගෙන, පාර සේරම අහුරගෙන බෝඩ් ලෑලි
අල්ලගෙන
කෑගගහා කලබල කරන හැටි පේනවනේ ? තව වරුවකට
බැරිවෙයි මේ බස් එකට මෙතනින් එහාට යන්න.!
ඉතින් කාටවත් බැරිද කරදරකාරයින්ව පැත්තකට කරන්න , අර බලන්නකො ,ඒ අය
පොලිසියේ රාලහාමිලටත් ගල් මුල් වලින් ගහනවා !
“ ඔව් ,ඔව් එකම පෙරළියයි ! අනේ අනිච්චං , කාටවත් බෑනේ
මේවා නවත්තන්න !“
“ මොකක්ද තාත්තේ මේ කරුමේ තේරුම ?? “
“පුතේ, මේ තමයි රටේ දැන් තියෙන නිදහස !“ අපි
ඉතින් කාට කියන්නද ? මේවා වළක්වන්න බැහැලුනේ !නිදහස නිදහස !“
“ එහෙමද තාත්තේ ? එහෙනම් අපිත් අපේ නිදහස පාවිච්චි
කරමුකෝ ..
“ මොනවා “ ?
“ඔව් , දැන් මේක නිසා අපි යනකොට ඉස්පිරිතාලේ
ගේට්ටුව වහලා තිබුණොත්“ ,අපිත් අපේ නිදහස පාවිච්චි කරලා“ ගේට්ටුව කඩාගෙන ඇතුළට යමු
!“
“හප්පෝ ! “ එහෙම කළොත් මුරකාරයෝ අපට බැටේ දෙයි ,ඇදගෙන ගිහින් දමයි පොලිස් කූඩුවට “
“ඒකත් එහෙමද තාත්තේ ! එහෙනම් මේ පාරේ විරෝධතා
කරදර කලබල කරලා අපේ නිදහස නැති කරන අර ගොල්ලන්ව හසුරවන්න නීතියක් නැද්ද ?“
“නැහැ පුතේ!ඕනෑ හැටියට විරෝධතා පාන්න නිදහස තියෙනවානෙ
“
“ඒක මහා යකාගේ වල්බූරු නිදහසක්නෙ “ තාත්තේ
“ඔව් මගෙ පුතේ ,නිදහස උවමනායි තමයි ! ඒත් වල්බූරු
නිදහස දෙන එකනම් හරිම භයානකයි !“
“ තාත්තේ, මහජනයා ගැවසෙන පාරක තොටක ඇවිදින්න
කාටත් නිදහස තියෙන්න උවමනායි . එහෙම කියලා, ඇවිදින ගමන් බස්තම් කරකවන්න නිදහස
දුන්නොත් මොනව වෙයිද “.? පුතා තවත් යමක් කියා විරෝධතා කරුවන් දෙස බලා
සුසුමක් හෙලුවේය.