Saturday, September 19, 2015

ඔබ නැතිව ඔබ එක්ක



සීතලේ මිදුණු හාත්පස
අවදියෙන් මුත් නිදිබරය
මිනිස් බව
       උණුසුම් වන්නට ආයාසයෙන්
       කලු ලෝගු කබා හා හිස් වැසුම්
        වීදියේ එහා මෙහා
        පිය මං කෙරේ සෙවණැලි
දැල් කවුලුවෙන් මෙපිට
හිද සිටියි ඔහු
සීතලෙන් ලේ මිදුණු



     දිනය ඇරැඹී ඇත
     එදිනෙදා අත මිටට
     සැනසුමක් පතා එකිනෙකා
     ළංවේ ගැහෙන හදවත්
     දැල සහිත කවුලුව වෙත
මිට මෙලවූ අතැගිලි
කවුලුවෙන් මොබ එවා
අසරණ දෑස් යුග එකිනෙක
බලා සිටිනුයේ දැල් කවුලුවෙන්

     
සියුමැලි දිගැටි අතැගිලි මිටක්
කවුලුවෙන් ආවේය සීරුවෙන්
මිටි කළ ඇගිලි දිග හැර
දැමිණි නොවටනා රන් වැලක්
     උකසට තැබිය හැකිදැයි විමතියකි ඔහු හට
    බැලුවේය දැල් කවුලුව හරහා ඒ කවුරුදැයි
බියත් අසරණ බවත්
සිතුවම් කළ මුවැත්තියක
සිටියාය සුසුම් නවතාගෙන
අසරණය අහිංසකය එඩිතරය
ඒ මුව දෙනෙත
     මොහොතකට සියුම් ලෙස
     ඔහු හද රිදුම් දිණි
මනුසත් බව ලැබූ මුවැත්තියකය මේ
කුමක් හෝ අග හිගයක්
පිරිමසා ගන්ට නොවැ
ඔහු සිත කෙදිරි ගා සිහින් ලෙස වැලපිණි
    ලාච්චුවෙන් ගත් රුපියල්
    තැබුවේය ඔහු රිසිට්ටුව සමග
අතැගිලි දිගු විය   ඩැහැගත් මුදල ගෙන
හැරී දිව ගියාය ඈ පඩි පෙළ බැස
මීදුම ගලයි පරිසරය...
ඔහු මොහොතක් දෙකක්
බලා සිටියේය ඇය යන දෙස

හදවත රහස් වේගයෙන්
ගැහෙනු දැනෙනුයේ රලු සොදුරු මිනිසාට
අර දෑස කතා කර
කිවූ දහසක් සෝ ගීත
වැටහී තිබේ ඔහු හට
     කුමක්ද මේ වේදනාව
මුව දෑසෙන් දුටු  මිනිස් කමේ වේදනාවයි මේ
අවසානයේ ඔහු ඇය  අප හදට කොදුරා
පසක් කර දෙයි ...“මනස් පරිසරයක තරම!“   ප්‍රේමයක ත්‍රිමානය!
           සුන්දරය ඒ ,එහෙත් වැහිබරය
           මිහිදුමෙන්චමත්කාරය  ,එහෙත් අදුරු වැහි වළාවෙන් ගහණය
ගැඹුරුයි!
සංකීර්ණයි !
සුන්දරයි !
මේ මානව මනස් වත