Sunday, March 17, 2013

“සක්විති රාවණ කතා කරයි....“.



රාජපක්ෂ යුගයේ මිනිසුනි,
දැන ගන්න මා තමයි සක්විති රාවණ
දසහිස් වන් ප්‍රතාපයෙන් අදිරද නැගූ.......

මනුලොවෙහි පළමුව
මයුර වාහනයෙහි නැගී
මතු තලයෙහි (අහසෙහි )
සැරිසැරෑ මම ය රාවණ

සීගිරිය වාරියපොළ ද
තොටුපොළ කන්ද හා
මත්තල ද විය
මගේ ගුවන් පථ.......

අද මම පිනා යමි සතුටින්
ලොව පුරා සැරිසරණ නව ගුවන් නැව්
සිය දහස් ගණනකට පාද වෙයි
මගේ මත්තල!
අසිරියකි මට මෙය !
මේ ලක් පුරය, මේ හෙළය
ආලකමන්දාව වෙයි නොදුරෙහි
තුටු සිතින් ජීවිතය බුක්ති විදිනා

නාට්‍ය තරග සම්මාන හා අවමාන -2 (පෙර ලිපියට සම්බන්ධයි)



මෙසේ  තිබියදී නාට්‍ය අනුමණ්ඩල එදා සිට අද දක්වා සැබෑ නාට්‍ය කලා ගැරුම් වට්ටියට එක වටිනා මැණිකක් හෝ ගරා ගැනීමට අපොහොසත් වී ඇති බව කීම ද ලැජ්ජාවට කරුණකි.උසස්ම කෘති නැතත්, මධ්‍යම ගණයේ ස්වතන්ත්‍ර කෘතියක් දෙකක්වත් හදුනාගෙන ඒවා මුද්‍රණයෙන් හෝ සංරක්ෂණය කිරීමට තරම් නැණවත් නොවූ  අනුමණ්ඩල වලින් ඇති වැඩේ කුමක් ද?.එසේ කර තිබුණා නම් ඒවා ප්‍රංශ, ඉංග්‍රිසි,ජපන්, දෙමළ ආදී භාෂා වලට පරිවරතනය කොට, මෙන්න අපේ නාට්‍යයැයි ලෝකයට හදුන්වා දෙන්නට තිබිණි.උසස් ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියක දේශයේ පරිසරය,ජන විඥානය ,හා ලෝක දෘෂ්ටිය සටහන්ව ඇති බව කිව යුතු නොවේ.පැරණි රුසියානු සමාජය හදුනා ගැනීමට ඇන්ටන් චෙකොව් ගේ හෝ ගොගොල් ගේ හෝ වෙනත් රුසියානු නාට්‍ය රචකයකුගේ කෘතියක් කියවීමවුව සෑහේ. චෙරි උයන, මුහුදු ලිහිණි, රජයේ පරීක්ෂක වැනි නාට්‍ය වලින් විහිදෙන මානව ගුණය රසය හා අනුභූතීන් කෙතරම් අරුම ද? අනෙක් රටකට ජාතියකට අයත් ස්වතන්ත්‍ර නාට්‍ය කෘති මෙන්ම නවකථා ,කෙටිකථා ආදියටද ඇත්තේ එවැනිම ශක්‍යතාවකි. උසස් නාට්‍ය කෘතිය එහි පෙළ නොතකා නිෂ්පාදිත නාට්‍ය පමණක් හුවා දක්වා උදම් ඇනීම බලවත් මෝඩ කමකි.
1959 සිට අද දක්වා නාට්‍ය උළෙලයනට ඉදිරිපත්වී එහිදී කැපී පෙනුණු නාට්‍ය රචනා කෘති පෙර කී ලෙස සංරක්ෂණය කොට තැබුවා නම් අද පරපුරට ඒවා හැදින ගෙන අලුත් අර්ථ කථනයෙන් හෝ ඒවා රග බිමට ගෙන අවුත් නාට්‍ය කලා කෙත සාරවත් කිරීමට අවකාශ තිබුණා නොවේ ද? එසේ තිබුණා නම් මොන තරම් ස්වතන්ත්‍ර නාට්‍ය කෘති රැසක් අප ජාතිය සතුව ඇද්දැයි දැන ගන්නට තිබිණි.
වසරකට වරක් නාට්‍ය උළෙල නමින් හඩ නගා කරන උත්සව පැවැත්වීමේ අරමුණ නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම නම් ,එය මෙතෙක් සිදුවී නැති බව පැවසීමට සිදුවීම  කනගාටුවට කරුණකි. වසර ගණනාවක නාට්‍ය විනිශ්චය විසින් හා උත්සව කතිතා වලින් ගොඩ නැගී ඇත්තේ කවර නාට්‍ය ප්‍රමිතියක්ද? අද දවසේ දිවයින පුරා රග දැක්වෙන (යළි යළි  සරුවට රග දැක්වෙන) නාට්‍ය  වලින් පැවසෙන්නේ එම අනර්ඝ ප්‍රමිතීන්ගේ අංග ලක්ෂණයන්ද ? පිළිතුර නැත යන්න නම්  මේ සා විශාල ජාතික ධනයක් හා ශ්‍රමයක් වැය කළේ එවැනි ප්‍රතිපලයක් ලබා ගනු පිණිසදැයි නැණවත් අය ප්‍රශ්න කරනු ඇත.
වසරේ නාට්‍ය කිහිපයක් පෙන්නා තෝරා සමිමාන ලබා දී“ ඔන්න අපි නාට්‍ය උත්සවය ඉහළින්ම කළායැයි උදම් අනමින් ජය පැන් පානය කිරීමේ අර්ථයක් නැති බව දැන් පැහැදිළිව ඇත.පරිවර්තන හා අනුවර්ථන රචනයන් පාදක කරගෙන නිෂ්පාදනය කෙරෙන නාට්‍යද ප්‍රෙක්ෂක ජනයාට බොහෝ වැදගත් වන බව සත්‍යයකි.එහෙත් අපිට හොද ස්වතන්ත්‍ර නාට්‍ය රචනා පිටපත් නැහැ කියමින් කම්මැළිකමින් කර ඇර පරිවර්තන වලට වැඩිපුර තැනක් දීම නම් අනුවණ කමකි.
පළමුව නාට්‍ය රචනා කැදවා,ඒවා විද්වත් මණ්ඩල මගින් ඉතා මැනවින් පරික්ෂා කොට හොදම රචනා තෝරා,ඒවා නිෂ්පාදනය කිරීමට උපදෙස් හා ආධාර සැපයීමෙන් ඉතා හොද නාට්‍ය බිහි කිරීමේ අවංක ප්‍රයත්නයක යෙදීමට නාට්‍ය අනුමණ්ඩලය කැප වුවහොත් මීළග වසරේදීවත් සාරවත් නාට්‍ය උළෙලක් පැවැත්වීමට අප සමත් වනු ඇත. එසේ නැතිව තව දුරටත් මෙහෙම ගියොත් අපේ නාට්‍ය කලාවට දෙවියන්ටවත් පිහිටක් වන්නට නොහැකි වනු ඇත.

Saturday, March 16, 2013

නාට්‍ය තරග සම්මාන හා අවමාන



1959 වසරේ සිටම රාජ්‍ය නාට්‍ය උළෙලක් පවත්වයි. මෙය නාට්‍ය අනුමණ්ඩල හා නිලධාරීන් වෙහෙසවී කරන වර්ෂයේ ඉහළම කාර්යය වෙයි.
1959 සිට අද දක්වා මෙම නාට්‍ය තරග හා උළෙල වලින් අතළොස්සක් වූ සම්මාන ලාභීන් පුම්බා උඩ යැවෙන අතර බහුතරයක් නාට්‍යකරැවන් අවමානයට බදුන්කොට වළපල්ලට යැවෙයි. පිම්බී උඩ යැවුණු සම්මාන ලද්දන් අතර  පුස්සන්  බහුලවූ අතර ,  අවමානයෙන් ඉවත්කොට වළපල්ලට යැවුණු අය අතර නිස්සෝද දක්ෂයෝද හිග නොවූහ.
සමස්ත නාට්‍ය උළෙලේ ඉතිහාසයේ සාරාංශය එයයි.
දියුණු නාට්‍ය කලාවත් පවතින රටවල නාමයන් සමග අපට කවදත් එකවර මතකයට එන්නේ , ඒ ඒ රටවල කීර්තිමත් නාට්‍ය කරැවන්ගේ නම් වැල හා නාට්‍ය නාමාවලියයි. සොපොක්ලිස්, යුරිපිඩිස්, ප්ලෝටස්, ෂේක්ශ්පියර්, ඉබ්සන්,ගාර්ෂියා ලෝකා, බර්ටෝල්ඩි බ්‍රෙෂ්ට් ආදී වශයෙන් නිතර කියවෙන නාට්‍ය කරැවන්ගේ නාමාවලිය කවුරැත් දනිති.ඔවුන් කවුරුද?  ලෝකයට කල්පවත්නා නාට්‍ය කෘති රචනය කළ රචකයෝ වෙති. මේ රචනා පාදක කර ගනිමින් එදත් අදත් විවිධ අධ්‍යක්ෂකවරු නාට්‍ය නිර්මාණය කරති. විවිධ නළුවෝ ඒ භූමිකා යළි යළි රග දක්වති. අධ්‍යක්ෂක (නිෂ්පාදක) හා නළු නිළියන් වෙනස් වුවත් , වෙනස් නොවන්නේ මූලික නාට්‍ය රචනයයි.එය කවදත් හදුන්වන්නේ නාට්‍ය රචකයාගේ නමිනි. උදා- ෂේක්ශ්පියර්ගේ  හැම්ලට් ,ඉබ්සන්ගේ  ඩොල්ස් හවුස් , සොපොක්ලිස් ගේ  ඊඩිපස් ,  ආදී වශයෙනි.
ඒ සම්භාව්‍ය රචනයන් උපයෝගි කරගෙන නාට්‍ය නිපදවන අදියුරුවන් හා නළු නිළියනුත් ලබන්නේ කාලීන අගයක් පමණකි. සර්වකාලීනව ඇගයෙන්නේ රචනයයි.
මේ යථාර්ථය අපේ ඇත්තෝ දනිත්ද?  නැත.1959 සිට මේදක්වා මොන තරම් උසස් ස්වතන්ත්‍ර සිංහල නාට්‍ය රචනා සංඛ්‍යාවක් බිහි වුණේදැයි කිසිවෙක් නොදනිති.දැන ගන්නට කිසිවකුටත් උවමනාවක් ඇති බවක්ද නො පෙනේ.එක් එක් නාට්‍ය උළෙලේ පළමුවැනි වටය, දෙවැනි වටය තුළදී නාට්‍ය නිෂ්පාදනයේ දුර්වලතාවන් නිසා උළෙලින් අයින්වන නාට්‍ය අතරෙහි යම් තරමකටවත් උසස් ස්වතන්ත්‍ර නාට්‍ය රචනයන්ද තිබූ බවට දන්නා නමුත්  ඒවා වෙනම ගෙන ඇගයීමටත් , සංරක්ෂණය කොට තබා ගැනීමටත් වැඩ පිළිවෙලක් යෙදුවේ මොන නාට්‍ය අනුමණ්ඩලයක් විසින් ද ?  නැත නැත.
වටිනා මැණික් ඉවත ලා ගල් වැලි ගරා ගන්නා අන්ධ බාලයන් මෙන් අප මෙතෙක් කර ඇත්තේ, ස්වතන්න්‍ර නාට්‍ය රචනයන් වළපල්ලට ඇද දමා වළ වැසීමයි. ඉතින් ලැබිය හැක්කේ කවරනම් නාට්‍ය කලා සංවර්ධනයක්ද?
“නුඹලාගේ ජාතික නාට්‍ය කරුවෝ කවරහුද?“ යි  යන පැණයට අපට දිය හැකි පිළිතුරු ඉතා සීමිතය. “එදිරිවීර සරච්චන්ද්‍ර ,දයානන්ද ගුණවර්ධන“ !  ...සෙසු බොහෝ නම් නාට්‍ය පරිවර්තකයන්ගේ හෝ අනුවර්තකයන්ගේ නම් වෙයි. ජාතියේ නමින් ලොවට හදුන්වා දිය හැක්කේ ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන් හා එමනිෂ්පාදනයන් පමණකි..         (මතු සම්බන්ධයි)
(අපේ නාට්‍ය උළෙල නිමිත්තෙනි.)

Thursday, March 14, 2013

අධිරාජ්යි වාදීන්ගේ සුබ සාධක වෙස්මුහුණ සදය සිනාවෙන් හෙළි කරන තුටු සිතින් රස විදිය හැකි .“ තටු “

පසුගිය ඉරිදා (මාර්තු 10 වැනිදා ) අපි තටු නාට්‍ය රැගෙන අලව්ව ප්‍රදේශයට ගියේ එම ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක් වන(TAILORS STORE INTERNATIONAL(PVT) LTD                                     හිමි එහි කළමණාකාර අධ්‍යක්ෂ නලින් පතිරණ ඉංජිනේරු මහතා ගේ සහ සෙසු මිත්‍ර මහත්වරුන් ගේ හා නෝනා වරුන්ගේ ආරාධනයෙන්.
ජයසේකර අපෝන්සු, අවන්ති අපෝන්සු, නිමල් යටිවැල්ල ,නිල්මිණි බුවනෙක ඇතුළු ප්‍රවීණ නළු නිළි කණ්ඩායම එහි ගිය එම අවස්ථාවේ නාට්‍ය සංවිධායක පිරිස අපව ඉතා සාදරයෙන් පිළිගත්තා. නාට්‍ය පෙන්වූයේ කර්මාන්ත ශාලාවේම වේදිකාවේ. ප.ව. 2.30  හා 6.30 දර්ශණ දෙකට බොහෝ පිරිසක් ප්‍රෙක්ෂකයින් වශයෙන් සහභාගි වී ඉතා සතුටින් සිනාසෙමින් නාට්‍ය රස විදින අයුරු දකින්නට ලැබුණා.
නාට්‍ය පෙන්වන අවස්ථාවේ දීත් එය අවසන්වී අප ආපසු පැමිණෙන්නට බස් රථයට නගින තුරුත් අපට බොහෝ ඉහළින් සංග්‍රහ කළ සංවිධායක පිරිස බෙහෙවින්අගය කළේ නාට්‍යයෙන් විහිදෙන වටිනා යථාර්ථය හා ඉතා ඉහළින් ඉන් ලැබෙන වටිනා රසාස්වාදය හා මුසුවූ සරල විනෝදාස්වාදය පිළිබදවයි. තරුණ හා කුඩා ළමුන් ඉතා ඉහළ විනෝද රසාස්වාදයක් වින්ද බව ඔවුන්ගේ කථාබහෙන් හා හැසිරීමෙන්  පැහැදිළිව දකින්නට තිබුණා.
ජයසේකර අපෝන්සු ඉංග්‍රිසි පැළැන්තියේ  නිවාස පාලිකාව ලෙස රගන ස්ත්‍රී භූමිකාව ගැන ප්‍රේක්ෂක සමූහයාගේ ඉහළම ප්‍රතිචාරයමෙහිදී ද සුපුරුදු ලෙසම දකින්නට ලැබුණ අතර හමුවට පැමිණ කථා කළ අයද තම සතුට හා විශ්මය පළ කරනුද දකින්නට ලැබුණා.සෙසු රගපෑම්ද ප්‍රෙක්ෂක සිත්සතන් පැහැර ගත් බව නාට්‍ය අවසානයේ පැවැති ආචාරයේදී ( Curtain call )  හිදී නැගුණු ප්‍රේක්ෂක අත්පොළසන් නාදයේ තීව්‍ර බවින්ම පැහැදිළි වූවා.
අවුරුදු 35 ක් පුරා අඛන්ඪව නැවත නැවත ප්‍රේක්ෂක ඉල්ලීම මත ලක්ෂ ගණනක ජනතාවක් රසවත් කළ තටු නාට්‍ය අදටත් පෙර ලෙසම ජීවමානව පවතිත්තේ එහි ඇති සරල විනෝදාස්වාදය හා හරබර වින්දන ගුණය නිසා බව බොහෝ දෙනාගේ අදහසයි.
නාට්‍ය දර්ශණය අවසානයේ පැවැති කාලීන සාකච්චා වේදි තම අදහස් දැක්වූ ප්‍රවීණ නාට්‍යවේදි පාලිත ලොකු පෝතාගම කිව්වේ කාලයක් යන තුරු නිතර නිතර ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට වේදිකා නාට්‍යකට වාසනාව ලැබෙන්නේ එම නාට්‍යයට පාදක කර ගන්නා නාට්‍ය රචනයේ උසස් බවත්, අති දක්ෂ ආකර්ශණීය රගපෑම් වල මහිමයත්, අධ්‍යක්ෂණයේ ප්‍රසස්ථ බවත්,සකලාංගයෙන් පරිපූර්ණ නිෂ්පාදන කෞශල්‍යයත් යන කරුණුවල ප්‍රාතිහාර්යයෙන් බවත්ය,
තවත් බොහෝ කලක් යන.තුරු තටු නාට්‍ය නවතාවයෙන් නැරඹිය හැකි නාට්‍යයක් වීම නියත බව බොහො දෙනාගේ අදහසයි, වරක් නොව හත් අට වරක් විවධ රංග ශාලාවලදී තටු නැරඹූ රසිකයින් නිතර තටු රග දැක්වෙන විට නැවත නැවත රැස්වන බව පැහැදිළිව ඇති කරුණක්.තමන් තරැණ කාලයේ නරඹා රස වින්ද මෙම නාට්‍ය බලන්න අද ඒ අය එන්නේ , වැඩිහිටි දෙමව්පියන්වී තම දරැවනුත්  කැටුවයි. ඒ තම දරුවන්ටත් එම නාට්‍ය පෙන්වීමේ දැඩි උවමනාවෙන්
සුදු අධිරාජ්‍ය වාදීන් නිසා අනාථ තත්වයට පත්වූ අනාථ දැරියන් රැසකට එහි පාලිකාව සුබසාධනයේ මුවාවෙන් කරන රැවටිල්ල හදුනා ගන්න මේ අපුරැ නාට්‍ය මගින් ප්‍රේක්ෂකයාට අත්දැකීමක් ,ලැබෙන බව බොහෝ දෙනාගේ අදහසයි,හාස්‍යෙයන් නමුත් තටු නාට්‍ය ප්‍රේක්ෂකයාට පිරිනමන්නේ ආනන්දය හා ප්‍රඥාවයි.