Wednesday, September 23, 2009

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන - ආකාස කුසුම්

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන
ආකාස කුසුම්

—ආකාස කුසුම් - ලාංකික ජන ජීවිතයේ උප සංස්කෘතියක් තුළ සැරිසරන පොදු නො වූ ස්ත්‍රිය පිළිබඳ වූ සිනමා කවියකියි එය නරඹා සිනමා රඟහලින් නැඟිට එන පළමු මොහොතේ දී ම කිසියම් රසිකයෙකුට සිතේ නම්, එය හේතු යුක්ති සහිත සිතිවිල්ලකි. මෙම සිනමා කෘතිය කේන‍ද්‍රීය වශයෙන් සන‍්ධ්‍යා රාණි නමැති ස්ත්‍රිය පිළිබඳ ආත්ම විවරණය යි. සන‍ධ්‍යා රාණි - දශක දෙකක ට එහා අතීතයෙහි වැජඹි සිනමා තාරකාවියකි. වර්තමානයෙහි ඇය නටඹුන් වූ සිය අතීත ජීවිතය සිතින් යටපත් කරන්නට වැර දරමින් සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නට වෙර දරන කාන්තාවකි. එහෙත් අතීත ජීවිතය ඇය ට ද හොරා ඇය තුළ තවමත් හොල්මන්කරයි. ලාංකික ජන ජීවිතය තුළ සිටින සාමාන්‍ය කාන්තාවකගෙන් ඇය වෙනස් වනුයේ, ඇය මුහුණපාන බොහෝ ගැටළු සිනමා නිළියක වීමේ ප්‍රතිවිපාක වශයෙන් ඇය අත්දකිනු ලබන ඒවා ම වනබැවිනි. අනෙක් අතට සන‍ධ්‍යා රාණි තුළ උණුසුම් දරු සෙනෙහසක් හා පසුතැවිල්ලක් මතුකෙරෙමින් ඇයගේ චරිතයෙහි අවසාන භාගයෙහි දී ඇයට හමුවන —ප්‍රියා නමැති එක ම දියණිය ද අපගේ පොදු ජන ජීවිතයෙහි ඉතා දුලබව දක්නට ලැඛෙන කැරෝකේ සමාජශාලා සේවිකාවකි. ප්‍රියා මුහුණපාන අත්දැකීම් ද අප සමාජයෙහි ස්ත්‍රිය ඒ අයුරින් ම අනුභවකරන්නේ නො වේ. එහෙත් පිරිමියා නිසා වධ බන්ධනයට ලක්වන පොදු ස්ත්‍රිය ද ඇය තුළ ජීවමාන වෙයි. අනෙක් භූමිකාවක් වනුයේ ටෙලි නාට්‍ය නිළිය යි. ඇය වත්මනෙහි මුහුණ පාන තත්ත්වයන් සන‍ධ්‍යා රාණිගේ අතීත දිවිය පිළිබඳ සංකේතයක් බඳු ය. ඇය ද මුහුණපාන්නේ ඇයගේ ක්ෂේත්‍රයට අදාළ ව පැන නඟින විශේෂ අවස්ථාවන්ට ය. සන‍ධ්‍යා රාණාගේ බාල නැඟණිය (කෞශල්‍යා) ලාංකික ජන ජීවිතයට අයත් සාමාන්‍ය ස්ත්‍රියකවන අතර ඇය මුහුණපාන්නේ සිය පවුල නඩත්තු කිරීම පිළිබඳ පොදු ආර්ථීක හා සාමාජීය ගැටළුවට ය. සන‍ධ්‍යා රාණි ට ද අව්‍යාජ ජීවිතයේ බර හා වගකීම රැගෙන එනුයේ මෙම නැගණිය ගේ චරිතය විසිනි. ආකාස කුසුම් විවරණය කරන්නේ ඛෙහෙවින් විශේෂිත වූ ක්ෂේත්‍රයක ලාංකීය ස්ති‍්‍රය බව පැහැදිලි ය. අධ්‍යක‍ෂවරයා ගේ අරමුණ ද එය යි.
ආකාස කුසුම් සන‍ධ්‍යා රාණිය ගේ චරිතය කේන්ද්‍රකොට ගත් ඇයගේ ආත්ම විවරණය යි. මෙහි ආරම්භයක සිට කූට ප්‍රාප්තිය දක්වා දිවෙන කතා පුවතක් නැත. මෙහි ඇත්තේ ඇය ගේ වර්තමාන ජීවිතය හා අතීත නටබුන් අතර සැරිසරණ මතක සටහන්වල එකතුව යි. එහෙයින් ආකාස කුසුම් සාම්ප්‍රදායික සිංහල සිනමා කෘතියක ට, බොහෝ ඔබ්බට යන ප්‍රශස්ත නිර්මාණයක් බවට පත් වෙයි. සන‍ධ්‍යා රාණි ගේ අතීත තාරකා ජීවිතය ද දිස්වනුයේ ශෝක මුසු අපූර්ව වූ උත්ප්‍රාසයක් ද දනවමිනි. එලෙසින් අධ්‍යක‍ෂවරයා ප්‍රයත්න දරා ඇත්තේ සිනමා ප්‍රේක‍ෂක ජනතාව ගේ සිහින ලෝකය අරා වැජඹෙන, වැජඹුණු තාරකා ගුණයෙන් අනූන වූ නිළියන් ගේ දිලිසෙන ජීවිතයේ අභ්‍යන්තරයේ පවතින්නා වූ ඛේදනීය යතාර්ථය මතුපිට ට ගෙන විහිදා දැක්වීම යි. එයින් ප්‍රේක‍ෂකයා දැනුවත් ව ඥාණනය වනුයේ පොදු ස්තී‍‍්‍රත‍්වය ට වඩා විශේෂ ‍‍‍‍කෙ‍ෂ්ත්‍රයක ස්ති‍්‍රය පිළිබඳ ව යැයි සටහන් කළ හැකි ය. ස්වකීය දරුවා සැමියා ට පරිත්‍යාග කොට සිනමා ලොවට වෙන් වී යන සන‍ධ්‍යා රාණි ගේ ජීවිතය පටන් ගැන්මේ දී ම මෙම විශේෂත‍වය ආරම්භ වෙයි.
ප්‍රසන්න විතානගේ —ආකාස කුසුම් සිනමා කෘතිය පබඳන්නේ එහි තිර නාටක රචනයේ සිට ම වනබව සිනමා කෘතිය විකාශනය වන අයුරින් පැහැදිළි ය.
අඳුරු වැසි දිනෙක ගෙමිදුලක හුදකලාව ම නවත්වා ඇති කලූ පැහැති කාර් රථයක් වැස්සෙන් තෙමෙන සමීප රූපයක් මොහොතක් දෙකක් තිරයෙහි දිස් වේ. රථය මත පතිතවන වැසි දියෙන් තෙත්වන රථයෙහි ඉදිරි කවුළුවත්, පැති කණ්නාඩියත් ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ අඳුරු ශෝකාකූල හැඟීම් සමුදායකි. එම හැඟීම් සමඟ ප්‍රේක‍ෂක දෑස ට ළං කරන්නේ, වැසි අඳුරින් පිරුණු - ගෙදර ඉස්තෝප්පුවක හිඳ ලියුමක් දෙස අවධාන යොමුකොට සිටින සන‍ධ්‍යා රාණිගේ මධ්‍යම රූප රාමුවකට යි. ගෙවී ගිය කාලය විසින් ඇගේ මුහුණෙහි සටහන් කොට ඇත්තේ දුක්-දොම්නස, හුදෙකලාව, අපේක‍ෂාව සනිටුහන්කරන ඉරි - කළු පැල්ලම් හා නෙත් බැල්ම යි. මෙම රූප රාමුව සිනමා කෘතියෙහි ආරම්භය මෙන් ම, ඒ සන‍ධ්‍යා රාණිගේ හුදෙකළා - දොම්නස් සහගත අනිවාර්යයෙන් වියැකී යන ජීවිත ඉරණම නිසඟව ප්‍රේක‍ෂක මනැස තුළ සංකල්පීය ව සිතුවම්කරන ලද පද වැලක් වැනි ය. ඉස්තෝප්පුවේ වහළෙන් වැහි දිය බේරෙයි. සන‍ධ්‍යා රාණි ශෝකය ද හද රඳවාගෙන ඒ දෙස බලා සිටී. ඇය ආධ්‍යාත්මයෙන් ගරා වැටෙන්නී ය. සන‍ධ්‍යා රාණිගේ භාවාත්මක මුහුණ වැසි අඳුර හා වැහි දිය දහර ත්, තෙමෙන මෝටර් රථය ත් දක්වමින් අධ්‍යක‍ෂවරයා සන‍ධ්‍යා රාණිගේ භූමිකාවේ ගැඹුරු පදාසයක් රූපමය කාව්‍යයක් ව චිත්‍රණය කරයි. මෙහි දී අඳුර, ආලෝකය, වැසි දිය, මෝටර් රථය, වැසි අඳුරින් පිරුණු ඉස්තෝප්පුව හා සන‍ධ්‍යා රාණිගේ මුහුණ ද ලියුම ද එක් වී ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ එම භූමිකාව පිළිබඳ ඛේදනීය වූ සිතිවිලි සංකීර්ණයකි. කිසියම් ලයකින් කිසියම් කාලයක් තුළ තිරයෙහි දිස්වෙන කෙටි රූපාවලිය සමෝධානය වීමෙන් අධ්‍යක‍ෂවරයා නඟන්නට සිතූ භාවය ත්, අර්ථය ත් නිරූපණය වෙයි. කවියා පද එකතු කිරීමෙන් නව අරුතක් නංවන්නාක් මෙන්, තමා පමණක් පූර්වයෙහි අදහස් කළ හැඟීම් සහ අර්ථය නංවන්න ට මෙහි දී අධ්‍යක‍ෂවරයා දක්වන්නේ ඉතා විශිෂ්ට නිපුණත‍වයකි. එ හෙයින් ආකාස කුසුම් අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවියක් යැයි හැඟෙන සිතිවිල්ල යුක්ති සහගත ය.
තම ලොකු නැඟණිය කැනඩාවේ සිටිමින් තමා වෙත එවන ලද සුහද ඇරියුම සහිත ලිපිය කියැවීමෙන් මද අස්වැසුමකින් සුසුම් හෙලන සන‍ධ්‍යා රාණි ආපසු හැරී ගෙතුළට යන්නේ යළි තමා පෙළෙන තනිකම පිළිබඳ බිය හා කාංසාව වෙත ළං වෙමිනි. ඇය තම යටපත්කරන ලද අතීතය සහිත හුදෙකලා ආධ්‍යාත්මය මොහොතක ට සනහන බළලා වෙත ට ආහාර බඳුනක් ළංකරනු ඉක්බිතිව දිස් වේ. සන‍ධ්‍යා රාණිගේ අඳුරු ඇතුළු හද ගැඛෙහි තවත් පැතිකඩක් වෙත මෙම රූප රාමුවෙන් අධ්‍යක‍ෂවරයා එල්ලකරන්නේ විනිවිද යන ආලෝක කදම්බයකි. තරුණ බළලා සන‍ධ්‍යා රාණිගේ තනිකම ත්, ජීවිතාශාව ත්, සමාජ සම්බන්ධතාවයන් කෙරෙහි දක්වන ඇල්මත් මූර්තිමත් කරන්නක් වැනි ය. සන‍ධ්‍යා රාණි ට මේ සමාජය අතහැර දමා යා නො හැක.
එදිනෙදා ආර්ථීක තත්වය රඳා පවත්වාගනු වස් ඇය කරන්නේ, අතුරුපස සාදා කඩවලට යැවීම යි. මේ කාර්යය ඇය කරන අයුරු අධ්‍යක‍ෂවරයා සීරුවෙන් කලබලයෙන් තොර ව සවිස්තර ව කැමරාව ට නඟයි. ධ්වනිපූර්ණ - අර්ථවත් කෙටි සංවාද ද භාවිත කෙරෙමින්, සන‍ධ්‍යා රාණියගේ දෛනික හැසිරීම රූපගත කෙරෙන ආකාරය ප්‍රේක‍ෂක මනැස ඒ වෙත රඳවා ගැනීමේ පණවත් ආකර්ෂණයකින් යුක්ත ය. සමස්ත සිනමා කෘතිය පුරා ගලායන මෙම රූප රිද්මය, සන‍ධ්‍යා රාණිය පිළිබඳ බාහිර කාරණා මෙන් ම ඇගේ ඇතුළු ආධ්‍යාත්මයෙහි අඳුරු ඉසව් කෙරෙහි අප මනැස ස්පර්ශය කිරීම ට අවශ්‍යය මෙවලම් සකස්කොට ඉදිරිපත් කෙරෙයි. සිය රූප රචනය තුළ සැලසුම්කළ අන්තර්ගතය, ජීවන දෘෂ්ටිය, ළයමානය හා බැඳුණු සිද්ධි දාමයත් භාවයෙන් හා අර්ථයෙන් නිසඟව සිනමා කෘතියට දක්වන දායකත‍වය ඉතා ප්‍රබලය.
මාලනී ෆොන්සේකා රංගධාරිනිය ඇතුළු ව දිල්හානි ඒකනායක, නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු හා ජයනී සේනානායක අධ්‍යක‍ෂවරයා විසින් තිරනාටකයෙහි පටන් සැළසුම් කළ සිද්ධි මාලාවට තම විශිෂ්ට සහභාගීත‍වය දක්වමින්, අධ්‍යක‍ෂවරයාගේ සංකල්පනය ජීවමාන කරනුයේ සිනමා කෘතියෙන් දනවන්න ට තිඛෙන භාවමය ගති හා අර්ථය ධ්වනය වන්නට අවකාශ සලසමිනි. ප්‍රවීණ මෙන් ම ප්‍රතිභා සම්පන්න, විචක‍්ෂණ රංග විඥානයකින් සපිරි මාලනී, දැඩි සංයමයකින් යුක්ත ව ඖචිත්‍ය වූ - විශ්වාසනීය ඉරියව් හා සාත්වික අභිනයෙන් මුහුණේ ගැඹුරු හැඟීම් මුදවා හරිමින් කරන ප්‍රතිනිර්මාණ රංග කාර්යය අති විශිෂ්ට බව ට අන්තර්ජාතික සම්මානයෙන් පවා සාධක සහිත ව සමිමත ව ඇත. නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු දිල්හානි ඒකනායක හා ජයනි සේනානායක ද අධ්‍යක‍ෂවරයාගේ තිරනාටකයෙහි පබැඳි අවස්ථාවනට හෘදයාංගම ලෙස සහභාගී වෙමින් දක්වන භාවපූර්ණ රංගනය අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවිය ප්‍රේක‍ෂක සිත්-සතන්වලට සාර්ථක ලෙස ධ්වනය කරන්න ට තරම් ප්‍රබල ය, ව්‍යක්ත ය.
ආකාස කුසුම් සිනමා කෘතියෙහි කැමරාකරණය ඛෙහෙවින් ව්‍යක්ත ය. සන‍ධ්‍යා රාණි ඇතුළු ස්ත්‍රී චරිතයනගේ අභ්‍යන්තර සිතිවිලි පවා සූචනය කෙරෙන සමීප රූප හා මධම සමීප රූපවලින් යුක්ත රූපරාමුවලින් ඛෙහෙවින් සමන්විත ය.
සමස්ථ චිත්‍රපටය පුරා කැමරාව ප්‍රේක‍ෂක සිත්-සතන්වල සමාධිය බිඳ නො දමමින් දැඩි සංයමයෙන් භාවිත කෙරෙන්නේ නියමිත කලාත්මක වින්‍යාසයකිනි. කැරෝකේ සමාජශාලාවල ඇතුළත රාත්‍රී දර්ශනවල පවත්නා විසිතුරු ආලෝකධාරා උපයෝගීකොටගෙන ඇත්තේ සඟවා ගත් රහස් ඇති ගුප්ත මායාමය ලෝකයක ස්වභාවය සිහිගැන්වෙන පරිද්දෙනි.
සමස්තයක් වශයෙන් ගත් කල ආකාස කුසුම් සිනමා කෘතිය, එක්තරා සමාජ පැතිකඩක දිලිසෙන ස්ත්‍රී ආත්මයන්ගේ සැප - දුක් චිත්‍රණය කෙරෙන ආත්ම විවරණයක් සේ සැළකිය හැකි ය. මෙහි දී සන‍ධ්‍යා රාණි තම පසුතැවිලි සහිත නටඹුන් ජීවිතය තුළින් ම ප්‍රතිනිර්මාණය කරගන්නා නව ජීවිතය වූ දියණියගේ දරුවා තම තුරුලට ගැනීම වූ කලි - සන‍ධ්‍යා රාණි වැනි චරිතයනට එල්ල කළ සුභවාදී වූ ආලෝක ධාරාවක් වැනි ය. ලෝකයේ බිහි වූ තාරකා ගුණැති නළු, නිළි ඇතැමෙකු මත්ද්‍රව්‍ය ආදිය ගෙන පසුතැවිල්ල නැතිකරගන්නට ගොස් පරවී ගිය අයුරු ත්, එ වැනි ඇතැම් කෙනෙකු ළමයින් උදෙසා, අනාථයන් උදෙසා ආදී වශයෙන් කැපවීමෙන් ජීවිතයේ සැනසුම ලැබූ අයුරු ත් නිතැතින් ම අප සිහියට නැගේ. කෙලෙස හෝ ප්‍රසන්න විතානගේ නමැති කෘතහස්ත - ප්‍රතිභා සම්පන්න සිනමා අධ්‍යක‍ෂවරයාගේ ව්‍යක්ත තිර නාටක රචනයෙහි ද, විචක‍ෂණ සිනමා නුවණෙහි ද කෞශල්‍යය මැනැවින් විදහාපාන ආකාස කුසුම් සිනමා කෘතිය අප සිනමාවට කිහිප ආකාරයක මෙහෙයක් ඉටුකරන බව පැහැදිළි ය. සිනමාව හා සම්බන්ධ තාරකාවන්ගේ සිහිනමය වූ මායාමය ජීවිතය විනිවිද ගොස් ඔවුන්ගේ සැබෑ වූ ජීවිතය සොයා ගන්නට ප්‍රේක‍ෂක අප ට ආකාස කුසුම් දොරටු විවර කරන්නේ ප්‍රථම වරට ය. එය සිනමාවෙන් සිනමා ජීවිතය ගවේෂණය කිරීමකි. එසේ ම සිනමා රූපී බවින් යුක්ත ව ජීවිතානුභූතියක් අත්විඳින්න ට ප්‍රේක‍ෂකයනට මනා අවස්ථාවක් සලසා දෙන උසස් ප්‍රයත්නයකි. එය හුදු කතාන්දරයකින් තොර ව සිනමානුභූතියක් මුදවා හරින්නට ගත් දැනුවත් ප්‍රයත්නයකි. එ ලෙස ම සංවිධිත තිර රචනයක ගැබ් කළ සිද්ධිමාලා හා හැඟීම්, උපායශීලී දක‍ෂ අධ්‍යක‍ෂණයෙන් ඉතා විශිෂ්ට ලෙස භූමිකා රංගනයෙන් මුදවා හරින දුලබ ගණයේ සිනමා කෘතියක් ද වෙයි. එනයින් ආකාස කුසුම් ප්‍රේක‍ෂක අපගේ නුවණෙහි හා රස වින්දනයෙහි නිම්වළලූ පුළුල් කරන්නේ යැයි පැවසිය හැකි ය.

එඩ්වින් පීරිස්

Sunday, August 9, 2009

තහනම් ගහේ ගෙඩි

ලිංගිකත්වය තහනම් කළ යුතුයැයි සිතන්නෝ සදාචාර සමාජවල බහුලව සිටිති.ආහාර ගැනීම, නින්දට යෑම, මෙන්ම ලිංගික ක්‍රියාවන්ට පෙළඹීම මූලික මනුෂ්‍ය අවශ්‍යතාවයන් බව උගත්හූ පෙන්වා දෙති. සියලු ජීවීන් තම වර්ගය බෝකිරීමේ ක්‍රියාවලියක යෙදෙන අතර මිනිසා ඒ සදහා ස්ත්‍රී පුරුෂ රමණය හෙවත් සංවාසය උපයෝගි කර ගන්නේ ස්වභාවිකවමය. පුරැෂයා සහ ස්ත්‍රිය මැවූ දෙවියන් වහන්සේටවත් ඒ මිනිසුන්ගේ ලිංගික ක්‍රියාව නැවැත්වීමට බැරිවූ බව බයිබලයෙහි සදහන් වෙයි. බුදුනු සාහිත්‍යයෙහිද ලිංගික ආශාව නිසා ගැහැනුන් සහ පිරිමින් සිදු කළ බොහෝ මිනිස් හැසිරීම් විවිධාකාරයෙන් විස්තර කරමින් ජීවිතය මේ යැයි පෙන්වා දීමට උත්සාහ ගෙන තිබෙනු දැකිය හැකිය. එම නිසා මිනිස් ජීවිතය හා සම්බන්ධ පැතුම්, බලාපොරොත්තු, ක්‍රියාකාරකම්, ප්‍රශ්න ගැටලු යනාදී සියල්ලම ලිංගිකත්වය මත පවතින බව කීම බොරැවක් වන්නේ නැත. මිනිසකුගේ ලිංගික උත්තේජනය බැලීමෙන්, ඇසීමෙන් , දැකීමෙන්, ස්පර්ශයෙන් හා සිතීමෙන් මිනිසා තුළ අසුරු සැණින් පැන නගී. මෙය පාලනය කරන්නට මිනිසා තමන්ගේම උඩු සිතෙහි පවත්නා ශිෂ්ටාචාරය, සදාචාරය, සිරිත්විරිත්, නීති රීති, දඩුවම් ආදිය පිළිබද හැගීම් උපයෝගී කර ගනී. ඉහතකී හැගීම් වලින් ලිංගිකාශාව යටපත් කර ගැනීමට අපොහොසත් ස්ත්‍රිය හෝ පිරිමියා සැහැසි ලෙස හෝ ලිංගිකාශාව තෘප්ත තර ගැනීමට මාන බලයි. ඒසදහා නොයෙක් උපා උපක්‍රම යොදා ගනී. බොහෝ කාම අපරාධ ද සිදුවන්නේ එවිටය. ඒ නිසා යම්කිසි දෙයකින් ලිංගිකාශාව වැඩෙන්නේ නම් ඒදෙය මිනිසාට අහිතකර විය හැකිවන්නේ ඉන් බොහෝ වැරදි සිදුවන බැවිනි. යම් කලා හෝ සාහිත්‍ය කෘතියක් මිනිසාගේ කාම තෘෂ්ණාව අවුස්සන්නේ නම් එම කෘතිය සමාජයට අහිතකර බැවින් එය තහනමට ලක් කිරීම සාධාරණය.එසේම යම් කලා සාහිත්‍ය කෘතියකින් මිනිසාගේ කාමාශාව අවුස්සන්‍ නේ නැතිව ලිංගිකත්වයේ සැටි අදාළ දර්ශන සංයමයකින් යුතුව දර්ශනය කරමින් පවා ජීවිත විවරණයක් ලෙස පෙන්වන්නේනම් එය සමාජයට ජීවිතාවබෝධය සපයන කෘතියක් බැවින්එය සුදුසු ලෙස වර්ග කොට සමාජගත කිරීම කළ යුතු යුතු කමකි. අපගේ ඇතැම් ජාතක කතාවල ලිංගිකත්වය විවරණය කෙරෙන්නේ ඉහත සදහන් පරිදි සංයමයෙන් යුතුව මිනිසා නැණවත් කරවන පරමාර්ථයෙන් යුතුවය. එම නිසා නිර්මාණ කෘතිය ලිංගික දර්ශන දක්වමින් කරන්නේ හැගීම් ඇවිස්සීමද නැතිනම් සංයමයකින් යුතුව යථාර්ථය ගෙනහැර පෑමද යන්න විමසා බලා සුදුසු ලෙස කටයුතු කිරීම පාලක මණ්ඩල වල තදබල යුතුකම හා දැඩි සමාජ වගකීමයි. සාහිත්‍ය කලා කෘති තෝරා දෙන මණ්ඩල වලට පත් කළ යුත්තේ කෘතියක ගුණ අගුණ තේරෙණ පුද්ගලයන් මිසක වෙනත් සුදුසුකම් ඇති අන්ධ බාලයන් නොවෙ. එසේ නැති නම් හිසේ වසා සිටින මැස්සා පළවා හරින්නට පියාගේ හිසට පොරවෙන් කෙටූ පුතා මෙන් කටයුතු කෙරෙන්නට වාරණ මණ්ඩල වලට ඉඩ කඩ ඇති විය හැකිය.

Tuesday, August 4, 2009

හෙට දවසේ සිනමාවෙත් පරණ කතන්දරය? ජූලියා julia

යෞවනයේ පසුවන චරිත් අබෙසිංහ ගේ කුළුදුල් නිෂ්පාදනය වීමත් එය තිරගත කිරීමෙදී දෙන ලද දැවැන්ත ප්‍රචාරක සත්කාරයත් එම චිත්‍රපටයෙහි ප්‍රේක්ෂකයින් බවට පත්වීමට අපට දිරිදුන් කරුණු ය.කිසියම් ප්‍රමාණයක යහපත් සිනමා වින්දනයක් හා නැවුම් අත්දැකීමක් ලැබ ගැනුම අප ගේ අරමුණ විය. එහෙත් ජුලියා ප්‍රේක්ෂක යා‍ෙග් උසස් බලාපොරොත්තු යම් තරමකින් හෝ බිද දැමූ චිත්‍රපටයක් බව එය නරඔානිමාවත්ම අපට දැනෙන ප්‍රබලම තම්පනයයි. තරුණ ජවයෙන් යුක්ත සිනමා නිමවුම් කරුවන්‍ ගේ ආගමනය හෙයින් එය ඉත සිතින් පිළි ගැනුමට බලා සිටි සමස්ත ප්‍රේක්ෂක ජනතාව ගේ බලාපොරොත්තු ඉටු කළා නම් සිනමාවෙ දියුණුව පතන සැමගේ සතුටට හේතු වන්නට තිබිණි.
නවීනතම කැමරා තාක්ෂණය හා ශබිද තාක්ෂණය සාර්ථක අයුරින් යොදා ගත් ජූලියා හී කැමරාකරණය මගින් අප නෙතට හසුකර දෙන දෙස් හා විදෙස් දර්ශනාවලිය අපූර්ව චමත්කාර යෙන් යුක්තය. යොවුන් ජීවිතයේ චමත්කාරයත් සැහැල්ලු බවත් සැහැල්ලු බවත් දනවමින් මනා ලෙස වර්ණයෙන් සිත්තම්වන සජීවි රූප රාමු පෙළ ප්‍රසංසා කළ හැකි තරමට අප සිත් වසග තරවයි.එසේම භුමිකාවන්ගේ රංගනය ගලා යෑමද සමෝධානික ව්‍යක්ත සංස්කරණයෙන් උද්දීපනය වන අයුරුද අපගේ රසවිදීමට ලබා දෙන්නේ උසස් රුකුලකි. නදීෂා හේමමාලී. චරිත් අබෙසිංහ. සසන්ති ජයසේකර. හා සමිපත් ශ්‍රී රෝෂාන්. දුර්වල තිර කතාව විසින් තමන් වෙත පවරන ලද නොගැඹුරු වූ චරිත පාත්‍රයන් දුෂ්කර ලෙස ගොඩ නැගීමට ආයාසකර ප්‍රයත්නයක් දරති.ඹවුන්ගේ රංගනයේ සාධනීය මානයන් ඇති අතර චරිත තුළ ජීවත් වීමෙදී ඹවුන් දක්වන කුසලතාව බෙහෙවින් අගය කළ හැකිය. සංගීතයද තාරුණ්‍යයේ හැගීම්වල ඇති උද්වෙගකර බවත් තේමාවෙ පවත්නා අභ්‍යන්තර ඛෙදනීය ස්වභාවයත් දැනවීම පිණිස තාක්ෂණය උපයෝගි කරගෙන සංයෝජනය කොට ඇති අයුරු අගය කළ හැකිය. මෙම චිත්‍රපටයෙහි අනුසාංගික අංග බොහොමයක් ප්‍රසස්ථය. එහෙත් තම කුසලතා උපරිම කලාත්මක බවකින් යෙදීමට ශිල්පීන් ගෙන ඇති උසස් ප්‍රයත්නය අපතේ ගොස් ඇති සැටියක් පෙනෙන්නේ ඹවුන් ඒ සියල්ල කැපකොට ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නට උපරිම ප්‍රයත්නය දරන්නේ දුර්වල තිර පිටපතකට ගොනුවූ නො ගැඔරු සුලබ කතා පුවතකට පමණක් වීම නිසාය. මෙහි අන්තර්ගත කතා පුවත මීට දශක දෙක තුනකට පෙර පටන් දමිළ සිනමාවෙත් හින්දි සිනමාවෙත් හම ගැසූ වටිටෝරුගත කතා පුවතට සමානය. එයද ඉදිරිපත් වන්නේ නොගැඔුරු බයස්කොප් කතා පුවතක් ලෙස පමණය.භූමිකාවන්ගේ බාහිර අභ්‍යන්තර ලක්ෂණ යම් තරමකින්වත් පැසුණු තත්‍ය විලාසයකින් නිරූපණය කිරීමක් මෙහි සිදු නොවෙයි. නව විලාසවලින් සැරසුණු නව යොවුන් රංග ශිල්පීන් විසින් නව්‍ය පරිසරයක තබා මේ රගන්නේ පරණ ප්‍රතික්‍ ෂේපිත කතාන්දරයක් බව ප්‍රේක්ෂකයාට චිත්‍රපටයේ මුල පටන්ම වැටහෙන්නට පටන් ගනියි.කරලියද්ද බණ්ඩාරගේ චරිතය රග දක්වන ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහ හඩින් කෑගසා කරන ගෝෂාකාරී සංවාදයත්,එක පිට එක සිද්ධවන සිද්ධි සන්නිපාතයත් හමුවේ තමන්ට හුරු අභ්‍යන්තර ගති සොබා රූපණය කෙරෙන රංගනයක් කරන්නට අවස්ථාව නැතිව අසරණවන අයුරුත් දිස්වෙයි.මෙම චිත්‍රපටයෙහි රොබින් ප්‍රනාන්දු ,වීණා ජයකොඩි, හා ශ්‍රියන්ත මෙන්ඩිස් ට මතු පිටින් පෙනී සිටිනවා හැරෙන්නට හොද රංගනයක් කරන්නට අවස්ථා ගොඩ නැගී නැති බව පෙනේ.අන්තර්ගතය ගොඩ නගන්නට උපයොගි කරගන්නා සිද්ධි දාමය සහිත අවස්ථා බොහොමයක්ම අතාර්කික ස්වභායෙන් යුතුව රස නිෂ්පත්තියෙහි අසමත්ව පවතී. සිය නැගණිය කෙළෙසා ඇයව මරණයට ළං කරවන්නට කටයුතු කළ මිතුරාගෙන් පළි ගැනීමෙ තිර අදිටනින් ඔහු ලුහු බැද ලංකාවට එන දේව් දිල්රූ මරා දැමීමට ගත් තීරණය ලංකාවෙදී වෙනස් කරන්නේ පිළි ගත නොහැකි කරුණක් මතය. ජූලියා වෙනුවෙන් එවැනි ප්‍රබල චිත්ත විපර්යාසයක් සිදු කිරීමට තරම් ඇය හා ඔහු අතර ගොඩ නැගුණු ගැඹුරු අවබෝධය හෝ මානුෂීය බන්ධනය තුමක්දැයි යන්න ප්‍රේක්ෂක සිතට විමතියක්ව පැන නැගේ. එවැනි අවස්ථා බහුලව ඇති බැවින් මෙම චිත්‍ර පටය සුලබ ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයකින් ඔබ්බට නොයයි. මිතුරා මරා දැමීමට ගත් ප්‍රබල තීරණය මෙහිදී වෙනස් කරන්නේ පිළිගත නොහැකි කරුණක් වෙනුවෙනි.ජුලියා වෙනුවෙන් එම පරිත්‍යාගය කිරීමට තරම් ජුලියා හා ඔහු අතර ඇතිවූ ගැඹුරු අවබෝධය හෝ මානුෂීය බන්ධනය කුමක්දැයි පැහැදිළි නැත. එය විකාශය කොට ඇති ආකාරයෙන් ප්‍රේක්ෂක සිතට එම වෙනස් වීම පිළි නොගැනෙන බව පැහැදිළිය.එවැනි අවස්ථා බහුලය.දුර්වල විකාශනයක් සහිත කතා පුවතක් තෝරා ගැනීම අධ්‍යක්ෂවරයාගේ ප්‍රබලම දුර්වල තාවක් බව පැවසිය යුතුව ඇත. සිනමාව එහි කැමරාකරණය,අධි තාක්ෂණ ශබිද ,මන බදනා දර්ශන පසුබිම්,ප්‍රසස්ථ රූප කෝණ,උසස් අංග රචනය ,ඇදුම් පැළදුම් නළු නිළියන් හා සංගීතය ආදී අංගයන්ගේ ඖචිත්‍යවූ සමායෝජනය සදහා පමණක් නම් ජූලියා හොද සිනමා භාවිතයකි.මෙම සදහන් කාර්යයන් දැනුවත් ව්‍යක්ත ස්වරූපයකින් ගොඩ නැගී ඇත.එහෙත් මේ සියල්ලේ එකතුවෙන් ප්‍රේක්ෂක වින්දනයට තුඩුදෙන ආනන්දනීය නැවුම් අන්තර්ගතයක් නොමැතිනම් ඉහතකී අංගයන්හී ප්‍රසස්ථ භාවයෙන් කවර ප්‍රයෝජනයක් සිදුවේද? සිනමාවට ආගමනයවන අපේ අභිමානවත් යොවුන් පෙළ ගැන ප්‍රේක්ෂක අප තුළ ඇත්තේ ආඩම්බරයකි.ජූලියා නිර්මාණ ප්‍රයත්නයේ නිෂ්පාදක චරිත් අබේසිංහ හා අධ්‍යක්ෂ සම්පත් රෝෂාන් ගැනත් අප ආඩම්බරවන්නේ සිංහල සිනමාව වෙනුවෙන් ඔවුන් ගත් අභීත පියවර ගැනයි.මතුවටත් ඔවුන්ගේ සහභාගිත්වය ප්‍රේක්ෂක ජනතාව බලාපොරොත්තු වෙයි. ජුලියා කෘතියෙන් ඔවුන් විදහා දැක්වූ දියුණු නව සිනමාවක් කෙරෙහි තමන් තුළ ඇති භක්තියත් හැකියාවත් කවුරුත් අගය කරති.එම විශිෂ්ට නැඹුරුව එලෙසම රැක ගනිමින් හෙට දවසේ වඩාත් ප්‍රබල නවමු අන්තර්ගතයක් මගින් තම දුර්ලතාව ජය ගනිමින් ප්‍රේක්ෂක ඇස සිත හා නැණැස සනහනු ඇතැයි බෙහෙවින් බලාපොරොත්තු තැබිය හැකිය.

එඩ්වින් පීරිස්.

Monday, July 13, 2009

ශ්‍රී ලාංකික සිංහල දමිළ සිනමාව

ශ්‍රී ලාංකික දමිළ සිනමාවක්

ශ්‍රී ලාංකික ජාතිකත්වය සමස්ත ජනතාව තුළ වර්ධනය කිරීමට ප්‍රබල මාධ්‍යයක් වශයෙන් සිනමාවට ඇති හැකියාව උපයෝගි කොට ගත හැකි බව කවුරුත් පිළිගන්නා කරුණකි. මෙහිදී රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට කළ හැකි සේවය අපමණය.
ශ්‍රී ලාංකික දමිළ විත්‍රපට බිහි කිරීමටත් එමගින් සකල ලෝකවාසී දමිළ ජනතාවට මෙන්ම ශ්‍රී ලාංකික සිංහල දමිළ ජනතාවට ඔවුනොවුන් පිළිබද සුහදතාව ආදරය විශ්වාසය හා අවබෝධය පුලුල් කිරීමටත් චිත්‍රපට සංස්ථාව මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති වීම කනගාටුවට කරැණකි. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව‍ට කල හැකි දේ..

1.ශ්‍රී ලාංකික සිංහල දමිළ පොදු ජන ජීවිතය අව්‍යාජව නිරූපණය කෙරෙන දමිළ සිනමාවක් සදහා ලංකාවෙ කලාතරුවනට ඇරයුම් කිරීම, ඉදිරිපත්වන අයට දිරිදීමි ලබා දීම
2.විදේශවල සිටින සිංහල දමිළ ජනතාවට ශ්‍රී ලාංකික සිංහල හා දමිළ චිතුපට නරඹන්නට අවස්ථා ලබාදීමෙ ක්‍රම සමිපාදනය.

3.දකුණු ඉන්දීය චිත්‍රපට මෙරටට ගෙන්වීම හුවමාරැ ක්‍රමයකට සිදුකරමින් ලාංකික දමිළ චිත්‍රපට අනිවාර්යයෙන්ම ඉන්දියාවට යැවීමෙ ක්‍රම සමිපාදනය කිරීම.

කලාකරැවන් මෙ සදහා තම හඩ අවදිකළ යුතු කාලයයි .

ඉහත සදහන් වැඩ පිළිවෙල මගින් ශ්‍රීලාංකික අනන්‍යතාවක් සහ අභිමානයක් සමස්ත ජනතාව තුළ වර්ධනය වනු ඇත. එසේම ශ්‍රීලාංකික ජනතාවට ඔවුනොවුන් හඳුනා ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් ඉක්මන් පහසු අවස්ථාව උදාවනු ඇත.

Monday, June 22, 2009

“එකමත් එක රටෙක....” දුර්ලභ ප‍්‍රතිභාවක නව ප‍්‍රවේශය.

අධ්‍යක්‍ෂවරයා තම ප‍්‍රථම සිනමා නිර්මාණය සඳහා අරමුණු කොටගෙන ඇත්තේ කුමක් ද? මෙතෙක් සිංහල සිනමාවෙහි නුදුටු විරූ නවමු කතා පුවතක් සිනමාත්මකව ඉදිරිපත් කිරීම හා එමඟින් සිංහල සිනමාවට තවත් නව තේමාත්මක ප‍්‍රවේශයක් විවර කිරීමත් ය. මේ සඳහා සනත් ගුණතිලක තේමා කරගන්නේ සර්වකාලීන මෙන් ම සර්ව භෞමික ධ්වනි වටිනාකමකින් යුක්ත අති සියුම් කතා පුවතකි. මෙම කතා පුවත පහසුවෙන් අවබෝධ කොටගත හැකි සුන්දර මතුපිට පෙළක් හා, එය විනිවිද යන අති සංකීර්ණ යටි පෙළක් සහිත වීම අගය කළයුතු විශේෂ තෝරා ගැනීමකි. එ හෙයින්ම මෙය සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයා පවා ආනන්‍දය ට පත් කළහැකි කෘතියක්වන අතර ම; ලොව කාල, දේශ පවා ඉක්මවා යමින් මානව සබඳතාවයේ නුදුටු, අති ගැඹුරු සත්‍යතාවක් දෙස අවලෝකනය ලබා දී ජීවන ප‍්‍රඥාව සපයන උසස් කෘතියක් බව ප‍්‍රත්‍යක්‍ෂවන කරුණකි. එ හෙයින් අධ්‍යක්‍ෂවරයා තම කුළුඳුල් සිනමා නිර්මාණය උදෙසා උසස් ලෙස තම අරමුණ මෙහෙයවා ඇති ආකාරය ගැන පේ‍්‍රක්‍ෂකයා ගේ පැසසුම හිමිවීම සාධාරණ බව කිව යුතු ය.
තමා සතු ලිංගිකාකර්ෂණය සියුම් ලෙස මහා බලයක් කරගත් කාන්තාවක් සහ එම කාන්තාව හා බැඳුණු ලිංගික පාශය නිසා ම ඇය ගේ සුවච, කීකරු ගැත්තන් බවට පත් ව දීනවන පෞරුෂයන් දෙකක් ද උපයෝගී කරගනිමින් සිනමාකරුවා අප තුළ රෝපණය කරන්නේ මිනිස් ජීවිතය පිළිබඳ සනාතන ධර්මතාවයක් පිළිබඳ ඥාණය යි, ප‍්‍රබල අත්දැකීම යි.
බෞද්ධ සාහිත්‍යයෙහි එන ජාතක කතාවන්හී ඉහත කී සත්‍යතාව විවරණය කෙරෙන කතාවස්තු කිහිපයක් ඇත. අධිරාජයන් හා සිත හික්ම වූ බලගතු තවුසන් පවා ලිංගික ආකර්ෂණයේ බලයෙන් ඇය තමා හමුවේ දීනයන් බවට පත් කොට අසරණ කළ අයුරු ඒවායින් නිදසුන් වෙයි. මේ විශ්වයෙහි කොතැනක හෝ කවර දා හෝ පවත්නා මේ සත්‍ය ය හෙවත් යථාර්ථය "එකමත් එක රටෙක....” සිනමා කෘතිය මඟින් පේ‍්‍රක්‍ෂක හද විස්මයෙන් කම්පනය කරවමින් ඥාණනය කරන බව එය නරඹන අපට ප‍්‍රත්‍යක්‍ෂ වෙයි. සමාජයෙහි අපහාසයට හා පිළිකුළට ද නිරන්තර ව භාජනය වන්නා වූ අහිංසක මිනිසකු පිළිබඳ මතුපිට කතා පුවතින් - ඊට වඩා බොහෝ ගැඹුරට ගිය යටි පෙළක් විදාරණය වෙයි. ලිංගික බැඳීම වූ කලි මේ ලොව පවත්නා ගැඹුරු ම මානව සම්බන්ධතාවයි. මිනිසා දෛනික ජීවිතයේ දී නිරන්තර ව සොයා ඇවිදිනුයේ මේ සබඳතාව ප‍්‍රධානකොට ගත් සෙසු මානව සම්බන්ධතාවන් ය. එහෙත් හැම මිනිසාට ම හිතකර වූ පතන සබඳතාව ලැබෙන්නේ නැත. තම රූපය නිසා හෝ වෙනත් ආර්ථික සමාජයීය හෝ සංස්කෘතික අඩුපාඩුකම්, වෙනස්කම් නිසා හෝ තමා ආකර්ෂණය වී ලබාගන්නට පතන්නා වූ උත්තරීතර සබඳතාවය නොලැබී දුකට පත්වන්නෝ බොහෝ වෙති. මේ නොලැබීම හා එයින් හටගන්නා බියකරු හුදෙකලාව මිනිසා මෙලොව දී නිරන්තරව පීඩාවෙන් පෙළෙන බලවේගයක් වෙයි. "එකමත් එක රටෙක....” විරූපී මිනිසා පෙළෙන්නේ මේ පොදු ඛේදවාචකයෙනි. තරුණිය හා නීතිවේදී තරුණයා අතර සබඳතාවය හා සිප වැළඳගැනීම් වැනි ලිංගික හැසිරීම් දෙස, තම කාමරයේ ජනේලය ඔස්සේ සැඟවී බලා සිටින මිනිසා විඳින්නේ, මිනිසෙකුට විඳින්නට අමාරු දැඩි චිත්ත පීඩාවකි. ඒ චිත්ත පීඩාව විසින්, ඔහු ගේ දිවිය ඊර්ෂ්‍යාවෙන් ද කෝපයෙන් ද, සෝකයෙන් ද මුසපත් කරවයි. දඩබ්බර තරුණිය දකින්නට පෙර ඔහු සේවය හරිහැටි කර අනුන්ගේ සබඳතාවයන් කාරුණිකව ඉල්ලා සිටින්නෙකි. මල් කෙල්ල ඔහුගේ මනෝ ලෝකය පුබුදුකළ සිහිනමය පේ‍්‍රමයයි. ඇය ගේ අව්‍යාජ සෝකී බැල්ම හා අනුකම්පාව පිළිඹිබු කරන වත ඔහුගේ සෞන්දර්යවත් හැඟීම් පුබුදුකරවයි.
තම බටනළාව වයමින් ඔහු සිහිපත් කරන්නේ ඇයව යි. ඔහු ඇයට තම පෙම පවසන්නට පැකිළෙයි. එය ඔහු ඇයට හඟවන්න ට තැත්කරන්නේ ව්‍යංගයෙනි. එනම් මල් නොගෙන නිකම් මුදල් දීමෙනි. මේ කරුණ මල් කෙල්ලට නොතේරෙන ප‍්‍රහේළිකාවක් වන බව ඇගේ බැල්ම අපට කියාපායි.
දඩබ්බර කාමාශක්ත තරුණිය ගේ වත හා බැල්මට ගොදුරුවන ඔහු ඇයට වසඟවෙයි. ඇය තම ජීවිතයේ පංගුකාරිය කරගැන්ම ඔහුගේ සිහිනය වෙයි. තමා හා සමීප ව සිටින සුවච කීකරු බැල්ල මෙන්, මේ තරුණිය තමා සමීපයෙහි සිට, තමා සතපනු ඇතැයි ඔහු සිතයි. එහෙත් ඇයගෙන් සුපුරුදු අපහාසය ලබන ඔහුගේ සිතිවිලි ඔහු වෙලාගෙන ඔහුට සංකීර්ණ වූ සංතාපයක් ගෙන දෙයි. මේ නිසා ඔහු සමාජය හමුවේ වෙනස් ව පෙනෙන්නට වෙයි. විකෘති හැසිරීම් ඇත්තෙක් වෙයි. සදාතනික මනෝවිද්‍යාත්මක හේතු සාධක පෙළගස්වමින් මේ මිනිසාගේ චරිතය සිනමා කෘතිය තුළ ගලායන අයුරු අතිශයින් සිත්ගන්නා සුළු ය. සිනමාරූපී බවින් යුක්ත ය. මේ නිසා මේ භූමිකාව සිංහල සිනමාව තුළ නැවුම් ය. අපූර්වත්‍වයෙන් යුක්තය. චිත්ත අභ්‍යන්තරයෙහි සැඟවී පැවතෙමින් මෝරන්නා වූ හැඟීම් දහරාව නිරූපණය කිරීම තුළින් මෙම චරිතය ළං වෙතොත් ළං වන්නේ නිධානය සිනමා කෘතියේ විලී ගේ චරිතය අභ්‍යන්තරික මනෝදහම නිරූපණයට පමණි.
දෙබසින් තොරව දෘශ්‍ය රූපාවලිය තුළින් මිනිසා ගේ චිත්තාභ්‍යන්තරය නිරූපණය කිරීම බෙහෙවින් සිනමානුරූපී ය. මෙහි දී මෙම භූමිකාව රූපණය කරන සනත් ගුණතිලක දක්වන්නේ රූපණ ශිල්පියෙකුට අතිශයින් අභියෝගාත්මක දුෂ්කර කාර්යයකි. මෙම භූමිකාව සුවිශේෂී ශාරීරික ලක්‍ෂණ හා අභයන්තර මනෝභාව වලින් සමන්විත ය. මුඛයෙහි විරූපී බව - දකුණු අතෙහි ඇදය - සිරුරේ පිටුපස පෙදෙසෙ හි අසාමාන්‍ය කුදු ලක්‍ෂණය - යනාදී මෙම ශාරීරික ලක්‍ෂණ අඛණ්ඩව සමබරව තබාගැනීමට නළුවා තම සිහිය එකවර මුඛය, දකුණු අත හා පිටුපස පෙදෙස යන තුන් තැනෙහි එකලෙසම දිගට ම පිහිටුවා ගතයුතු වෙයි. අනතුරුව අදාළ දර්ශනාවලියෙහි අන්තර්ගතය සිහියට ගතයුතු වෙයි. එහි මනෝභාව නිවැරදි ව රූපණය සඳහා සිහිය මෙහෙයවිය යුතුය. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව රූපණ විද්‍යාව දත් අය මැනැවින් වටහාගනු ඇත. කඩවසම් නළුවකු වූ සනත් මේ සියල්ල සඳහා වෙස් ගැන්වීම් අංග රචනය* තුළින් අඩු සහයක් ලබා මෙය කරන බව දකිනවිට එම ”අභ්‍යාස විශිෂ්ට” ප‍්‍රයත්නය අගය කළයුතු තරම් විස්මය දනවන සුළු ය.
මේ සිනමා කෘතියේ අනෙක් මූලික භූමිකාව වන්නේ, තරුණිය ගේ චරිතයයි. එම චරිතයද මතුපිටින් දිස්වන්නා වූ කතා පුවතෙහි චරිතය මෙන් ම ඒ හරහා ඉතා ගැඹුරට විහිදෙන ප‍්‍රබල යටිපෙළ භූමිකාවක් ද වෙයි. කතා පුවතෙහි අප දකින තරුණිය තමා සතු - පිරිමින් දපනය ලා ගැනීමෙහි පවත්නා නිසඟ හැකියාව උච්ච මානයක් කරගත් හිතුවක්කාරියක් බව ප‍්‍රකට වෙයි. මේ හිතුවක්කාර බව ගෙන එන්නේ කුඩා කල සිට ය. කුඩා කල ඇය ගේ හිතුවක්කාර දඩබ්බර ගතිවලට පියා පුළුටු මුහුණින් නිහඬ ව සිටි අතර, මව උදාසීන වූවා ය. ඇයට සුරතල් බසින් ප‍්‍රතිචාර දැක් වූ යේ නැනී වරිය පමණකි.* එලෙස ම මේ තරුණිය අපූර්ව වූ රූසපුවක් ඇත්තියකි. ඇයගේ මුහුණෙහි හා සිරුරෙහි යාන්තම් ගෑ සායමක් සේ කාමකාන්ත බව දිස් වේ. ඒ ඇය දැඩිලෙස සඟවාගත් කාමාශක්ත හැඟීම් ඇත්තියක බව කියාපාන සාධකයකි. ඇය හා තරුණයා ලිංගික ඇසුරට වැටෙන්නේ ද ඇයගේ මේ අනුබලතාව ඉඟියෙන් ලබමිනි. ලිංගික ඇසුරෙන් පසු ඇය තරුණයාට කියන දේ ඇගේ චරිතයෙහි සැඟවුණු බොහෝ ගති විදහාපායි. ඇය ”පිරිමියෙකුට යටවීමට සිදුවීම” තම අභිමානයට පහරක් සේ සළකන්නියකි. ඒ නිසාය ඇය වරින්වර ස්ති‍්‍රයක් වශයෙන් තමා ද සිරුරෙන් ද ශක්තිමත් බව තරුණයාට ඔප්පු කරන්නට හදන්නේ. මේ ප‍්‍රයත්නයම විසින් තරුණයාට මාරක අනතුර සිදු කරයි. ස්තී‍්‍රන් නූතනයේ මතුපිටින් දක්වන්නා වූ මෙන් ම අතීතයේ දී සිත යටින් දැක්වූ පුරුෂාධිපත්‍යය විරෝධය මැගේ මේ හැසිරීම්වල සංකේතයයි. තරුණියගේ භූමිකාව යටිපෙළක් වශයෙන් රූපණය කෙරෙන්නේ ස්ති‍්‍රයක සතු අයස්කාන්ත බවේ මහිමයයි. එය පුරුෂ බලය ඉක්මවා මැඩගෙන ගොස් එය පරඬැලක් බවට පත්කළ හැකි තරම් ප‍්‍රබල බව සිනමා කෘතිය අපට කියා දෙයි. තරුණයාත් - වැඩිහිටි මිනිසාත් යන දෙදෙනාම ඇයගේ ලිංගික ආකර්ශනය නැමැති පාශයෙහි බැඳී දුර්වලයන් බවට පත්වූ අයුරු දකින පේ‍්‍රක්‍ෂකයා මුළුමහත් මිනිස් සංහතිය තුළ පිරිමියා හා ගැහැණිය පිළිබඳ පවත්නා අවබෝධයේ නො දුටු යථාර්ථයක් ප‍්‍රත්‍යක්‍ෂ කරමින් පුළුල් ඥාණාවබෝධයක් ලබන්නේ මිනිස් දහම පිළිබඳ දැඩි කම්පනයකට පත්වෙමිනි. කෘතිය අවසානයේ පේ‍්‍රක්‍ෂකයා නැගී සිටින්නේ මේ කම්පනය විසින් දනවනු ලබන විස්මය ද රැගෙනය.
නිරෝෂා පෙරේරා රංගන ශිල්පිනිය ට ඇයගේ භූමිකාව ප‍්‍රතිනිර්මාණය කිරීමේ දී ඇය සතු රූපකාය සහ වතෙහි ස්වාභාවය බෙහෙවින් පිහිටවන බව අපට ප‍්‍රත්‍යක්‍ෂ වේ. ඇය ගේ හැඟීම් සගවාගත් මුහුණ කියවීම පහසු නැත. සිනමා කෘතිය පුරා මේ බව දැනේ. ඇය සිතන්නේ කුමක් ද යන්න වැටහෙන්නේ කි‍්‍රයා කළා ට පසුව ය. මෙහි මතුපිටින් දිස්වන කාන්තාව ට වඩා ව්‍යක්තව පවතින්නේ යටිපෙළෙ හි භූමිකාව ය. එහි ඇය පොදු ස්තී‍්‍රත්‍වයයි. නිරෝෂා ගේ මුහුණේ පැහැය පවා මේ පොදු බවට රුකුල් දෙයි. අනවශ්‍ය ඉස්පිලි, පාපිලි නැතිව ඇය ගේ රංග රචනාව ප‍්‍රවේශම් සහිතව ගොඩනැගීමට ඇය දරා ඇති උත්සාහය සාර්ථකය. අහවල් කාලයේ අහවල් රටේ හිටිය ගැහැණිය යන්න වෙනුවට පොදු ස්තී‍්‍රත්‍වය විදහාපෑම මඟින් මෙම රංගනය අභිරාමවත් ය.
සනත් ගුණතිලක තිරනාටක රචකයා ප‍්‍රංශ ජාතික එමිල් සෝලාගේ කෙටි කතාව ඇසුරින් එහි භූමිකාවන්ගේ බාහිර අභ්‍යන්තර ගති ලක්‍ෂණ ප‍්‍රබල යටිපෙළක් ධිවනිතවන ලෙස ගෙත්තම්කර ඇති අයුරු ප‍්‍රශස්ත ය. විරූපී මිනිසාගේ දෛනික ජීවිතය කුහුල මුසු කරමින් ඒකාකාරී බවින් ද යුතුව එහි නවමු හැඟීමෙන් නැරඹිය හැකි ලෙස ගොඩනඟා තිබීම ඇගයිය හැකි ය. රූපාවලිය චරිතයන් හි අභ්‍යන්තර හැඟීම් එළිදරව්වන ලෙස පෙළගැන්වීම ද මනා ලෙස ඉටුකර ඇති දුෂ්කර කාර්යයකි.
අධ්‍යක්‍ෂවරයා ලෙස තමා නිරූපණය කළ චරිතය මෙන්ම සෙසු චරිත නිරූපනය ද මෙහෙයවා ඇත්තේ අන්තර්ගතයේ ගැඹුර ගැන මනා අවබෝධයකිනි. එලෙසම කතා පුවතෙහි පසුබිම ලෙස ලාංකීය ජන ජීවිතය පිළිබිඹු නොකර කඳුකර පරිසරයක් තෝරා ගැනීම ද ඊට අදාල ඇඳුම් පැළඳුම් භාවිත කිරීම ද තේරුමක් සහිතව කළ බව පෙනේ. කාලය - දේශය නොහඟවන ඒ ඉක්මවා යන සනාතන දහමක් මෙම සිනමා කෘතියෙන් ඉදිරිපත් කරන බැවින් ඊට අනුබල දෙන ලෙස ඉහත කී අංග තෝරා ගැනීම ද අවබෝධයෙන් කළ බව ප‍්‍රත්‍යක්‍ෂ වෙයි. "එකමත් එක රටෙක....” යන නමින් ද ඔහු කරන්නේ එම සනාතන බව තහවුරු කිරීම යි. පසුබිම ලෙස ලාංකීය පරිසරය යොදාගත්තා නම් තේමාව ට හානිවන පරිසරයක් ඇතිවීමට ඉඩ තිබෙන බව අධ්‍යක්‍ෂවරයා කළින් ම වටහාගෙන තිබීම යහපත් ය. සංගීතය ද - විශ්වීය ගති ලක්‍ෂණ සහිත සංකල්පනා මුසු කරවීමෙහි සමත් ය. එනයින් තේමාවේ සාර්වති‍්‍රක බව අපූරු ලෙස රැකගෙන තිබෙන බව පේ‍්‍රක්‍ෂක අපට අවබෝධ වේ.
සිනමා කෘතිය මුල පටන් අගට නැරඹීමේ දී එහි රූපාවලියෙහි ආලෝක වාතාවරණය පේ‍්‍රක්‍ෂකයා තුළ සෞන්දර්යවාදී චිත‍්‍රපටයක් නැරඹීමේ දී ඇතිකරවන හැඟීම් බිහිකරවීම ට සමත් ය. විරූපී මිනිසා - තරුණයා හා ස්ති‍්‍රය යන තිදෙනාගේ මේ ජීවිත ඛේදාන්තය නිරූපණයේ දී රූපරාමුවල පවත්නා දීප්තිය හා පසුබිමෙ හි පවත්නා අධි සුන්දරත්වය සිනමා කෘතියෙහි කලාත්මක සංයෝජනය ට පරස්පරව ඇති බව අධ්‍යක්‍ෂවරයා කල්පනා කටයුතුව තිබිණි. මෙය මෙම චිත‍්‍රපටයේ සම්භාව්‍ය ලක්‍ෂණ උදුරා දැමීමට යම් තරමකින් ඉවහල් වී ඇති බව කල්පනාකාරී පේ‍්‍රක්‍ෂකයා ට අවබෝධ වේ.
සමස්ථයක් වශයෙන් ගත් කළ "එකමත් එක රටෙක....” වූ කලී ප‍්‍රතිභාසම්පන්න අධ්‍යක්‍ෂවරයෙකුගේ පහළවීම සනිටුහන් කරන, මිනිස් ජීවිතය පිළිබඳ ලොමු දැහැගන්වන කල්පනාවෙන් අප පුබුදුවා - නව ඥානයක් අත්කර දෙන්නා වූ නවමු ආනන්දයක් ප‍්‍රදානය කරන දුර්ලභ නව පිටුවක ප‍්‍රවේශය බව නොමසුරුව සඳහන් කළ හැකි ය.

-එඩ්වින් පීරිස්-

Tuesday, May 19, 2009

සොයුරනි

ලාංකික දමිළ සොයුරනි, සොයුරියනි
බසයේදී හෝ දූම්රියේදී හෝ
රෝහල් බංකුවේදී හෝ
මහ මගදී හෝ
කවර ගනුදෙනුවකදී හෝ
අපි අපේ ඡාතියක් ගැන නොසැලකුවෙමු
ජාතිවාදී අරමුණු ඉස්මතු නොකලෙමු
ඉදිරියටත් ජාති භේද නොසලකන්නෙමු
ඔබත් ඔබේ ජාතියට
වෙනම බංකුවක් හෝ
වෙනම ඉඩක් හෝ
වෙනම ධජයක් හෝ
නොඉල්ලන්නට පරෙස්සම් වුවහොත්
අප දෙදෙනාටම එකම ධජයක් යට
මේ එකම බංකුවේ හොඳටම ඉඩකඩ තිබෙනු ඇත
සැනසීම තිබෙනු ඇත

අවි ගත්තෝ අවියෙන් නසිති

ඔහුගේ නමෙහි තේරුම "හිරු" යනුයි.‍
එහෙත් ඔහු ආලෝකය දුන් හිරු නොවේ.
ඔහු විෂ සුලඟින් මෙලවුණු චන්ඩවූ, පරුෂවූ, අශික්ෂිත "ගිනිගොඩක්" ම විය.
ගිනිගොඩ නිවා දැමිණි.
බාහිර බලපෑමි නමැති විෂ සුලඟ තවමත් හමයි.
එයද නුදුරෙහි නිමාවනු ඇත.
ඔහුගේ චරිතයෙන් ඔහු ලොවට පෙන්වා දුන්නේ කුමක්ද...?
අනාගත ඉතිහාසයේ පරිච්ඡේදයක් පාසා ඔහුගේ නම ගර්හාවට භාජනය වනු ඇතැයි
මම කියමි.
එසේ නොවේ යැයි කියන කිසිවකු හෝ සිටියහොත්
ඔහුගේ අදහස් සාධාරණ දැයි විනිශ්චය කරන්නට ලෝකය සැදී පෑදී සිටී.
එහෙත් ඒ ගිනිගොඩ සාධාරණ යැයි කිහන්නට
කිසිවකු මේ මිහිපිට නැතැයි මම සිතමි.

Saturday, May 16, 2009

නිර්මාණ රසවිඳීම හා විචාරය

යම්කිසි නිර්මාණයක් කියවලා හරි, නරඹලා හරි එය විචාරය කරන්න කලින් උත්සාහ කරන්න ඕන ඒ කෘතිය රසවිඳීමයි. රසාස්වාදය තමයි රසිකයාගේ මූලිකම උවමනාව. අප චිත්‍ර පටයක් බලන්න යන්නේ විචාරය කරන්න නෙමෙයි රසවිඳින්නයි. ඊට පසු නිර්මාණ කෘතිය තමන්ට අත්කර දූන් ආශ්වාදනීය අත්දැකීම ගැන හැඟීම තමයි අප විචාරයක් හැටියට පිටකරන්නේ. අපූරුයි! හරි ෂෝක් චිත්‍ර පටිය! ආෂික්! විශිෂ්ටයි! ආදී වචන වලින් රසිකයා තමාගේ දැනුමේ හැටි හැටියට අර ආශ්වාදනීය අත්දැකීම ගැන සඳහනක් කරනවා. මේ තමයි රසිකයාගේ අව්‍යාජ මූලිකම විචාරය. ඒ වගේම තමන් බැලූ චිත්‍ර පටය හරි නාට්‍ය හරි තම රසවින්දනය ප්‍රබෝධ නොකලානම් කියනවා හරිම සවුත්තුයි! ජරාවක්! කිසිම වැඩකට නැහැ! ආදී වචන. මේ කියන්නේ එම කෘතිය තමාව වින්දනයට පත් කලේවත් තමාට අපූර්ව අත්දැකීමක් ලබා දීමට සමත්වුනේවත් නැති බවයි. ‍
යම් කිසි නිර්මාණ කෘතියක් රසවිඳින්න හා එහි අත් දැකීම උකහා ගන්න කෙනෙකුට ඒ මාධ්‍ය ගැන දැනුමක් හා අභ්‍යාසයක් තියෙන්න ඕනි. ලෝකයේ තාබෙන හූඟක් උසස් චිත්‍රපට බලා අධ්‍යයනය කල අයෙකුට අපේ චිත්‍ර පටයක හොඳ නරක හඳුනා ගන්න බොහෝම ලෙහෙසියි. ඒත් දුර්වල චිත්‍රපටයක් හෝ ජීවිතයේ පලමු වරට බලන තැනත්තාට එම කෘතිය දැනෙන්නේ අපූර්ව ආනන්දනීය අත්දැකීමක් හැටියටයි. මොසාර්ට් (Mozart) ගේ හෝ බීතෝවන් (Beethoven) ගේ හෝ සංගීතයක් රසවිඳින්න නම් ඒ සංගීතය ගැන මනා දැනීමක් තියෙන්න ඕනි. මේ දැනුම නැති අයකුව මෙම සංගීතය අහන්න වාඩි කෙරෙව්වොත් සමහර විට ටික වේලාවකින් ඔහු නිදාගනියි. නැත්තන් නැගිටලා යයි (ප්‍රතිචාර)
විචාරය කියන්නේ තමන් නිර්මාණ කෘතියක් රස වින්දනය කල අයුරු ප්‍රකාශ කිරීමයි. මෙන්න මේ මේ කරුණු නිසා මේ කෘතිය තමාව ආනන්දයට පත්කල හෝ නොකල බවත් ඒ ඔස්සේ තමාට ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ලැබුණු හෝ නොලැබුණු බවත්, කෙනෙකුට සවිස්තරව විග්‍ර කරන්න පුලුවන්නම් ඒක තමයි උසස් විචාරය. එහිදී එම මාධ්‍යට අදාල ශිල්පීය වචන, න්‍යාය ආදිය ගැන තම දැනුම උපයෝගී වෙනවා. එවැනි විචාරයක් කියවා බලන දැනුමෙන් අඩු අයකුට පවා අර කෘතිය ගැන පෙර නොතිබූ දැනුමක් පවා ඇතිවෙනවා. උසස් විචාරය කියන්නේ නිර්මාණ කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීම වගෙ නිර්මාණාත්මක කාර්යයක් යැයි හඳුන්වන්නේ ඒ නිසයි. "විචාරකයෙක් වෙන්න කලින් හොඳ රසිකයෙක් වෙන්න ඕන". ඒ සඳහා දැනුම හා සතතාභ්‍යාසය ඕන. ඊට පසු කෘතියක් රසවිඳිනකොට තමා තුලින් මතුව එනවා කවර කරුණු නිසාද මේ කෘතිය උසස් වන්නේ හෝ පහත් වන්නේ හෝ කියන අදහස්. ඒ අදාල හේතු සාධක තමයි හොඳ විචාරයක සඳහන් වන්නේ. එසේ නැතිව කියන්නන්වාලේ කීම හෝ ප්‍රචාරයට රැවටීමෙන් හෝ වෙනත් හේතු නිසා හෝ "මේ කෘතිය විශිෂ්ටයි" "මේ කෘතිය අවර ගණයේ එකක්" යනාදී වශයෙන් නිගමනය විතරක් ගෙන හැර පෑම උගත් විචාරකයාගේ ලක්‍ෂණයක් නෙවෙයි. ඒ වගේම හේතු සාධක සහිතව නිර්මාණ කෘතිය "විශිෂ්ටයි" කිව්වත් "පහත්" යැයි කිව්වත්කමක් නැහැ. විචාරකයාට සාධාරණ හේතු මත ඒ කවර නිගමනයක් හෝ ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවා. ඉතින් එවැනි විචාර කියවන්න පුරුදුවුනාම ඕනෑම රසිකයකුගේ රස විඳීමේ හැකියාව වර්ධනය වෙනවා. විචාරයක් කියවලා ඒ අනුව නිර්මාණ කෘතිය දිහා නැවත බලා එම විචාරයේ කරුණු සත්‍ය දැයි පරීක්‍ෂා කර බලන්න රසිකයා පුරුදු වුනොත් රසිකයාගේත් නිර්මාණ මාධ්‍ය වලත් දියුණුවක් ඇතිවෙන්න පටන් ගන්නවා. එයින් කෘතීන් පිළිබඳව තමන්ගේම සාධාරණ මතයක් ගොඩනගා ගැනීමට රසිකයාට හැකියාව ලැබෙනවා.

නිර්මාණ කෘතියක් විචාරය කරීමේදී පහත සඳහන් කරුණු විමසා බැලීම වඩා පලදායක බව ජර්මන් ජාතික මහා කවි Goethe විසින් දක්වා තිබෙන බව පොත් පත් වල සඳහන් වේ.

  1. නිර්මාණ කරු කරන්නට උත්සහ දරා ඇත්තේ කුමක්ද?
  2. ඔහු එය කෙතරම් හොඳින් ඉටු කොට ඇත්ද?
  3. එවැනි නිර්මාණයක් කිරීමේ අර්ථයක් ති‍බේද?
කෘතියක් රස විඳිමින් ඉහත කරුණු විමසා බැලීමෙන් ප්‍රමාණවත් විචාරයක් ගොඩනැගෙනවා. එසේ නොමැතිව කිසිම නිර්මාණ කෘතියක් ගැන තම "නිගමනය" පමණක් ප්‍රකාශ කිරීම විචාරය නොවේ.

ආලෝකය සහ අඳුර

"ප්‍රදීපාගාරයෙහි ආලෝකය එහි ඇතුලට නොවේ. එයින් පිටතටයි"

සිනහව

මිනිසා සතුටට නගන සිනහව
මිනිසා දුකට නගන සිනහව
මිනිසා බයට නගන සිනහව
මිනිසා කැමැත්තට නගන සිනහව
මිනිසා අකමැත්තට නගන සිනහව
මිනිසා උපහාසයෙන් නගන සිනහව
මිනිසා අපහාසයෙන් නගන සිනහව
මිනිසා ද්වේශයෙන් නගන සිනහව
මිනිසා දයාවෙන් නගන සිනහව
මිනිසා ලැජ්ජාවෙන් නගන සිනහව
මිනිසා උපේක්‍ෂාවෙන් නගන සිනහව
ආදී වශයෙන් මිනිසාගේ සිනහව තරම් සංකීර්ණ අරුත් ඇති මානව ක්‍රියාවලියක් තවත් කොහිද?
සිනහවේ අරුත් දන්නෝ සිනහවට සිනානොමසෙති
මේ ඔබ නගන්නේ කුමන සිනහවක්ද?

Monday, May 4, 2009

නිර්මාණ කෘතියක භව්‍ය - අභව්‍ය බව පිළිබඳ අදහසක්

යම්කිසි කෘතියක් කියවා හෝ නරඹා ඔබ ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා විය හැකිය. "අපෝ ඒ කතාවේ කිසිම ඇත්තක් නෑ, ඒ කිසි දෙයක් මේ ලෝකේ සිදුවෙන්න බෑ. එය හරිම අභව්‍යයි"..........
අභව්‍යයි කියා ඔබ අදහස් කරන්නේ "කිසිදා සිදුවිය නොහැකි- අහඹු" යන තේරුමයි. ස්වභාවිකව යම් නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී රසිකයාට ඇදැහිය නොහැකි අස්වාභාවික යමක් ඉදිරිපත් වේ නම් එවිට විශ්වසනීයත්වය නැතිවේ. එය ස්වභාවික කෘතියේ ගුණ කෙලෙසී යාමක් වේ. එහෙත් කලාවේදී යථාර්ථය එළිදරව් කිරීමට ස්වභාවිකත්වය පමනක් ප්‍රමාණවත් නොවන බව වැටහුණු කල නිර්මාණ කරුවෝ ස්වභාවිකත්වයෙන් තරමක් ඈත් මෑත්ව බලන්නට වූහ. ස්වභාවික අයුරින් සිතුවමක් කරමින් සිටි චිත්‍ර ශිල්පියා එහි නොගැඹුරු බව ගැන සිතා ස්වභාවිකත්වය වෙනස් කලා යැයි සිතමු. (Abstract) සිතුවමක් නරඹමු. එහි පෙනෙන කාන්තාවකගේ ඇසක් ඇගේ පපුව මැද ඇත. අනෙක් ඇස අත්ලෙහි ඇත. මෙය අභව්‍යයි. එහෙත් විමසිලිමත් රසිකයා එම සිතුවමේ වඩා ගැඹුරු අර්ථයක් සොයා ගනී. දැන් ඔහු අභව්‍යත්වය ගැන කතා නොකරයි.
අභව්‍යබව හෝ භව්‍යබව පළිබඳ තවත් යමක් කිව හැකිය. ඈත අතීතයේ භාරතයේ ලියැවුණු රාමායණය නමැති ග්‍රන්ථයේ එන රාවණා නමැත්තා දඬුවෙන් සෑදූ අහස් යානාවකින් ලංකා පුරයේ සිට සාගරය තරණය කොට දඹදිවට ගොස් සීතා නමැති කුලඟන පැහැරගෙන ආවේ යැයි කියන පුවතක් වේ. රාමායණය ලියැවුණු යුගයේ එය අභව්‍ය පුවතකි. එහෙත් අද එය සිදුවිය හැක්කකි.
සබ්මැරීනය සොයා ගන්නට පෙර කෙනෙකු මුහුද යට යාත්‍රාවකින් ගියේ යැයි ලිව්වේ නම් එය අභව්‍ය ඇදැහිය නොහැකි බොරුවකි. උම්‍මග්‍ග ජාතකයෙහි මහෞෂධ පඬිතුමා විසින් ඉදිකල උමගක් ගැන සඳහන් වේ. එහි එක් යාන්ත්‍රික යතුරක් තද කල විට එකවර ස්වයංක්‍රීයව ඇරෙන වැහෙන දොරවල් ද, ආලෝකවත්වන, නිවෙන පහන් ගැනද සඳහන් වේ. ග්‍රන්ථය ලියූ අතීතයේ එය ඇදැහිය නොහැකි පුවතක් වූවාට සැක නැත. එහෙත් විද්‍යුත් ශක්තිය ගැන දන්නා වර්තමාන අපට එය මොන අරුමයක්ද. ස්වභාවික ශක්තීන් කවදත් සැඟවි තබේ. ප්‍රතිභා සම්පන්න ලෙඛකයෝ ඒ සැඟවුණූ ශක්තීන් ස්වකීය ඥානයෙන් හැඳින ලියූහ. අද ද ලියති. අද අභව්‍යයැයි පෙනෙන දේ තාක්‍ෂණය හා විද්‍යාව විසින් හෙලිදරව් කරන අනාගතයේ ඉතා භව්‍ය ඇදහිය හැකි දෙයක් බවට පත්වේ. එම නිසා නිර්මාණයක අභව්‍ය බව විසින් හෝ මතු කරන්නට උත්සහ දරන සැඟවුණු යථාර්ථය කුමකි දැයි සෙවීම වඩා ප්‍රඥා ගෝචර බව උගත්හු පවසති.


කවි පොතට...........
"බටහිරින් ඉර පායා එයි"

උදෑසන අවදිවූ ගොවියෝ,
පෙරදිග අහසෙහි මහත් අරුමයක් දුටුවහ.
කො වෙනදා දකින්නට ඇති අරුණෝදය?
නැගෙනහිර අහස කලුවරය
එහෙත් හැරී බැලුවේ මේ ආලෝකය කොහෙන්දැයි
සොයන්නටය
අරුමයකි! බටහිර දෙසින් උදේ හිරු පායයි!
ගොවියෝද ගෙවිලියෝද අසල්වාසිහුද
රොක්වූහ මිදුල්වල........‍‍
වෙනදාමෙන් පක්ෂීහු හඬති
කුකුළාද හඬලයි
උදෑසන තමයි ! ඒත් හිරු නැගෙන්නේ බස්නාහිරින්?
මිදුල්වල පිපෙන මල්
බටහිර දෙස හැරී සිනාසිණි
සූරිය කාන්ත මල බටහිර දෙසින්
කෙමෙන් හරවන්න විය වත
හිරු හා සමග.........
කුමක්ද මේ සිදු වූයේ?
හීනයක්ද? ඔව් ! නැත්නම් කුමක්ද?
විද්‍යාඥයෝ - තාරකා ගනින්නෝ උපකරණ ගෙන යොමුවූහ අහසට
අනතුරුව මිනිස්සු යොමු වුහ සමුලුවට...........
"හිරුගේ තාප ශක්තියෙන්
නිති භ්‍රමණය වන පෘථිවි ලෝකය
ඒ තාප ශක්තියෙහි සුලු වෙනසකින්
ආපසු කර කැවෙන්නට වී ඇත".......
පුදුමයක් නොවේ ! සාධක සහිතය
මෙය සිදුවිය හැක්කකියි පිළිගත්හ සමහරු
"මිනිසුන්ගේ පව්කම් දුෂ්ඨකම් බලවේගයක් වෙලා" යි
ආගමිකයෝ කීහ
"යුද්ධ, ගිනිකඳු පුපුරා
ජනගහනයේ බර අඩුව සැහැල්ලු වූ නිසා" යැයි
කෙනෙක් කීහ සභාව හිනස්සා !
කෙසේ හෝ බස්නිහිරින් ඉර පායයි
මෙතැන් සිට
බස්නාහිරට නැගෙනහිර කියමුද?
නැත්නම් ආපසු නැගෙනහිරින්
හිරු කැඳවන්නට
අපේ ශක්තිය යොදමුද? යි
කලහ ඝෝෂා කරන්නට වූහ......
හිරු අහසේ සිනාසෙයි
සුපුරුදු ලෙසට.........




Thursday, April 30, 2009

විචාර ප්‍රතිචාර (කවියකි)

සිත්තරා දිවාරෑ
වෙහෙසී...........
මැව්වේය අනගි සිත්තමක්
කිසිවකුත් එ ගැන කතා නොකල බැවින්
කළකිරුණු සිත්තරා
දිවිනසා ගත්තේය.......
අනගි සිතුවම
ධනව‍තකු සතු විය
මන්දීරයේ බ්ත්තියක් එකලු කළ
අහා! සිතුවම අනගියි
අපූර්ව නිර්මාණය දකින්නට විචාරකයෝ ආහ
කවියෝද ආහ
රසිකයෝද ආහ පෝලිමේ.......
සියලු දෙනා කිව්වේ
ධනපතියාගෙ උසස් නිර්මාණයක් වූ "අලංකාර මන්දීරයේ"
බිත්තියක සැරසී සිටින්නට තරම්
මේ සිතුවම අනගි බවයි.........

අපේ රූපවාහිනී නාට්‍ය කලාව කොයිබටද?

අප රටේ රූපවාහිනී නාට්‍ය නමැති නාට්‍යමය වැඩසටහන් ආරම්භවී දැනට ගෙවී ගොස් ඇත්තේ වසර 27 ක පමණ කාලයකි. මෙම වසර ගනනාව පුරා විවිධ නාලිකා මගින් රූපවාහිනී නාට්‍ය දහස් ගනනක් මේවන විට විකාශයවී හමාරය. පර්යේෂණ මට්ටමින් හා කලා නිර්මාණ වශයෙන් ආයාසකර ප්‍රයත්න හැටියට නාට්‍ය ගනනාවක් ඉදිරිපත් වූ අතරම ටෙලි නාට්‍ය නමින් කරන්නංවාලේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කරන ලද "ලට පට" ගනනාවක්ද වෙයි. එදා ආරම්භයේ ප‍ටන් අද දක්වා මේ තත්ත්වය දක්නට ලැබේ. "දිමුතු මුතු" නමැති හොඳ ප්‍රසාංගික ටෙලි නාට්‍යයෙන් ආරම්භය ලැබී "ලාහිරැ දහසක්" ඹස්සේ යායුතු මග හසර සොයමින් ක්‍රමයෙන් වැඩුනු මෙ‍ම නිර්මාණ ක්‍ෂ්ත්‍රය අද එදාට වඩා "තාක්‍ෂණ" අංශයෙන් බොහෝදුර ගිය දියුනුවක් ලබාගෙන ඇති නමුත් "කලාවක්" වශයෙන් කැපී පෙනෙන කිසියම් දියුණුවක් ලබා ඇත්තේම නැතිබව පැවසීම යුක්ති සහගතය.

සිංහල ටෙලි නාට්‍යන්ගේ තත්ත්වය පිළිබඳව කරන විමර්ෂණ වලදී නිතරම හොඳ ටෙලි නාට්‍ය වශයෙන් සඳහන් කරන නාට්‍ය කිහිපයක නම් නිතර අසන්නට ලැබේ. යසෝරාවය, පලිඟු මැනිකේ, කඩූල්ල ආදී වශයෙන් කවුරුත් සඳහන් කරන එම ටෙලි නාට්‍යයන් ගැන වුවද ප්‍රමානවත් ගැඹුරු විමර්ෂණයන් කෙරී නැති අතර ඇතැමුන් ඒවා සඳහන් කරන්නේ හැමෝම කියන නිසා තමන් තුල ඒ පිළිඹඳ ඇතිකර ගත් හේතු රහිත විශ්වාසයක් නිසා පමනකි. කාලය‍ට සාපේක්‍ෂව හිතට දැනුනු ‍"හොඳ නරක" පිළිඹඳ හැඟීමක් ශේෂ කල නාට්‍ය කිහිපයක් පමනක් බිහිවී ඇතිබව සත්‍යයකි. එහෙත් උසස් නිර්මාණ කාලය හා දේශය යන කරුණු අභිබවා චිරාත් කාලයක් රසවහනය කරන බැවින් එවැනි ටෙලි නිර්මාණ අප රටෙහි බිහිවී ඇතිදැයි අධ්‍යයනය කොට බැලිය යුතුය.
උසස් රූපවාහිනී නාට්‍ය කලාවක් උදෙසා වර්තමානයේ සිට අනාගතය දෙස බලන අපි තවමත් බිහිවී නොමැති උසස් රූපවාහිනී නාට්‍ය කලාවක් පිළිඹඳ අපේක්ෂා ඇතිකරගෙන ඒ සඳහා අවශ්‍ය ශික්ෂනයෙන් යුතුව දුෂ්කර අභ්‍යාසයෙහි යෙදියයුතු වෙමු.

අනාගතයේදී වඩා උසස් ජනප්‍රිය මෙන්ම කලාත්මක රූපවාහිනී නාට්‍ය නිර්මානයන් සඳහා අභ්‍යාස කරන නිර්මාණ කරුවන් ඒ සඳහා ගතයුතු පියවර කිහිපයක් ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.

Wednesday, April 29, 2009

ආනන්දය හා ප්‍රඥාව

කලාවේ අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව ප්‍රදානය කිරීමයි. ආනන්දය යනු රසාස්වාදයයි. රසාස්වාදය යනු පාඨක/ප්‍රේක්ෂක පිරිසගේ චිත්ත සන්තානයෙහි හටගන්නා චමත්කාර ජනක හැඟීමයි. චමත්කාරය හටගන්නේ කලා කෘතියකින් වහනයවන රමණීයත්වය හා අත්දැකීම හෙවත් සත්‍ය අනුවයි.
රමණීයත්වය (Beauty) යනු අපූර්වත්වයි. පෙර නොවිඳි විරු හැඩයක් හා අන්තර්ගතයක් සහිතනම් රමණීය නිර්මාණයක් වෙයි. රමණීය අන්තර්ගතය අපූර්ව වූ අත්දැකීමක් ධ්වනය කරයි.
අපූර්ව වූ අත්දැකීම ප්‍රේක්ෂකයා/පාඨකයා/රසිකයා ප්‍රඥාවන්ත කරයි.

කලාකරුවාට අනන්දයෙන් හා ප්‍රඥා‍වෙන් යුක්ත නිර්මාණ ප්‍රදානය කිරීමට ඇති බාධාවන් කවරේද?

  1. අපූර්වවූ ආකෘතියෙන් හා අන්තර්ගතයෙන් සරුවූ නවමු නිර්මාණ උත්පාදනය කිරීමට අවශ්‍ය ප්‍රතිභාව නැතිකම හෝ එම ප්‍රතිභාව මතු කෙරෙන විවේක බුද්ධියෙන් තොරවීම.
  2. අපූර්වවූ අත්දැකීම් දැකිය හැකි දෘෂ්ඨියෙන් තොරවීම.
  3. අපූර්ව දේ දකින දෘෂ්ඨියෙන්සොයාගත් දුලබ අත්දැකීම රමණීයත්වය නොකෙලෙසා ඉදිරිපත් කිරීමේ ශිල්පීය ඥානයෙන් තොරවීම.
යන කරුණුය.