Sunday, December 1, 2013

Nanditha Nimeshaya (නන්දිත නිමේෂය)





http://youtu.be/8P8elJJNItg

   “ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදය සංවිධානය කළ  සමීප රූප  තිස්ස අබේසේකර
                 අභිනන්දන උළෙලට සමගාමිව පැවැත්වූ කෙටි චිත්‍රපට තරගයෙන් ඇගයීමකට ලක්වූ නන්දිත නිමේෂය  කෙටි චිත්‍රපටයයි මේ.  අපගේ මෙම ප්‍රයත්නය ආචාර්ය තිස්ස අබේසේකර සූරීනට උපහාරයක් වේවා!  උත්කර්ෂවත් අභිනන්දන උළෙලක් සාර්ථකව පැවැත්වීම ගැන ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදයට අපගේ ස්තුතිය හා ප්‍රසංසාව හිමිවිය යුතුය.      මනැසින් යොවුන් බව අත්හැර යා නොහැකිව අතරමං වූ මිනිසකුගේ මනෝභාවය මෙයින් නිරූපණය වේ.

Tuesday, November 26, 2013

“නුඹේ ගමන් බස්තම හා මගේ නාසය



එංගලන්තයේ එක්තරා මිනිසෙක් තම ගමන් බස්තම නිදහසේ කරකවමින් පදික වේදිකාවක් දිගේ ඉදිරියට
යමින් සිටියේය.ඔහු තමා බුක්ති විදින අරුම නිදහස හා විනෝදය ගැන උදම් වූ සිතින් එසේ ඇවිදිමින් සිටියදී
ඉදිරියෙන් එමින් සිටි තවත් එක් මිනිසකුගේ නාසයෙහි පෙර කී මිනිසා කරකවමින් පැමිණි බස්තම වැදුණේය.
ඒ නාසය තුවාල විය.
කෝපයට පත්වූ තුවාලකරු බස්තම උදුරා ඈතට විසිකොට බස්තම් කරුට හොදටම දොස් කීවේය. එවිට බස්තම්කරු තරහින් මෙසේ කීවේය.
“හලෝ, මම මගේ නිදහස බුක්ති විදිමින් මගේ මානව අයිතිය පාවිච්චි කරමින් මගේ බස්තම කරකවමින් ඇවිද්දා..එච්චරයි!“   
එවිට කෝපයට පත්ව සිටි තුවාලකරුවා මෙසේ කීවේය..“ඔහේගෙ බස්තම කරකවන්නට ඔහේට අයිතියක් නිදහසක් ඇති බව ඇත්ත.නමුත් ඒ නිදහස ඇත්තේ මගේ නහය ළගට වෙනකම් විතරයි. ඒ බව හොදට මතක තියා ගන්නවා හොදයි...
රජීව් ගාන්ධි,ආර් ප්‍රේමදාස,කදිර ගාමර් ආදී ජනනායකයින් පමණක් නොව, දහස් ගණනක්වූ අහිංසක මිනිසුන් මරා දැමූ ප්‍රභාකරන් හා ඔහුගේ එල්.ටී.ටි යට පහන් පත්තු කරන්නට හා පණ දෙන්නට අර අදින මිනිසුන් මානව හිමිකම් නමැති කාරණය ඉස්සරහට දමා ගෙන කරන දග දැමිලි දකින විට අප ඔවුනට ඉහත කී බස්තම් කතාව මතක් කර දීම ඔවුන්ගේ අනාගත යහපතට හේතු වනවා ඇත.

Tuesday, October 22, 2013

පරම දුර්ලභ අත්දැකීම් හා සුලභ අත්දැකීම්



සාහිත්‍යය හා කලාවෙන් රසිකයාට පිරිනැමිය යුත්තේදුර්ලභ අත්දැකීම් බව ප්‍රකට කාරණයකි.රසිකයා අත්දැකීම් වලින් පෝෂණය වී නැණවත් වන්නේ එසේ දුර්ලභ අත්දැකීම් ලැබීමෙනි.සුලභ අත්දැකීම් සාහිත්‍ය කලාවන්ට පාදක වූ විට රසිකයාට එම කෘති වලින් අමුතු අලුත් අත්දැකීමක් ලබන්නට අවස්ථාව නො ලැබේ.එබදු කෘතීන් නිසරු ඒවා ලෙස ගැරහුමට ලක්වන්නේ ඒවා සේවනය කිරීමෙන් කිසිවකුගේවත් නැණ මඩල පෝෂණය නොවන නිසාය.එම නිසා කෘතහස්ත නිර්මාණ කරුවෝ නිතරම වෑයම් කරන්නේ වඩාත් අලුත් වඩාත් අර්ථවත් දුර්ලභ අත්දැකීමෙන් සිය රසිකයා තෘප්තිමත් කිරීමටය. එහෙත් මෙය ලෙහෙසි කටයුත්තක් නොවේ.දුර්ලභ අත්දැකීම් සිය නිර්මානයකට යොදා ගත හැක්කේ බොහෝ ඇසූ පිරූ ජීවිත අත්දැකීම් ඇති නිර්මාණකරුවකුට පමණකි.එවැන්නා ප්‍රබුද්ධයෙකි. ජනතාවගේ පෙර ගමන් කරුවකු විය හැක්කේ එබදු ප්‍රබුද්ධයකුට පමණකි.
විශ්ව සාහිත්‍ය හා කලා නිර්මාණ අතර පරම දුර්ලභ අත්දැකීම් දනවන වටිනා නිර්මාණ බොහොමයක් කියවන්නට තිබෙන බව බොහෝ අය දනිති.ප්‍රංශ ජාතික ගත්කතුවර ගීදමෝපසාංගේ “මාලය‘‘එබදු පරම දුර්ලභ අත්දැකීමක් දනවන ප්‍රකට කෘතියකි.එබදු තවත් බොහෝ කෙටි කථා, නවකථා රාශියක් විශ්ව සාහිත්‍ය යේ ඇත. අපේ සාහිත්‍ය යේ තිබෙන ජාතක කතාවන් අතරද ඉහතකී වටිනාකම ඇති කතා රාශියක් දකින්නට ලැබෙන බව ප්‍රකට කරුණකි.මාලය නමැති කෙටිකතාවේ එක්තරා අපූර්ව ගැහැණියක් සිටී. ඇය බෙහෙවින් විනෝදකාමී දුප්පත් එකියකි.ඇගේ සැමියාද දුප්පත් ලිපිකරුවෙකි.ඇයට අහම්බෙන් ඉහළ පැළැන්තියේ ප්‍රභූ නිවෙසක රාත්‍රි සාදයකට සහභාගි වීමේ අවස්ථාවක් ලැබේ.මෙයට නොවරදවා සහභාගි වීමට තරයේ සිතට ගන්නා මෙම රූමත් කාන්තාව අමාරුවෙන් සිය සැමියාවද ඊට කැමති කර ගනී.සාදයට සුදුසු ඇදුම් එහෙන් මෙහෙන් හිතවතුන්ගෙන් ඉල්ලාගත් ඇය ගෙල බදින මාලයක් සිය හිතවත් පොහොසත් ප්‍රභූ කාන්තාවකගෙන් ඉල්ලා ගනී.ඉතා අගනා දියමන්ති මාලයකින් සිය ගෙල සරසාගෙන සැමියා සමග පෙර කීවූ සාදයට සහභාගිවී ඇය බෙහෙවින් සතුටු වන අතර ඇගේ රූමත් පෙනුමෙන් කාගේත් අවධානයට ලක්වී බොහෝ සෙයින් සතුටු වෙයි.බොහෝ රෑවී සිය නිවෙසට එන ඇය කැඩපත ඉදිරියේදී දකින්නේ සිත තිගැස්සෙන දර්ශනයකි. තම ධනවත් මිතුරියගෙන් ආපසු පරෙස්සමෙන් ගෙනවිත් දෙන්නට පොරොන්දු වී රැගෙන ආ වටිනා මාලය සිය ගෙලෙහි දැන් නොමැති බව ඇය බලා සිටියේ ත්‍රස්තවූ හැගීමෙනි. දැන් මොනවා කරන්නද?
එතැන් සිට ඉදිරියට වර්ෂ ගණනාවක් ඇය නැතිවූ වටිනා දියමන්ති මාලය වැනිම වටිනා කම ඇති පෙනුමින්ද ඊට සමාන මාලයක් මිළදී ගැනීමට නොයෙක් තැන්වල ඉතා දුකසේ වෙහෙස මහන්සි වෙමින් මුදල් සොයන්නට වූවාය. මෙයින් ඇයගේ රූමත් පෙනුම පවා වෙනස්වී ගියේය. එහෙත් ඇය තම ප්‍රයත්නය අත් නොහැර දිගටම වෙහෙස වූවාය.අවසානයේ ලක්ෂ ගණනක් ගෙවා අගනා දියමන්ති මාලයක් මිළදී ගෙන එයද රැගෙන මිතුරිය හමු වන්නට ගියාය.
“ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ.? මිතුරිය කම්පා වූවාය.“ලස්සනට හිටිය ඔයා අදුරන්න බැරි තරම් වෙනස් වෙලා..මොකද මේ ? ඔයාව අවුරැදු ගානක් මම දැක්කෙත් නැහැ..කොහෙද ගිහින් හිටියේ? 
අසරණ ගැහැණිය තමාට සිදුවූ දේ මිතුරියට හෙළි කරන්නට වූවාය.“අරන් ගිය මාලෙ වෙනුවට එතරම්ම වටිනා මාලයක් මේ මම අරගෙන ආවා. ප්‍රමාද කළාට මට සමා වෙන්න“
මිතුරු ධනවත් ගැහැණිය සිය මවිතය පළ කළාය .“අනේ! මොන එකකටද ඔයා ඔච්චර නැහුනෙ..මගෙන් එදා ඔයා
 ඉල්ලගෙන ගිය මාලේ කොහෙත්ම වටිනා එකක් නෙමෙයි.ඒක හැබෑ දියමන්ති මාලයක් නෙමෙයි. බාල ඉමිටේෂන් මාලයක්නේ“
මේ කතාවේ පරම දුර්ලභ අත්දැකීම වන්නේ මේ දුප්පත් ගැහැණියගේ ඉතා දුර්ලභ මානසිකත්වය සහිත ඇගේ චරිතයයි.මේ වැනි දුප්පත් ගැහැණියක් සැබැවින්ම සිටිය හැකිද? සිය යුතුකමක් උදෙසා මේ තරම් මහත් දුකක් අවුරුදු ගණනක් තිස්සේ එක දිගට ඇය විද දරා ගත්තේ කුමන ආශ්චර්යයකින්ද..බැලූ බැල්මට අභව්‍ය සේ පෙනුන ද මෙය මිනිස් මනසේ මනින්නට බැරි තරම් වූ ගැඹුර අපට සක්සුදක්සේ පැහැදිළි කරන පරම දුර්ලභ අවස්ථාවකි.මේ කෙටිකතාව කියවන පාඨකයාට ලැබෙන්නේ වටිනා දුර්ලභ අත්දැකීමකි .

Wednesday, October 16, 2013

ජයන්ත චන්ද්රරසිරි ගේ “සමනල සංධවනිය“



ප්‍රේක්ෂක අපට පරම දුර්ලභ අත්දැකීමකි.

Sunday, September 22, 2013

පොත් ප්‍රදර්ශනයේ අරුමය !

ජනයාගෙන් අතුරු සිදුරු නැතිව ප්‍රදර්ශන ශාලා පිරී යාම හේතුවෙන්,කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේ ශාලාවකට අමාරුවෙන් ඇතුල්වූ කෙනෙකුට ඉන් පිටව යෑමට ඊටත් වඩා අපහසුවක් දැරීමට සිදුවිය.ජනතාවට තමන් රිසි පරිදි පොතක් පතක් තෝරා ගැනීමට එහි පැවතියේ දැඩි අපහසුතාවකි.ඊට හේතුව නොසෑහෙන තදබදයක් පොත්හල් තුළ පැවතීමයි.පොත් බලා හදුනාගෙන කැමති පොත පත මිළදී අරගෙන යෑමේ අදහසින් එහි ඇතුල්වූ බොහෝ දෙනා ආපසු පිටව ගියේ හිස් අතිති.ඇතුළත තිබූ මහා තදබදය නිසා පොත පත දැන හදුනාගෙන තෝරා බේරා මිළදී ගැනීමට තිබූ අපහසුව මීට හේතුවයි.
 ඇතැම් දෙනා ආවා වෙනුවට අතට හසුවූ පොතක් පතක් මිළදී ගෙන    අ තෘප්තියෙන් පිටව යනු දකින්නට ලැබිණි.(මෙය වෙළෙන්දාට වාසියක් නමුත් පාඨකයාට අවාසියකි.)
සම්මාන ප්‍රදානය කොට තිබූ ජනප්‍රිය කළ කෘතීන් කෙරෙහි පාඨක අවධානය අධිකවූ බැවින් එතරම් ප්‍රචාරය නොලත් ඇතැම් හොද පොත් ප්‍රදර්ශනය තුළ සැගව ගොස් තිබිණි.
ප්‍රදර්ශනය වංක ගිරියක් ලෙසින් අවුල් සහගත වීම නිසා කාටත් එය අවාසියක් විය.
සම්මාන ප්‍රදානය කළ කෘති වෙනම කුටියක හා ඒ ඒ විෂයයන්ට අනුව පොත පත වෙන වෙනම ස්ථාන ගතවූ කුටි තුළ තැබුවේ නම් සාහිත්‍යකාමී මහජනයා මෙතරම් අපහසුවකට පත් වන්නේ නැත.ප්‍රදර්ශනයද සැබැවින්ම ප්‍රදර්ශනයක් වීමට ඉඩ තිබිණි.
වෙළද වාසි ගැන පමණක් සිතා, පොත් සාප්පු පිටින් අරගෙන අවුත්, එලෙසම ස්ථාන ගත කිරීමෙන්, ප්‍රදර්ශනය අවුලක් වූවා මිස පාඨකයාට වැඩක් ඇති තැනක් වූයේ නැත.
නොයෙක් කෑම බීම නම් විෂයානුබද්ධව සරුවට ස්ථාන ගත කොට තිබූ නිසා ඒවායේ ජාවාරම ඉතා සරුවට තිබිනි. සමහර උදවිය පොත් ගැනීමට අරගෙන ආ සල්ලි මුදල් කෑමටම වියදම් කොට සිත් සතුටින් නිවෙස් බලා ගිය බවද ආරංචි විය.

Tuesday, September 17, 2013

එකඑක්කෙනා ගේ එක එක බලය



පසුගිය දවසක සිංහල චිත්‍රපටයක් වන සීතා මං ආවා මංගල දර්ශනය බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී පවත්වන්නට යෙ දුනා.මේ අවස්ථාවේ සක්විති රාවන ගේ බලය ආරූඨ කරගත් භික්ෂූන් වහන්සේලාය කියන පිරිසක් සහ
තවත් කට්ටියක් එම ශාලාවට  ඇතුල්වී යම්කිසි බලපෑමක් සිදුකරන බව දුටු අප තරමක තිගැස්මකට පත් වූයේේකලබලය නපුරු අතට හැරුනොත් දරු මල්ලන් රැගෙන එළියට යාගන්නේ කොහොමද යන බිය නිසාය. පවතින නීතියට අනුව අවසර ලබා ප්‍රසිද්ධ කොට පෙන්වන දර්ශනයක් බැවින් අප එහි  ඇතුල්වී වාඩිවී සිටියේ සම්පූර්ණ ආරක්ෂාව පිළිබද විශ්වාශයෙන් යුතුවය.අප දරුවන්ගේ වාසනාවට එතන අරගලයක් සිදු නොවූයේ චිත්‍රපටයේ නිෂ්පාදක , අධ්‍යක්ෂ ඇතුලු සාමකාමී කලා ලැදි පිරිසගේ ස්ථානෝචිත කතාබහ සහ හැසිරීම නිසා බව පැහැදිළිය. එතන එක නොදැමුණු කටක් තිබුණේ නම් බරපතල යමක් සිදුවීමටද ඉඩ තිබිණි.
අපට දැන් ප්‍රශ්නයක් ඉතිරිවී තිබේ.නිසි පරිදි රැගුම් පාලක අවසරය ලබා එහි ඇතැම් සංශෝධන වලටද හිස නමා නාට්‍යයක් ,චිත්‍රපටයක් පෙන්වීමට නිදහසක් නැද්ද යන්නයි.රාවන බලය මෙන්ම තවත් බලයන් තිබෙන්නට පුලුවන.ඒවා විවිධ නම්වලින් විවිධ අරමුණු වලින් යුතු විය හැකිය.කතරගම දෙවියන්ගේ බලය,කාලි බලය,දේශපාලන බලය,මුදල් බලය,වෙළද බලය,ගුරු බලය,වෛද්‍ය බලය,පොලිස් බලය,රාමා බලය,සීතා බලය, පත්තිනි බලය ආදී වශයෙන් කැමති කැමති බලයන් සංවිධානය කර ගන්නට කාට කාටත් හැකියාව නැත්තේ නොවේ.ප්‍රශ්නය අසරණ කලා කරුවා තම ශ්‍රමය,ප්‍රතිභාව,මිළ මුදල් පරදුවට තබා ඉහතකී බලයන්ගේ අණ සකට නොගෑවී නිදහස් කලා කෘතියක් මහජනතාව හමුවට ගෙන එන්නේ කෙලෙසද යන්නයි. සකල කලාවනටම එල්ලවන මෙවැනි බලහත් කාරකම් වහා නැවැත්විය යුතුවේ.අපට විධිමත් රැගුම් පාලක මණ්ඩලය තිබුණාම ගානටත් වැඩිය.එය තිබෙන්නට හැර එහිද ගරුත්වය කෙළසන සෙසු බලහත්කාරකම් වහා නැවැත්විය යුතුය.

Wednesday, September 11, 2013

කර්තෘ ප්‍රකාශකයින්ගේ කතාව


මේසාහිත්‍ය මාසයයි.ජාත්‍යන්තර මහා පොත් සල්පිල ද මෙවරත් මේ මාසය තුළ කොළඹ දී පැවැත්වේ. දස ලක්ෂ ගණන් පාඨකයන් මෙම සල්පිලට පැමිණෙනු ඇත.පොත් මිළදී ගනු ඇත.තමන් විසින් මිළදී ගත යුතු නවකතාව,කෙටි කතාව,කාව්‍ය්‍රන්ථය හෝ ශාස්ත්‍රීය කෘතිය කුමක්දැයි බොහෝ පාඨකයනට දැනටමත් දැනුමක් ඇත.මේ දැනුම කවා ඇත්තේ පොත් ප්‍රකාශකයින් හා මෙහෙයවනු ලැබූ මාධ්‍ය විසින්ය.තරග, සම්මාන ආදිය විසින්ද කරනු ලැබ ඇත්තේ මෙම අනගි පූර්ව ප්‍රචාරයයි.අලෙවිය ඉලක්ක කර ගත් මෙම ප්‍රචාර හා සැසදී බොහෝ ප්‍රකාශකයින් විසින්“ රසාලිප්ත“කෘතීන් වෙළද පොළට ඉදිරිපත් කෙරෙනු ඇත.ලිංගික සම්බන්ධතා හුවා දක්වන නවකතා,කෙටි කතා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රකාශකයින්ද කර්තෘවරුන්ද උත්සුක වන්නේ එවැනි කෘතීන් ලෙහෙසියෙන් අලෙවි කළ හැකි නිසායැයි ප්‍රකටය.
කර්තෘ ප්‍රකාශකයින් යනු තමාගේ පොත තමා විසින්මවියදම් කොට මුද්‍රණය කරවා,ප්‍රකාශයට පත් කරන ලේඛක ලේඛිකාවන්ය.ඔවුන් මෙසේ කරන්නේ වෙළදාම මූලික පරමාර්ථය කර ගත්ප්‍රකාශකයින් අතින් මෙම පොත් ප්‍රකාශයට පත් නොවන නිසාය.ලිංගික අවස්ථා ආදියෙන් තොර කෘතීන්, නීරස නොවටිනා කෘති ලෙස එකහෙලා සළකන බොහෝ ප්‍රකාශකයෝ  උසස් අරමුණු ඇතිව ස්වාධීන ලේඛකයින් විසින් රචිත කෘතීන් පවා ප්‍රකාශනයට  නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරති.
එහෙත් කර්තෘ ප්‍රකාශකයින්ගේ පොත් අතර බොහෝ උසස් කෘතීන් පවතින බව දන්නෝ දනිති.එවැනි විමසිලිමත් පාඨකයෝ, පොත් සාප්පුවල,රාක්කවල යටම තට්ටු වල නොසැළකිල්ලෙන් අසුරා සගවා තබා ඇති,උසස් නවකතා කෙටි කතා ආදී පොත් සොයාගෙන කියවා දැනුම හා වින්දනය ලබති.අද පවතින ප්‍රචාරක පෙරහැර හමුවේ,කොන්වී මුලු ගැන්වෙන උසස් කතෘ ප්‍රකාශන සොයා ගැනීම මිණි කැට සොයා ගැනීම වැනි වටිනා එහෙත් වෙහෙසකර වැඩකි.විවිධ ප්‍රචාරයෙන් සායම් ගන්වා ඉදිරිපත් කරන විවිධ කෘතීන් අතරින් සැබෑ වටිනාකමක් ඇති ග්‍රන්ථ වෙහෙසවී සොයා ගන්නා ලෙස ආනන්දය හා ප්‍රඥාව සොයන නැණවත් පාඨකයනට අපි ආරාධනා කරමු.