Thursday, February 21, 2013

කලා කෘතියක සත්ය හා රමණීයත්වය truth and beauty’……….



කලා කෘතියක් නම් එය ජීවිතය , පුද්ගලයා හා සමාජය පිළිබද සත්‍යය එනම් යථාර්ථය විවරණය කරන්නේයැයි පිළිගැනීමක් වෙයි.
යථාර්ථය යනු හැමවිටම මතුපිටින් පෙනෙන ඇසෙන දෙයම නොවේ.ජීවිතය දෙසට කැඩපතක් යොමු කළහොත් අපට පෙනෙන්නේ ස්වභාවික දර්ශනයකි. මෙම ස්වාභාවිකත්වය මතු පිට පෙනුම මිස එය සම්පූර්ණ සත්‍යයම නොවේ.පුද්ගලයා මතු පිටින් දැකීමෙන් ඔහු පිළිබද සත්‍ය තත්වය වටහා ගැනීමට හැකිද?  බොහෝ විට පුද්ගලයා හෝ සමාජය පැළද සිටින්නේ වෙස් මුහුණකි. සත්‍යය ඇත්තේ එම මතු පිට වෙස් මුහුණට යටිනි.
කලාකරැවා සත්‍ය අනාවරණය කිරීමට නම් ඔහු මතු පිටින් පහසුවෙන් පෙනෙන දෙය පමණක් නොව  ඒ ඉක්මවා ගැඹුර දැකිය යුතු වෙයි.කලාකරුවා සාමාන්‍ය මිනිසාට ඉදිරියෙන් යිටිය යුතු යැයි කියන්නේ එම නිසාය.
සත්‍ය බොහෝ විට තිත්තයි. නීරසයි.එම නිසා නීරස ඇත්ත අනාවරණය කරන කෘතියක් කලා කාතියක් වන්නේ සත්‍ය රමණීයත්වයෙන් විවරණය කිරීමෙනි.රමණීයත්වය යනු නිර්මිත කලා කෘතියකින් විහිදෙන චමත්කාරයයි.එයට රසය යැයි ද කියමු.සහෘදයා කලා කෘතියකින් වින්දනය කරන්නේ එය හා බද්ධව ඇති අර්ථ රසය හෙවත් සත්‍ය හා රමණීයත්වයෙහි චමත්කාරයයි. 

උසස් කලා නිර්මාණයක සත්‍ය හා රමණීය බව දෙකක් නොව එකක්මය.ඒ දෙක වෙන් කිරීමට නො හැකි වනුයේ සත්‍ය රමණීයත්වයෙන් වෙන් කළ කල්හී එහි කලාව අතුරුදන් වන බැවිනි.රමණීයත්වයෙන් තොර කෘතිය සත්‍ය අඩංගු වාර්තාවක් පමණකි.
නිර්මාණ කරුවන් සත්‍ය ප්‍රකාශනය කෙරෙහි වඩාත් අවංක වී  එහි සෞන්දර්ය හෙවත් රමණීයත්වය ගැන නොසළකා හැරියහොත් ඔවුන්ගේ නිර්මාණ බොහෝ ජනයා අතර භාවිත නොවන සීමිත පිරිසකගේ පමණක් අවධානයට ලක්වන  කෘතියක් බවට පත්විය හැකිය.එසේම කෘතියෙන් ප්‍රකාශ විය යුතු මනා දුලබ සත්‍යයක් ගැන නොසළකා හුදු  විනෝදය පමණක් අරමුණු කොට කරන නිර්මාණයන්ද  ශ්‍රි ලංකාව වැනි චිරාගත උසස් සාහිත්‍ය සම්ප්‍රදායක් පවතින රටවල බහුතර ජනතාවකගේ පිළිගැනීමට බදුන් නොවේ.
ඉහත කරැණු සළකා බලන කළ මෙරට බහුතර ජනතාවකගේ පිළිගැනීමට ලක්වන  නිර්මාණ කෘති ප්‍රමාණවත්සත්‍ය හා රමණීයත්වයෙන් සපිරි කෘති වශයෙන් සළකා බැලිය යුතු බව පැවසිය හැකිය.
            කලා කෘතියක  සත්‍ය හා රමණීයත්වය truth and beauty’…යනු එයින් ප්‍රකාශනය වන ආනන්දය හා ප්‍රඥාවමයි.

Thursday, February 14, 2013

“මගේ මව් බිම“

සිංහල; දමිළ මුස්ලිම් සැමට එකතු වී එකට ගායනය කළ හැකි ගී පද මාලාවක් පහත සදහන්ය. මෙයට ගැලපෙන මිහිරි තනුවක් යොදා ගායනය කිරීමෙන් අප සැම එක්වී පවත්වන සාද අවස්ථා කාටත් වඩාත්ම රසවත් කර ගත හැකිවනු ඇත.
මේ මගේ රටයි මේ මගේ උතුම් ජාතියයි
මා සුනිල්...මා සිවා ..මගේ නම සරෝජා
මා පාතිමා..කෝ මගේ පාරුෂා
මම තමයි සිසි පබා..කෝ ඉතින් රංජනා
මම තමයි හෙළ ධජේ වැජඹෙනා සිංහයා.....

මේ මගේ රටයි මේ මගේ උතුම් ජාතියයි..
සිරි මහ බෝධියයි පන්සලයි පල්ලියයි
කෝවිලයි පාසලයි සීගිරී සමනළයි
මේ මගේ සම්පතයි  මේ මගේ උතුම් ජාතියයි...
මගේ බස සිංහලයි  මගේ බස දමිළයයි..
සාහිතෙන් නාටකෙන්        මා ඉතින් හරි සරුයි.
මේ මගේ සම්පතයි  මේ මගේ උතුම් ජාතියයි..
මේ මගේ උතුම් ජාතියයි මේ මගේ උතුම් ජාතියයි  මේ මගේ උතුම් ජාතියයි......

Wednesday, February 6, 2013

අපේ නාට්ය වේදිකාවට නම දී ඇති සත්ව පරපුර



බල්ලොත් එක්ක බැහැ __මීයෝ නැතිව බැහැ _ නරි බුරති._බූරැවා මහත්තයා _බකමූණා වීදි බසියි _වේයෝ පියාඹති_අස්ස ගුඩුං_
තුරග සන්නිය- සර්පයෝ- සදකිදුරු-අශ්වයෙක් එළුවෙක් හා බැටළුවෙක් -මැටි බළල්ලු -නරියා සහ කේජු-
තාරාවෝ ඉගිලෙති-
මගුල් ඇතා- ගිරා මඩල -නරි බෑනා-හූනෝ- සමනළ යානය - මකරා -රාජ හංසි -හඩා වැටෙති උල ලේන්නු
පෑළ දොරින් සුදු කපුටෙක් -
සුදු ඇතා ආවට පස්සේ -මී පුර වැසියෝ -බළල් සාස්තරේ -නාග ගුරුළා -හංස රෑන -ලිපට පනින පළගැටියෝ -උකුස්සා -මොනර පිල් -කටුස්සා -සරණ සියොත් සේ -ස්වර්ණ හංස -නරේ නටන නරි -ඇට මැස්සා -
සුදු කපුටෝ -පැන්ස දෙකේ හංසයා -පෙත්තප්පූ රූං රූං -වටු වැද්දෝ -ගොනා සහ තණ -කේසරයාණෝ -මුහුදු මකරා -වානරයෝ -රැහැය්යෝ -සමනළයෝ පියාඹති -සිගාල ගෝස්තරේ -ගෝනුස්සා -නරියට කවදත් වාසියි -සුදු පරෙවියෝ -
පිස්සු පූසෝ -කොක්කූ සහ සත්තූ -රන් කුඹල්ලු -ඇල්ශේෂන් -ගිනි කුරුල්ලෝ -තණ කොළ පෙත්තෝ -
සිංහ බාහු -රයිනෝසිරස් -කොක් සන්නිය -අලි සෙල්ලං -ගජගාවත - ගැට කුකුළා -වානරයෝ -ගගට උඩින් කොක්කු ගියා -සාම කුරැල්ලා -නියං කිරිල්ලී -කකුළු ගීතය - පියාඹන අස්සයා -නරි උගුල -ලිහිණි -ඉබි කට්ට -හංසයන්ටත් මං ආසයි -මොනරැ සහ අපි -බල්ලෙක් මරා දාලා -සුනඛ කේසර -
බඹරා වගේ -උර්රු මීයා -හිම කුරුල්ලෝ -මුවා - වවුල් තිප්පොල -මෝරා -මැඩියෝ

ඉහත සදහන් වන්නේ අතීතයේ සිට අද දක්වා සිංහල වේදිකා නාට්‍ය සදහා උපයෝගි කරගෙන ඇති සත්ව නාමාවලියයි.

Sunday, January 20, 2013

ගුරුවරයාගේ වරදින් මිනිමරුවකුවූ අහිංසක සිසුවා



නිර්මාණ රංග ධාරා නාට්‍ය පර්ෂදය මගින් රංජිත් හරිශ්චන්ද්‍ර ගේ “ශිල්ප ශාලිකා“ නාට්‍ය රග දැක්වෙනු පසුගියදා වලපනේ දී දක්නට ලැබිණි.ගුරුවරයකුගේ වැරදි උපදෙස් නිසා අහිංසක සිසුවකු දරුණු මිනිමරුවකු බවට පත්වන අයුරු හා උතුම් ගුරුවරයකුගේ  මග පෙන්වීමෙන් එම ශිෂ්‍යයා යළි යහ මගට පත්වන අයුරු මෙමනාට්‍ය මගින් ඉතා දක්ෂ ලෙස නිරෑපණය වූ අයුරු ප්‍රසංසනීය බව ප්‍රේක්ෂකයින් බහුතරයක අදහස විය.ඉතා ප්‍රබල සංවාද හා අර්ථවත් කන්කළු ගීත යෙන් යුක්ත මෙම නාට්‍ය යෙහි චාමරී නිසංසලා මන්තානි නමැති මවගේ චරිතය රගදැක්වූ අයුරු  මනබදනා ගුණයෙන් යුක්තය.අහිංසක ගේ චරිතය රගදැක්වූ ලක්ෂාන් රන්දික මෙන්ම බණ්ඩාර ධර්මරත්න  අනුෂ්ක ඉදුනිල් ජේ.බි. තෙන්නකෝන් ගාමිණී අමරසිංහ රංජිත් ප්‍රසන්න මහේෂ් රාජිත නාලක දිසානායක තරිදු මයුරංග ද දක්ෂ ලෙස රග පෑහ. මෙහි සංගීත අධ්‍යක්ෂණය කලා භූෂණ එම්. ටිකිරි බණ්ඩාහා විශාරද හසිතා තිලක රත්න ගෙනි. තිමිර රශ්මික සජිත් ජයතිලක සහය වුහ. මෙහි රංග වස්ත්‍ර නිර්මාණය සම්පත් දිසානායක ගෙනි.අංග රචනය කළේ කුමුදු රත්නායක යි.එච් .එල්.ධර්මරත්න රංගා ලෝකය මෙහෙයවූ  ශිල්ප ශාලිකා රංජිත් හරිශ්චන්ද්‍ර ගේ නවතම  නාට්‍ය නිර්මාණයයි.   2013 01 20 

Thursday, January 17, 2013

නෙළුම් පොකුණ“, අපටත් ඕනෑ නැද්ද? “.....



ආරියරත්න ඇතුගල නිර්මාණය කරන “ මහ සමයම“  ඔපෙරාව [ගීත නාටකය ]  ජනවාරි 30 වැනිදා කොළඹදී රග දැක්වීම අරඹන බව සැළවීම කලාකාමී අප සැමගේ සතුටට හේතුවකි.එය නෙළුම් පොකුණ නමැති මහ රගහලෙහි රග ගත වීම වඩාත් සතුටට හේතුවයි. නෙළුමි පොකුණෙ හි විධිමත් සංගීත නාටකයක් රග දැක්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
නෙළුම් පොකුණ ජාතික රගහලක් සේ විවෘත කළාටම පසු නාට්‍යයක් සදහා එහි තිරය හා අනේක විධ නවීන තාක්ෂණික මෙවලම්ද ආලෝක ධාරාවන්ද ප්‍රෙක්ෂක ජනතාව හමුවේ විවෘත වන මහගු අවස්ථාව මෙයයි. විශ්ව මට්ටමින් අපගේ ජාතික නාට්‍ය දොරට වඩන අවස්ථාවක් ලෙස මෙය හැදින්වූවාට වරදක් නැත.එය ආඩම්බරයට හා සතුටට කරැණකි.
එහෙත් දුකක් ද පවතී.සෙසු නාට්‍ය කරුවන් වූ අපට නෙළුම් පොකුණ ගැන හිතන්නටවත් බැරි තත්වයක එය පැවතීම දුකට හේතුවයි.නෙළුම් පොකුණ රගහල නාට්‍යයක් පෙන්වීම සදහා අපට ලබා ගත නොහැක්කේ එම ජාතික රගහල ලක්ෂ දහයක පමණ මුදලක් දර්ශණයක් සදහා අය කරන බැවිනි.එහි ඇති මිළ කළ නොහැකි වටිනා තාක්ෂණික පහසුකම් වලට සරිලන එම අය කිරීම් සාධාරණ නමුත් අප රට සිටින දක්ෂ එහෙත් පොහොසතුන් නොවන සාමාන්‍ය නාට්‍ය කරැවනට එම අය කිරීම් දැරිය නොහැකි තරම් මිළෙන් ඉහළය.
රගහලෙහි ඇති නවීන පහසුකම්  නිර්මාණාත්මකව අති දක්ෂ ලෙස උපයෝගි කර ගනිමින් උසස් නාට්‍ය නිපයීමට තරම් හැකියාවෙන් පූර්ණවූ සූරයන් අප අතර නැතිවා නොවේ. නැත්තේ මුදල් හදල්ය.අප රට සිටින  බහුලවූ ප්‍රේක්ෂක නාට්‍ය ලෝලීන්ට ද රුපියල් දහසක් දෙදහසක් වැනි මුදලක් වුව නාට්‍යක් නැරඹීම සදහා වැය කිරීම පහසු නැත.එවැනි පහසුකම් ඇත්තේ මධ්‍යම පංතියෙන් ඉහළ අතළොස්සක් පමණවූ පිරිසකට පමණය.සාමාන්‍ය ජනතාවගේ හිසට ඉහළින් ඉගිලෙන ජාතික නාට්‍ය කලාවකට පැවැත්මක්ද නැත. පැවතුණත් ඉන් ඇති වැඩක්ද නැත.
නෙළුම් පොකුණ ඇසුරු කරගත් උසස් ජාතික නාට්‍ය කලාවක් ගොඩ නගා ගැනීමෙන් පමණක් මෙම රගහලෙහි පල උපරිමව නෙලා ගත හැකිය.ඒ සදහා රජයේද කලාකරුවන්ගේද නොමද උත්සාහය හා කැප කිරීම් යෙදවීම අති අවශ්‍යය. උසස් ඔපෙරා රචනයන් තෝරාගෙන ඒවා නිෂ්පාදනය කිරීම සදහා රජයෙන් හා පෞද්ගලික අංශයෙන් දක්ෂයනට ප්‍රතිපාදන දිරිදීම් ලබාදීම මගින් මෙම රගහලෙහි නියම අර්ථය ජාතිය සදහා දායාද කළ හැකි බව රහසින් නොව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිය.
කෙසේ වෙතත් මහ සමයම නමැති ප්‍රයත්නයට අපි ආසිරි පතමු.       2013 01 18