Saturday, May 16, 2009

නිර්මාණ රසවිඳීම හා විචාරය

යම්කිසි නිර්මාණයක් කියවලා හරි, නරඹලා හරි එය විචාරය කරන්න කලින් උත්සාහ කරන්න ඕන ඒ කෘතිය රසවිඳීමයි. රසාස්වාදය තමයි රසිකයාගේ මූලිකම උවමනාව. අප චිත්‍ර පටයක් බලන්න යන්නේ විචාරය කරන්න නෙමෙයි රසවිඳින්නයි. ඊට පසු නිර්මාණ කෘතිය තමන්ට අත්කර දූන් ආශ්වාදනීය අත්දැකීම ගැන හැඟීම තමයි අප විචාරයක් හැටියට පිටකරන්නේ. අපූරුයි! හරි ෂෝක් චිත්‍ර පටිය! ආෂික්! විශිෂ්ටයි! ආදී වචන වලින් රසිකයා තමාගේ දැනුමේ හැටි හැටියට අර ආශ්වාදනීය අත්දැකීම ගැන සඳහනක් කරනවා. මේ තමයි රසිකයාගේ අව්‍යාජ මූලිකම විචාරය. ඒ වගේම තමන් බැලූ චිත්‍ර පටය හරි නාට්‍ය හරි තම රසවින්දනය ප්‍රබෝධ නොකලානම් කියනවා හරිම සවුත්තුයි! ජරාවක්! කිසිම වැඩකට නැහැ! ආදී වචන. මේ කියන්නේ එම කෘතිය තමාව වින්දනයට පත් කලේවත් තමාට අපූර්ව අත්දැකීමක් ලබා දීමට සමත්වුනේවත් නැති බවයි. ‍
යම් කිසි නිර්මාණ කෘතියක් රසවිඳින්න හා එහි අත් දැකීම උකහා ගන්න කෙනෙකුට ඒ මාධ්‍ය ගැන දැනුමක් හා අභ්‍යාසයක් තියෙන්න ඕනි. ලෝකයේ තාබෙන හූඟක් උසස් චිත්‍රපට බලා අධ්‍යයනය කල අයෙකුට අපේ චිත්‍ර පටයක හොඳ නරක හඳුනා ගන්න බොහෝම ලෙහෙසියි. ඒත් දුර්වල චිත්‍රපටයක් හෝ ජීවිතයේ පලමු වරට බලන තැනත්තාට එම කෘතිය දැනෙන්නේ අපූර්ව ආනන්දනීය අත්දැකීමක් හැටියටයි. මොසාර්ට් (Mozart) ගේ හෝ බීතෝවන් (Beethoven) ගේ හෝ සංගීතයක් රසවිඳින්න නම් ඒ සංගීතය ගැන මනා දැනීමක් තියෙන්න ඕනි. මේ දැනුම නැති අයකුව මෙම සංගීතය අහන්න වාඩි කෙරෙව්වොත් සමහර විට ටික වේලාවකින් ඔහු නිදාගනියි. නැත්තන් නැගිටලා යයි (ප්‍රතිචාර)
විචාරය කියන්නේ තමන් නිර්මාණ කෘතියක් රස වින්දනය කල අයුරු ප්‍රකාශ කිරීමයි. මෙන්න මේ මේ කරුණු නිසා මේ කෘතිය තමාව ආනන්දයට පත්කල හෝ නොකල බවත් ඒ ඔස්සේ තමාට ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ලැබුණු හෝ නොලැබුණු බවත්, කෙනෙකුට සවිස්තරව විග්‍ර කරන්න පුලුවන්නම් ඒක තමයි උසස් විචාරය. එහිදී එම මාධ්‍යට අදාල ශිල්පීය වචන, න්‍යාය ආදිය ගැන තම දැනුම උපයෝගී වෙනවා. එවැනි විචාරයක් කියවා බලන දැනුමෙන් අඩු අයකුට පවා අර කෘතිය ගැන පෙර නොතිබූ දැනුමක් පවා ඇතිවෙනවා. උසස් විචාරය කියන්නේ නිර්මාණ කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීම වගෙ නිර්මාණාත්මක කාර්යයක් යැයි හඳුන්වන්නේ ඒ නිසයි. "විචාරකයෙක් වෙන්න කලින් හොඳ රසිකයෙක් වෙන්න ඕන". ඒ සඳහා දැනුම හා සතතාභ්‍යාසය ඕන. ඊට පසු කෘතියක් රසවිඳිනකොට තමා තුලින් මතුව එනවා කවර කරුණු නිසාද මේ කෘතිය උසස් වන්නේ හෝ පහත් වන්නේ හෝ කියන අදහස්. ඒ අදාල හේතු සාධක තමයි හොඳ විචාරයක සඳහන් වන්නේ. එසේ නැතිව කියන්නන්වාලේ කීම හෝ ප්‍රචාරයට රැවටීමෙන් හෝ වෙනත් හේතු නිසා හෝ "මේ කෘතිය විශිෂ්ටයි" "මේ කෘතිය අවර ගණයේ එකක්" යනාදී වශයෙන් නිගමනය විතරක් ගෙන හැර පෑම උගත් විචාරකයාගේ ලක්‍ෂණයක් නෙවෙයි. ඒ වගේම හේතු සාධක සහිතව නිර්මාණ කෘතිය "විශිෂ්ටයි" කිව්වත් "පහත්" යැයි කිව්වත්කමක් නැහැ. විචාරකයාට සාධාරණ හේතු මත ඒ කවර නිගමනයක් හෝ ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවා. ඉතින් එවැනි විචාර කියවන්න පුරුදුවුනාම ඕනෑම රසිකයකුගේ රස විඳීමේ හැකියාව වර්ධනය වෙනවා. විචාරයක් කියවලා ඒ අනුව නිර්මාණ කෘතිය දිහා නැවත බලා එම විචාරයේ කරුණු සත්‍ය දැයි පරීක්‍ෂා කර බලන්න රසිකයා පුරුදු වුනොත් රසිකයාගේත් නිර්මාණ මාධ්‍ය වලත් දියුණුවක් ඇතිවෙන්න පටන් ගන්නවා. එයින් කෘතීන් පිළිබඳව තමන්ගේම සාධාරණ මතයක් ගොඩනගා ගැනීමට රසිකයාට හැකියාව ලැබෙනවා.

නිර්මාණ කෘතියක් විචාරය කරීමේදී පහත සඳහන් කරුණු විමසා බැලීම වඩා පලදායක බව ජර්මන් ජාතික මහා කවි Goethe විසින් දක්වා තිබෙන බව පොත් පත් වල සඳහන් වේ.

  1. නිර්මාණ කරු කරන්නට උත්සහ දරා ඇත්තේ කුමක්ද?
  2. ඔහු එය කෙතරම් හොඳින් ඉටු කොට ඇත්ද?
  3. එවැනි නිර්මාණයක් කිරීමේ අර්ථයක් ති‍බේද?
කෘතියක් රස විඳිමින් ඉහත කරුණු විමසා බැලීමෙන් ප්‍රමාණවත් විචාරයක් ගොඩනැගෙනවා. එසේ නොමැතිව කිසිම නිර්මාණ කෘතියක් ගැන තම "නිගමනය" පමණක් ප්‍රකාශ කිරීම විචාරය නොවේ.

No comments:

Post a Comment