Thursday, November 22, 2012

ටෙලි නාට්ය යනු ව්්‍යාපාරයක් පමණක් ද?


ටෙලි නාට්‍ය යනු කලාවක් නොව ව්‍යාපාරයක් ය යන අදහස දරණ අයද මෙම සමාජයේ වෙසෙති.ඔවුනට අනුව ආයෝජනය කරන මුදලට
සරිලන ලාභයක් උපයන්නට හැකිනම් ඒ හොදටම ප්‍රමාණවත්ය.මස් වෙළදාම හා කුකුළන් විකිණීමද ව්‍යාපාරයන්ය.එහෙත් ලෙඩ කුකුළන්
විකුණා මහජනතාවට වසංගත බෝ කරන්නට ඒ ව්‍යාපාරයට අවසර නැත. ඕනෑම ව්‍යාපාරයක ගුණයක් හා ප්‍රමිතියක් තිබිය යුතුම බව කවුරුත්
දනිති.
එහෙත් නවකථාව,කෙටි කථාව, වේදිකා නාට්‍යය, මෙන්ම ටෙලි නාට්‍යයද කලාවක් විය යුතුය යන ප්‍රචලිත අදහසක් රටේ ස්ථාවරව ඇත.ඒ නිසා
ටෙලි නාට්‍ය සම්මාන උළෙල කිහිපයක්ම පවත්වන අතර ,ඒවායේදී විනිශ්චය මණ්ඩල වලින් ඇගැයීම් කොට තෝරා හොද ටෙලි නාට්‍ය වලට
සම්මාන ප්‍රදානය කෙරේ.එහිදී උසස් යැයි ප්‍රමිති ගත කෙරෙන ටෙලි කලා අංශ වලට සම්මාන ලබාදේ.එසේම ජනආකර්ශණය බහුලව දිනා
ගන්නා ටෙලි නාට්‍ය ජනප්‍රිය නිර්මාණ බවටද පිළි ගැනේ.ටෙලි නාට්‍යයක් එලෙස බහුතර ජනතාවකගේ ආකර්ශණයට පාත්‍ර වීමටද එහි සෑහෙන
තරමි හොද ගුණයක් හා ප්‍රමිතියක් තිබිය යුතු බව ඔප්පුවී ඇත.මේ හැරෙන්නට ටෙලි නාට්‍ය හා ටෙලි නාට්‍ය ශිල්පීන් කලා කරුවන් බවට රාජ්‍ය
පිළිගැනීමක් ඇති බවත් රහසක් නොවේ.මේ නිසා ටෙලි නාට්‍ය යනු හුදු ව්‍යාපාරයක්මයැයි යමෙක් පවසතොත් එය සපුරා පිළිගත හැකි අදහසක්
නොවන බව පැවසිය යුතුය.යම් යම් අංග වලින් එය ව්‍යාපාරයක් බව පෙනෙන නමුත් එය ජනතාවකගේ මනසෙහි උසස් රසවින්දනය හා ජීවන
අත්දැකීම් පෝෂණය කරන, එසේ කළ හැකි ප්‍රබල කලාංගයක් වශයෙන්ද පිළිගෙන කටයුතු කිරීමද අත්‍යවශ්‍ය බව පැහැදිළිය.
එසේම උගතුන් බුද්ධිමතුන් මෙම කලාංගයට පිටුපස හරවාගෙන නොසිට ,මේ කෙරෙහි අවධානය යොමු කොට නිරන්තර ඇගැයිම් කටයුතු
කෙරේ නම් එය සමාජ ඉදිරි ගමනට කරන විශාල රුකුලක් බව පැවසිය හැකිය.එසේම රසික ජනතාව පොදුවේ නිරන්තර අවධානයෙන් සිටිය
යුතු වන්නේ තනිකරම ජඩ වෙළද අරමුණින් යුතුව තමන්ට හා තම දරුවනට වස කවන්නට තැත් දරණ අමන කලා වෙළෙදුන්ගේ වැඩවල හැටි
තේරුම් ගෙන ආරක්ෂාවී සිටීමටයි.2012 11 22

Saturday, November 17, 2012

අද ටෙලි නාට්‍ය නැරඹීමෙන් උසස් රසිකයන් ඉවත්ව සිටින්නේ ඇයි?


අපේ ටෙලි නාට්‍ය ආරමිභ වන්නේ ඉංග්‍රිසි සෝප් ඔපෙරාව පුර්වාදර්ශය කරගෙනය.දිමුතු මුතු හා ලා හිරැ දහසක් යනු අපේ මහඟු ටෙලි නාට්‍ය ආරම්භයයි.දිමුතු මුතු ආදර කතාවකි.මන්දගාමි චලනයෙන් යුතු හැසිරීම් සහිත නළු නිළි රඟපෑම් සිනමාව දැක පුරුදු අප රට ජනයාගේ හාස්‍යයට ලක්වන තරම් ඇතැම් විට විකාර ස්වරූපයක් ඉසිලූ බව කීම අසත්‍යයක් නොවේ.ලා හිරුදහසක් දිගින් දිගට කොටස් ගණනාවක් ඉදිරියට ඇදුණු අර්ධ නාගරික ප්‍රදේශයක් පසුබිම් කර ගත් විසිරුණු කතා පුවතක් සහිත සංවාද බහුල නාට්‍යයක් විය.එහිද ගැඹුරින් සළකා බැලිය යුතු චරිත හෝ පුවතක් තිබුණේයැයි කිව හැකි නොවේ.

මෙලෙස ආරම්භවු අපගේ රූපවාහිනි නාට්‍ය අද වනතුරුත් සැලකිය යුතු දියුණුවක් පෙන්වූ අවස්ථා ඉතා විරලය.හරවත් කතා පුවතක් උසස් රංගනයකින් යුතුව ඉදිරිපත්වූ අවස්ථා ඉතා දුලබය. හොඳ ටෙලි නාට්‍ය වශයෙන් පෙළ ගස්වා හුවා දැක්වෙන  බොහෝ නිර්මාණද උසස් කලා කෘතීන් වශයෙන් හඳුනාගත හැකි ඒවා නොවේ.ඇතැම් ටෙලි නාට්‍ය ව්‍යාජ ගැඹුරු බවක් ආරෝපනය කරගත් රස හීන නිරර්ථක ප්‍රයත්නම විය.අපගේ ටෙලි නාට්‍ය වංශය තුළ පැහැදිළිව හඳුනා ගත හැක්කේ බහුතර ජනතාවකගේ පිළිගැනිමට ලක්වූ ජනප්‍රිය නිර්මාණ අතළොස්සක් පමණය.දුදරුවෝ,. යසෝ රාවය., පළිඟු මෑණිකේ, ගිරය.,කන්දේ ගෙදර.,නෑදෑයෝ, සත්පුර වැසියෝ,.සූරිය දරුවෝ,  කඩුල්ල, වෙද හාමිනේ, දඩු බස්නාමානය,  අසල් වැසියෝ, සෙනෙහෙවන්තයෝ, අඹ යාළුවෝ යන නාට්‍ය පළමු විකාශන කාලය තුළදී සියයට හැටත් අසූ පහත් අතර ප්‍රතිශතයකින් ප්‍රේක්ෂක නැරඹුම්සංඛ්‍යාව වාර්තාගත කිරීමට සමත්ව ඇත.මේ බව අදාළ වර්ෂවල පිළිගත් සමීක්ෂණ වාර්තා පිරික්සීමෙන් ඉදුරා දැන ගත හැකිය.මෙයින් කියවෙන්නේ එම ටෙලි නාට්‍ය අදාළ විකාශන කාලය තුළදී සමස්ත ‍ප්‍රේක්ෂක ප්‍රමාණයෙන් බහුතර සංඛ්‍යාවකගේ සැළකිල්ලට භාජනය වූ බවයි. එය එසේ නමුත් ඉහතකී ජනප්‍රිය ටෙලි නාට්‍ය නිර්මාණ උසස් නිර්මාණමයැයි නිශ්චිතවම කිව නො හැක්කේ ඒවාද නොයෙක් අඩු ලුහුඩුකම් නිසා කලාත්මක බවින් හාඋසස් ගති ලක්ෂණවලින් පූර්ණව නොමැති බැවිනි.ඉහතකී නාට්‍යවලින් බොහොමයක් අදාළ වර්ෂවලදී සම්මාන ඇගයීම්වලටද භාජනයවී ඇති බව පැහැදිළිව ඇත.එසේ වුවත් සාහිත්‍ය කලා විද්වතුනගේ ප්‍රමාණවත් විචාරයනට හෝ ප්‍රමාණවත් විධිමත් ඇගැයීම් වලට හෝ අපගේ ටෙලි නාට්‍ය නිර්මාණ මෙතෙක් භාජනය වී         නොමැත.එම නිසා අපගේ ටෙලිනාට්‍ය පෙර කෙබදු ප්‍රමිතියකින් පැවතියේදැයි හරියටම කිව නොහැකිය. 
               
ඉහත සදහන් පසුබිම අනුව වර්තමානය ගැන විමසා බලන විට අද අපට පෙනෙන්නට තිබෙන්නේ ඉතා කනගාටුදායක තත්යවක් බව පෙනේ. තම තමන්නේ නාලිකාවල පෙන්වනු ලබන ටෙලි නාට්‍ය වැඩිම ප්‍රතිශතයක ජනතාවක් නිතිපතා නරඹන බව හුවා දැක්වීමට නාලිකාවන් අතර ලොකු ප්‍රචාරක තරගයක් පවතින බව පැහැදිළිය.ඒ අතර ඇත්තටම ඒවා නරඹන සංඛ්‍යාව පුදුම සහගත අන්දමින් පහත බසිමින් පවතින බව පැහැදිළිව පෙනේ.එදා ටෙලි නාට්‍ය බැලූ ජනතාවගෙන් සියයට හැත්තෑවක පමණ ජනතාවක් අද ටෙලි නාට්‍ය නරඹන්නේ නැති බව ප්‍රකට කරුණකි.උගතුන් ශිෂ්‍යයින් මෙන්ම සාහිත්‍යකාමී පුද්ගලයින් අද රූපවාහිනී නාට්‍ය හැර දමා වේදිකා නාට්‍ය හා සිනමාව රස විදීමේ තත්වයට පත්ව සිටී.නිතිපතා විකාශය වන අරුත්සුන්, රස හීන වල්පල් ලටපට ,වලින් පිරුණු ටෙලි නාට්‍යයැයි කියනු ලබන විකාර දර්ශනයන් නැරඹීමට ඉතිරිව සිටින්නේ දැන නුවනින් ඉතාම පහළ ස්ථරයක සිටින ඇබ්බැහිවූ පිරිසක් පමණය.මේ ප්‍රවාහය හමූවේ දැනුදු ඉද හිට විකාශය කෙරෙන ස්වයංජාත වැනි හොදනිර්මාණද අපතේ ගසාගෙන යන අයුරු කනගාටුදායකය.ටෙලි නාට්‍යයේ වර්තමානය එලෙසය.ඒ අනුව අනාගතය ගැන කියනුම කවරේද??.......
2012 11 17

Wednesday, October 31, 2012

නවකථාවලටපිදෙන සම්මාන වලින්කෙරෙන්නේ පාඨක ජනතාව මුලා කිරීම ද?_2


නවකථාව යනු කුමක්ද? උසස් නවකථාවක් හදුනා ගත හැක්කේ කවර මිනුම් දඩු වලින්ද?යන්න අද අපේ නවකථාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ලොකුම ගැටළුවයි.මේ පැනයට එක් එක් තීරක මණ්ඩලය දෙන පිළිතුරුද විවිධය.කෙනෙක් නවකථාවක ආකෘතිය එහි අපුර්වත්වය ලෙස දකිති.කෙනෙක් එය භාෂා භාවිතයේ ඇති දක්ෂතාව අනුව හුවා දක්වති.කෙනෙක් කතුවරයාගේ නමට හා තත්වයට හොද ලකුණු දෙන බව පෙනේ.තවත් කෙනෙක් නවකථාවේ පිටකවරයට හා එහි නාමයට පැහැදෙන බව පෙනෙන්නට තිබේ.අලියා සහ අන්ධයෝ විලසින් කෙරෙන මෙම විවරණ වලින් පඹ ගාලේ පැටලෙන්නේ රස පිපාසිත පාඨකයන්වූ අපමය.දැනට මෙම වසරේ සම්මාන දිනා ඇතිහොදම නවකථා තුන හතර නැවතත් සමීක්ෂණය කොට ,ඇත්තටම හොද නවකථාව, තෝරා ගැනීම සදහා ඇත්තම විද්වත් මණ්ඩලයකට භාර දීම නරකදැයි තරුණ පාඨකයන් ප්‍රශ්න කරන්නේ ඔවුන් තුළ සාහිත්‍ය ග්‍රන්ථ විනිශ්චයට භාජනය කළාවූ තීරකයන්ගේ නව දැනුම පිළිබදව අවිශ්වාසයක් ජනිතවී ඇති නිසාදැයි විමසා බැලිය යුතුවෙයි.
හොදම නාට්‍ය.හොදම කාව්‍ය ග්‍රන්ථය තේරීමේදීද මේ අවුල මෙලෙසම පවතී.එම නිසා හොදම නිර්මාණ තේරීම මදකට කල්දමා ඒ ඒ වරගයේ සාහිත්‍ය නිර්මාණවල තිබිය යුතු උසස් ලක්ෂණ මොනවාදැයි විශ්ව මට්ටමින් අධ්‍යයනය කොට සර්ව සම්පූර්ණ නිර්ණායක නිබන්ධනයක් සදහා සංගායනයක් පැවැත්වීමටත් ඒ අනුව විචාර සංග්‍රහයන් කිරීමටත් සාහිත්‍ය කලා විද්වතුන් උත්සාහවත් විය යුතු බව පැවසීම කාලෝචිතයැයි සිතිය හැකිය.        2012 ඔක්තෝබර් මස 19

Monday, October 15, 2012

සිංහල නවකථා වලට පිදෙන සම්මාන වලින් කෙරෙන්නේ පාඨක ජනතාව මුලා කිරීම ද ?

මේ වසරේද හොදම සිංහල නවකථාව සදහා පුදදෙනු ලැබූ සම්මාන අතර පාඨක ජනතාව අතරමං කරනු ලැබ සිටීයැයි දැන් අපට පැහැදිළි වී ඇත.2012 වසරේ හොදම සිංහල නවකථාව කුමක්දැයි කෙනෙක් කපිල කුමාර කාලිංග යන්ගේ පියෙසි කවුළුව නමැති නවකථාව සනිටුහන් කර ගන්නා අතර තවත් කෙනෙක් එය ශ්‍රියානි ඒකනායකගේ සිටුවර පුවත යැයි සිහි තබා ගනිති.ඒ අතර බටුවන්ගල රාහුල හිමිගේ නයිගලින් උපන් පුත්‍රයෝ හොදම නවකථාවයැයි කෙනෙක් කියන අතර මේ වසරේ හොදම නවකථාවක් නැතැයි කෙනෙක් උදම් අනති.
මේ නවකථා සේරම මනස්ගාත කියමින් වසරේ හොදම සාහිත්‍ය කියමන මේ අතර ප්‍රකාශයට පත් කර ඇත්තේ විනිශ්චය මණ්ඩලයක සභාපති වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය වරයකු විසිනි. 
ඉතින් පාඨක අප අතරමං නොවන්නේයැයි කිව හැකිද??...
2012 10 16

Sunday, October 14, 2012

තණ්හාව මතුපිටට පැමිණි යුගයක්


අද ලෝකය තණ්හාව මතුපිටට පැමිණි යුගයක් හැටියට හදුන්වන්න පුලුවන්.එහෙම කියන්නේ මිනිසුන් විවෘතවම තණ්හාව පෙන්නුම් කරමින් කටයුතු කරන බව හොදින්ම පෙනෙන්නට තියෙන නිසයි.තණ්හාව සගවාගෙන වෙනත් ස්වරූපයකින් තම කාර්යය ඉෂ්ට කර ගැනීම සදහා කටයුතු කරන්නේ කලාතුරකින් බවයි පෙනෙන්නේ.එම නිසා අද ඔවුනොවුන් හා තරග වැදීම මෝස්තරයක් හා වීර කමක් හැටියටයි  පිළිගැනෙන්නේ.තරගයට නොඑළඹීම මෝඩ කමක් ලෙස ගැරහුම් ලබන ප්‍රතිපත්තියක්.අපි අද දරුවන්ට උගන්වන්නේම හැකිතාක් තරග වදින්නටයි.අනෙකාට වඩා ලකුණු ගන්නට කැපී පෙනෙන්නට,සියලු දේ අත්පත් කර ගන්නට,මුදුන් වෙන්නට අප උගන්වන්නේ එසේ නොකලොත් දරුවා සමාජය හමුවේ කොන් වෙතැයි යන බියෙන්.
එහෙත් අනෙකාට ගෞරව කිරීම ,අනෙකාට නිසි තැන දීම,අනෙකා සමග බෙදා හදා ගැනීම මානව ගුණ ධර්මයක්. එය පුරුදු කළ සමාජය අනවශ්‍ය ගැටුම් වලින් තොර සතුටින් ජීවත් විය හැකි තැනක් වන බව වර්තමාන මිනිසුන් දන්නේ නැහැ.ක්‍රෝධයෙන් හා වෛරයෙන් පුපුරු ගසන සිත් ඇති ලෝකයක කිසිවකුටත් කිසිවක්ම දිනා ගැනීමට අවස්ථා නොමැති බව තේරැම් ගන්නට තරම් අද මිනිසා ප්‍රඥාවත් නැහැ.මෙවැනි වකවානුවක ප්‍රඥාවන්තයෝ ඉවසීමෙන්,මෛත්‍රී කිරීමෙන් කරැණාවෙන් හා අනෙකාට ඉඩ දීමෙන් කිසිවෙකුටවත් නොදැනෙන්නට බොහෝ දේ දිනා ගන්නා බව නුවනින් විමසන කෙනෙකුට පෙනෙනවා ඇත.ලෝකය දිනන්නට ලෝකයා හා තරග කළ යුතු නැත.

Wednesday, September 23, 2009

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන - ආකාස කුසුම්

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන
ආකාස කුසුම්

—ආකාස කුසුම් - ලාංකික ජන ජීවිතයේ උප සංස්කෘතියක් තුළ සැරිසරන පොදු නො වූ ස්ත්‍රිය පිළිබඳ වූ සිනමා කවියකියි එය නරඹා සිනමා රඟහලින් නැඟිට එන පළමු මොහොතේ දී ම කිසියම් රසිකයෙකුට සිතේ නම්, එය හේතු යුක්ති සහිත සිතිවිල්ලකි. මෙම සිනමා කෘතිය කේන‍ද්‍රීය වශයෙන් සන‍්ධ්‍යා රාණි නමැති ස්ත්‍රිය පිළිබඳ ආත්ම විවරණය යි. සන‍ධ්‍යා රාණි - දශක දෙකක ට එහා අතීතයෙහි වැජඹි සිනමා තාරකාවියකි. වර්තමානයෙහි ඇය නටඹුන් වූ සිය අතීත ජීවිතය සිතින් යටපත් කරන්නට වැර දරමින් සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නට වෙර දරන කාන්තාවකි. එහෙත් අතීත ජීවිතය ඇය ට ද හොරා ඇය තුළ තවමත් හොල්මන්කරයි. ලාංකික ජන ජීවිතය තුළ සිටින සාමාන්‍ය කාන්තාවකගෙන් ඇය වෙනස් වනුයේ, ඇය මුහුණපාන බොහෝ ගැටළු සිනමා නිළියක වීමේ ප්‍රතිවිපාක වශයෙන් ඇය අත්දකිනු ලබන ඒවා ම වනබැවිනි. අනෙක් අතට සන‍ධ්‍යා රාණි තුළ උණුසුම් දරු සෙනෙහසක් හා පසුතැවිල්ලක් මතුකෙරෙමින් ඇයගේ චරිතයෙහි අවසාන භාගයෙහි දී ඇයට හමුවන —ප්‍රියා නමැති එක ම දියණිය ද අපගේ පොදු ජන ජීවිතයෙහි ඉතා දුලබව දක්නට ලැඛෙන කැරෝකේ සමාජශාලා සේවිකාවකි. ප්‍රියා මුහුණපාන අත්දැකීම් ද අප සමාජයෙහි ස්ත්‍රිය ඒ අයුරින් ම අනුභවකරන්නේ නො වේ. එහෙත් පිරිමියා නිසා වධ බන්ධනයට ලක්වන පොදු ස්ත්‍රිය ද ඇය තුළ ජීවමාන වෙයි. අනෙක් භූමිකාවක් වනුයේ ටෙලි නාට්‍ය නිළිය යි. ඇය වත්මනෙහි මුහුණ පාන තත්ත්වයන් සන‍ධ්‍යා රාණිගේ අතීත දිවිය පිළිබඳ සංකේතයක් බඳු ය. ඇය ද මුහුණපාන්නේ ඇයගේ ක්ෂේත්‍රයට අදාළ ව පැන නඟින විශේෂ අවස්ථාවන්ට ය. සන‍ධ්‍යා රාණාගේ බාල නැඟණිය (කෞශල්‍යා) ලාංකික ජන ජීවිතයට අයත් සාමාන්‍ය ස්ත්‍රියකවන අතර ඇය මුහුණපාන්නේ සිය පවුල නඩත්තු කිරීම පිළිබඳ පොදු ආර්ථීක හා සාමාජීය ගැටළුවට ය. සන‍ධ්‍යා රාණි ට ද අව්‍යාජ ජීවිතයේ බර හා වගකීම රැගෙන එනුයේ මෙම නැගණිය ගේ චරිතය විසිනි. ආකාස කුසුම් විවරණය කරන්නේ ඛෙහෙවින් විශේෂිත වූ ක්ෂේත්‍රයක ලාංකීය ස්ති‍්‍රය බව පැහැදිලි ය. අධ්‍යක‍ෂවරයා ගේ අරමුණ ද එය යි.
ආකාස කුසුම් සන‍ධ්‍යා රාණිය ගේ චරිතය කේන්ද්‍රකොට ගත් ඇයගේ ආත්ම විවරණය යි. මෙහි ආරම්භයක සිට කූට ප්‍රාප්තිය දක්වා දිවෙන කතා පුවතක් නැත. මෙහි ඇත්තේ ඇය ගේ වර්තමාන ජීවිතය හා අතීත නටබුන් අතර සැරිසරණ මතක සටහන්වල එකතුව යි. එහෙයින් ආකාස කුසුම් සාම්ප්‍රදායික සිංහල සිනමා කෘතියක ට, බොහෝ ඔබ්බට යන ප්‍රශස්ත නිර්මාණයක් බවට පත් වෙයි. සන‍ධ්‍යා රාණි ගේ අතීත තාරකා ජීවිතය ද දිස්වනුයේ ශෝක මුසු අපූර්ව වූ උත්ප්‍රාසයක් ද දනවමිනි. එලෙසින් අධ්‍යක‍ෂවරයා ප්‍රයත්න දරා ඇත්තේ සිනමා ප්‍රේක‍ෂක ජනතාව ගේ සිහින ලෝකය අරා වැජඹෙන, වැජඹුණු තාරකා ගුණයෙන් අනූන වූ නිළියන් ගේ දිලිසෙන ජීවිතයේ අභ්‍යන්තරයේ පවතින්නා වූ ඛේදනීය යතාර්ථය මතුපිට ට ගෙන විහිදා දැක්වීම යි. එයින් ප්‍රේක‍ෂකයා දැනුවත් ව ඥාණනය වනුයේ පොදු ස්තී‍‍්‍රත‍්වය ට වඩා විශේෂ ‍‍‍‍කෙ‍ෂ්ත්‍රයක ස්ති‍්‍රය පිළිබඳ ව යැයි සටහන් කළ හැකි ය. ස්වකීය දරුවා සැමියා ට පරිත්‍යාග කොට සිනමා ලොවට වෙන් වී යන සන‍ධ්‍යා රාණි ගේ ජීවිතය පටන් ගැන්මේ දී ම මෙම විශේෂත‍වය ආරම්භ වෙයි.
ප්‍රසන්න විතානගේ —ආකාස කුසුම් සිනමා කෘතිය පබඳන්නේ එහි තිර නාටක රචනයේ සිට ම වනබව සිනමා කෘතිය විකාශනය වන අයුරින් පැහැදිළි ය.
අඳුරු වැසි දිනෙක ගෙමිදුලක හුදකලාව ම නවත්වා ඇති කලූ පැහැති කාර් රථයක් වැස්සෙන් තෙමෙන සමීප රූපයක් මොහොතක් දෙකක් තිරයෙහි දිස් වේ. රථය මත පතිතවන වැසි දියෙන් තෙත්වන රථයෙහි ඉදිරි කවුළුවත්, පැති කණ්නාඩියත් ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ අඳුරු ශෝකාකූල හැඟීම් සමුදායකි. එම හැඟීම් සමඟ ප්‍රේක‍ෂක දෑස ට ළං කරන්නේ, වැසි අඳුරින් පිරුණු - ගෙදර ඉස්තෝප්පුවක හිඳ ලියුමක් දෙස අවධාන යොමුකොට සිටින සන‍ධ්‍යා රාණිගේ මධ්‍යම රූප රාමුවකට යි. ගෙවී ගිය කාලය විසින් ඇගේ මුහුණෙහි සටහන් කොට ඇත්තේ දුක්-දොම්නස, හුදෙකලාව, අපේක‍ෂාව සනිටුහන්කරන ඉරි - කළු පැල්ලම් හා නෙත් බැල්ම යි. මෙම රූප රාමුව සිනමා කෘතියෙහි ආරම්භය මෙන් ම, ඒ සන‍ධ්‍යා රාණිගේ හුදෙකළා - දොම්නස් සහගත අනිවාර්යයෙන් වියැකී යන ජීවිත ඉරණම නිසඟව ප්‍රේක‍ෂක මනැස තුළ සංකල්පීය ව සිතුවම්කරන ලද පද වැලක් වැනි ය. ඉස්තෝප්පුවේ වහළෙන් වැහි දිය බේරෙයි. සන‍ධ්‍යා රාණි ශෝකය ද හද රඳවාගෙන ඒ දෙස බලා සිටී. ඇය ආධ්‍යාත්මයෙන් ගරා වැටෙන්නී ය. සන‍ධ්‍යා රාණිගේ භාවාත්මක මුහුණ වැසි අඳුර හා වැහි දිය දහර ත්, තෙමෙන මෝටර් රථය ත් දක්වමින් අධ්‍යක‍ෂවරයා සන‍ධ්‍යා රාණිගේ භූමිකාවේ ගැඹුරු පදාසයක් රූපමය කාව්‍යයක් ව චිත්‍රණය කරයි. මෙහි දී අඳුර, ආලෝකය, වැසි දිය, මෝටර් රථය, වැසි අඳුරින් පිරුණු ඉස්තෝප්පුව හා සන‍ධ්‍යා රාණිගේ මුහුණ ද ලියුම ද එක් වී ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ එම භූමිකාව පිළිබඳ ඛේදනීය වූ සිතිවිලි සංකීර්ණයකි. කිසියම් ලයකින් කිසියම් කාලයක් තුළ තිරයෙහි දිස්වෙන කෙටි රූපාවලිය සමෝධානය වීමෙන් අධ්‍යක‍ෂවරයා නඟන්නට සිතූ භාවය ත්, අර්ථය ත් නිරූපණය වෙයි. කවියා පද එකතු කිරීමෙන් නව අරුතක් නංවන්නාක් මෙන්, තමා පමණක් පූර්වයෙහි අදහස් කළ හැඟීම් සහ අර්ථය නංවන්න ට මෙහි දී අධ්‍යක‍ෂවරයා දක්වන්නේ ඉතා විශිෂ්ට නිපුණත‍වයකි. එ හෙයින් ආකාස කුසුම් අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවියක් යැයි හැඟෙන සිතිවිල්ල යුක්ති සහගත ය.
තම ලොකු නැඟණිය කැනඩාවේ සිටිමින් තමා වෙත එවන ලද සුහද ඇරියුම සහිත ලිපිය කියැවීමෙන් මද අස්වැසුමකින් සුසුම් හෙලන සන‍ධ්‍යා රාණි ආපසු හැරී ගෙතුළට යන්නේ යළි තමා පෙළෙන තනිකම පිළිබඳ බිය හා කාංසාව වෙත ළං වෙමිනි. ඇය තම යටපත්කරන ලද අතීතය සහිත හුදෙකලා ආධ්‍යාත්මය මොහොතක ට සනහන බළලා වෙත ට ආහාර බඳුනක් ළංකරනු ඉක්බිතිව දිස් වේ. සන‍ධ්‍යා රාණිගේ අඳුරු ඇතුළු හද ගැඛෙහි තවත් පැතිකඩක් වෙත මෙම රූප රාමුවෙන් අධ්‍යක‍ෂවරයා එල්ලකරන්නේ විනිවිද යන ආලෝක කදම්බයකි. තරුණ බළලා සන‍ධ්‍යා රාණිගේ තනිකම ත්, ජීවිතාශාව ත්, සමාජ සම්බන්ධතාවයන් කෙරෙහි දක්වන ඇල්මත් මූර්තිමත් කරන්නක් වැනි ය. සන‍ධ්‍යා රාණි ට මේ සමාජය අතහැර දමා යා නො හැක.
එදිනෙදා ආර්ථීක තත්වය රඳා පවත්වාගනු වස් ඇය කරන්නේ, අතුරුපස සාදා කඩවලට යැවීම යි. මේ කාර්යය ඇය කරන අයුරු අධ්‍යක‍ෂවරයා සීරුවෙන් කලබලයෙන් තොර ව සවිස්තර ව කැමරාව ට නඟයි. ධ්වනිපූර්ණ - අර්ථවත් කෙටි සංවාද ද භාවිත කෙරෙමින්, සන‍ධ්‍යා රාණියගේ දෛනික හැසිරීම රූපගත කෙරෙන ආකාරය ප්‍රේක‍ෂක මනැස ඒ වෙත රඳවා ගැනීමේ පණවත් ආකර්ෂණයකින් යුක්ත ය. සමස්ත සිනමා කෘතිය පුරා ගලායන මෙම රූප රිද්මය, සන‍ධ්‍යා රාණිය පිළිබඳ බාහිර කාරණා මෙන් ම ඇගේ ඇතුළු ආධ්‍යාත්මයෙහි අඳුරු ඉසව් කෙරෙහි අප මනැස ස්පර්ශය කිරීම ට අවශ්‍යය මෙවලම් සකස්කොට ඉදිරිපත් කෙරෙයි. සිය රූප රචනය තුළ සැලසුම්කළ අන්තර්ගතය, ජීවන දෘෂ්ටිය, ළයමානය හා බැඳුණු සිද්ධි දාමයත් භාවයෙන් හා අර්ථයෙන් නිසඟව සිනමා කෘතියට දක්වන දායකත‍වය ඉතා ප්‍රබලය.
මාලනී ෆොන්සේකා රංගධාරිනිය ඇතුළු ව දිල්හානි ඒකනායක, නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු හා ජයනී සේනානායක අධ්‍යක‍ෂවරයා විසින් තිරනාටකයෙහි පටන් සැළසුම් කළ සිද්ධි මාලාවට තම විශිෂ්ට සහභාගීත‍වය දක්වමින්, අධ්‍යක‍ෂවරයාගේ සංකල්පනය ජීවමාන කරනුයේ සිනමා කෘතියෙන් දනවන්න ට තිඛෙන භාවමය ගති හා අර්ථය ධ්වනය වන්නට අවකාශ සලසමිනි. ප්‍රවීණ මෙන් ම ප්‍රතිභා සම්පන්න, විචක‍්ෂණ රංග විඥානයකින් සපිරි මාලනී, දැඩි සංයමයකින් යුක්ත ව ඖචිත්‍ය වූ - විශ්වාසනීය ඉරියව් හා සාත්වික අභිනයෙන් මුහුණේ ගැඹුරු හැඟීම් මුදවා හරිමින් කරන ප්‍රතිනිර්මාණ රංග කාර්යය අති විශිෂ්ට බව ට අන්තර්ජාතික සම්මානයෙන් පවා සාධක සහිත ව සමිමත ව ඇත. නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු දිල්හානි ඒකනායක හා ජයනි සේනානායක ද අධ්‍යක‍ෂවරයාගේ තිරනාටකයෙහි පබැඳි අවස්ථාවනට හෘදයාංගම ලෙස සහභාගී වෙමින් දක්වන භාවපූර්ණ රංගනය අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවිය ප්‍රේක‍ෂක සිත්-සතන්වලට සාර්ථක ලෙස ධ්වනය කරන්න ට තරම් ප්‍රබල ය, ව්‍යක්ත ය.
ආකාස කුසුම් සිනමා කෘතියෙහි කැමරාකරණය ඛෙහෙවින් ව්‍යක්ත ය. සන‍ධ්‍යා රාණි ඇතුළු ස්ත්‍රී චරිතයනගේ අභ්‍යන්තර සිතිවිලි පවා සූචනය කෙරෙන සමීප රූප හා මධම සමීප රූපවලින් යුක්ත රූපරාමුවලින් ඛෙහෙවින් සමන්විත ය.
සමස්ථ චිත්‍රපටය පුරා කැමරාව ප්‍රේක‍ෂක සිත්-සතන්වල සමාධිය බිඳ නො දමමින් දැඩි සංයමයෙන් භාවිත කෙරෙන්නේ නියමිත කලාත්මක වින්‍යාසයකිනි. කැරෝකේ සමාජශාලාවල ඇතුළත රාත්‍රී දර්ශනවල පවත්නා විසිතුරු ආලෝකධාරා උපයෝගීකොටගෙන ඇත්තේ සඟවා ගත් රහස් ඇති ගුප්ත මායාමය ලෝකයක ස්වභාවය සිහිගැන්වෙන පරිද්දෙනි.
සමස්තයක් වශයෙන් ගත් කල ආකාස කුසුම් සිනමා කෘතිය, එක්තරා සමාජ පැතිකඩක දිලිසෙන ස්ත්‍රී ආත්මයන්ගේ සැප - දුක් චිත්‍රණය කෙරෙන ආත්ම විවරණයක් සේ සැළකිය හැකි ය. මෙහි දී සන‍ධ්‍යා රාණි තම පසුතැවිලි සහිත නටඹුන් ජීවිතය තුළින් ම ප්‍රතිනිර්මාණය කරගන්නා නව ජීවිතය වූ දියණියගේ දරුවා තම තුරුලට ගැනීම වූ කලි - සන‍ධ්‍යා රාණි වැනි චරිතයනට එල්ල කළ සුභවාදී වූ ආලෝක ධාරාවක් වැනි ය. ලෝකයේ බිහි වූ තාරකා ගුණැති නළු, නිළි ඇතැමෙකු මත්ද්‍රව්‍ය ආදිය ගෙන පසුතැවිල්ල නැතිකරගන්නට ගොස් පරවී ගිය අයුරු ත්, එ වැනි ඇතැම් කෙනෙකු ළමයින් උදෙසා, අනාථයන් උදෙසා ආදී වශයෙන් කැපවීමෙන් ජීවිතයේ සැනසුම ලැබූ අයුරු ත් නිතැතින් ම අප සිහියට නැගේ. කෙලෙස හෝ ප්‍රසන්න විතානගේ නමැති කෘතහස්ත - ප්‍රතිභා සම්පන්න සිනමා අධ්‍යක‍ෂවරයාගේ ව්‍යක්ත තිර නාටක රචනයෙහි ද, විචක‍ෂණ සිනමා නුවණෙහි ද කෞශල්‍යය මැනැවින් විදහාපාන ආකාස කුසුම් සිනමා කෘතිය අප සිනමාවට කිහිප ආකාරයක මෙහෙයක් ඉටුකරන බව පැහැදිළි ය. සිනමාව හා සම්බන්ධ තාරකාවන්ගේ සිහිනමය වූ මායාමය ජීවිතය විනිවිද ගොස් ඔවුන්ගේ සැබෑ වූ ජීවිතය සොයා ගන්නට ප්‍රේක‍ෂක අප ට ආකාස කුසුම් දොරටු විවර කරන්නේ ප්‍රථම වරට ය. එය සිනමාවෙන් සිනමා ජීවිතය ගවේෂණය කිරීමකි. එසේ ම සිනමා රූපී බවින් යුක්ත ව ජීවිතානුභූතියක් අත්විඳින්න ට ප්‍රේක‍ෂකයනට මනා අවස්ථාවක් සලසා දෙන උසස් ප්‍රයත්නයකි. එය හුදු කතාන්දරයකින් තොර ව සිනමානුභූතියක් මුදවා හරින්නට ගත් දැනුවත් ප්‍රයත්නයකි. එ ලෙස ම සංවිධිත තිර රචනයක ගැබ් කළ සිද්ධිමාලා හා හැඟීම්, උපායශීලී දක‍ෂ අධ්‍යක‍ෂණයෙන් ඉතා විශිෂ්ට ලෙස භූමිකා රංගනයෙන් මුදවා හරින දුලබ ගණයේ සිනමා කෘතියක් ද වෙයි. එනයින් ආකාස කුසුම් ප්‍රේක‍ෂක අපගේ නුවණෙහි හා රස වින්දනයෙහි නිම්වළලූ පුළුල් කරන්නේ යැයි පැවසිය හැකි ය.

එඩ්වින් පීරිස්