Wednesday, January 9, 2013

here AFTER him ඉනියවන් විශිෂ්ට වන්නේ කොහොමද?

අශෝක හදගමගේ  ඉනියවන්.  විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් බව මේ වන විටත් බොහෝ දෙනාගේ පිළි ගැනීම බවට පත්වී ඇත.එය විශිෂ්ට වන්නේ කවර කාරණාවලින් ද?  ප්‍රබලම කාරණය එහි අන්තර්ගතයයි.     නිර්මාණාත්මක කල්පිතයක කලාත්මක ලක්ෂණ එහි ඇති නමුත් එය මුලුමනින්ම හදගමගේ ; සංකල්පනාවක් පමණක් නොවේ.එය බෙහෙවින්ම සත්‍යවූ පසුබිමක ; සත්‍යයටම ළංව නිර්මිත චරිතයන්ගේ ඛේදවාචකය අපූර්ව ලෙස සටහන් කරන්නකි.
මේ චරිත එම පසුබිම තුළ අද කොහේදී කොතනක දී  හෝ නිරන්තරව හමුවන; හමුවිය හැකි චරිතයි. එහෙයින් එය ප්‍රභාකරන්ගේ යුද්ධයට නතුවූ පෙදෙසක ; දමිළ මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ  “සත්‍ය හඩා වැටීම“ පිළිබිඹු කරන කෘතියකි.දකුණේ වෙසෙන සිංහල සමාජය ප්‍රභාකරන් හා සහචරයන්ගේ විනාශයත් යුද්ධයේ නිමාවත් අසා සතුටු වූවා පමණකි. එහෙත් අප යුද්ධයෙන් පීඩිත උතුරේ මිනිසාගේ  හඩා වැටෙන හදවත  දකින්නේ ඉනියවන් තුළිනි.
උතුරේ මිනිසාගේ සමාජය; සංස්කෘතිය හා දේශපාලනයද නටබුන්වූ අර මිනිසාගේ ඇගට පැන හපා කන සැටිත්;උනුන් ගැටී ලේ උරා බොන සැටිත් කවර හෝ ප්‍රේක්ෂකයකුට වුවත් ප්‍රබල අත්දැකීමක් ලෙස ප්‍රත්‍යක්ෂ කරවීමට ඉනියවන් සිනමා කෘතිය සමත් ව ඇත. එම නිසා මෙම සිනමා කෘතිය අප සමාජ හා දේශපාලන දැක්ම පුළුල් කරවන දෘෂ්ටිය සකස් කිරීමේ බලපෑම කළ හැකි කෘතියක් බව නොවළහා පැවසිය හැකිය.
මේ සිනමා කෘතියේ අන්තර්ගතය ; විශ්ව සාධාරණ වන්නේ යුද ගැටුම් හා එයින් ඔත්පලවූ මිනිසුන් ලොව පුරා කොතනත් කවදත් හිග නොමැති බැවිනි.අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එය එක ලෙසම අදාළ වෙයි.ඒ නිසා ඉනි අවන් සමකාලීන අගයකින් යුක්ත දේශජ ලක්ෂණ දරණ කෘතියක් වූවත් එය සර්වකාලීන සර්ව හෞමික අගයකින්ද තොර නොවේ.
පුනරැත්ථාපනය ලබා සිය ගමට එන තරුණයා  මුහුණ දෙන අති දුක්බර අර්බුදය අපට සන්නිවේදනය කරන්නේ කුමක්ද? යුද්ධයෙන් පසු කෙලෙස හෝ නැගී සිටීමටත් ; නැතිවූ සියල්ල ඉක්වනින් ආපසු ලබා ගැනීමටත් උග්‍ර කායික ආධ්‍යාත්මික යුද්ධයක ඔවුනොවුන් හා පැටලී සිටින දුක්බර මිනිස් වගකගේ සැබෑ තත්වයයි.විනාශවී ගිය අනගි සංස්කෘතික සමාජය යළි ගොඩ නගා ගැනීම සිහිනයක් පමණක් විය හැකිය.ඒ වෙනුවට වැළලූ ගිනි අවිය පවා ගොඩ ගැනීමට පොළොඹවන පාතාල නරැම සමාජයක් බිහිවෙමින් පවතින අතර එම හතුරු සමාජය අඩු විහිදුවාගෙන මුලු මහත් උතුරැ සමාජය හා අවට ගිල ගැනීමට පටන් ගෙන ඇත.යුද්ධයෙන් නොමැරී ජීවත්වූ බැවින් කෙසේ හෝ ජීවත් වෙමුය යන ජීවන දෘෂ්ටියෙන් සාමාන්‍ය මිනිසාගේ ප්‍රඥාව හකුලුවා ඇත.එසේ හෙයින් ඔවුනගේ අනාගතය කුමකින් කුමක් වේදැයි අවිනිශ්චිතය.අශෝක හදගම ඉනි අවන් තුළින් නගන්නේ මේ බරපතල සංස්කෘතික හා දේශපාලන ප්‍රශ්නයයි.
සියලු දෙනා සිතා බැලිය යුතු බරපතල පැනයකි එය.කැටි කොට කිව හොත් ඉනියවන් ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ට විශ්වීය තලයේ ප්‍රායෝගිකවූ සිනමා කෘතියකි.
ආරම්භයේ සිට අවසානය දක්වා දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් රූප රාමුවෙන් රාමුවට ප්‍රේක්ෂකයා සිතන්නට පොළඹවන ප්‍රශස්ථ කලාත්මක සංයමයකින් මෙම නිර්මාණය සමන්විත වන්නේ සියලු ශ්‍රව්‍ය දෘශය අංගෝපාංග මැනවින් සිය සහභාගිත්වය දක්වා ඇති බැවිනි.එ බැවින් සැබෑ පුවතකට මනසින් හා කයින් සහභාගි වන්නාක් බදූ සජීවි කම්පනයක් ප්‍රේක්ෂක අප තුළ පහළ වන බව ප්‍රත්‍යක්ෂ වේ.ඉනියවන් ශ්‍රී ලාංකික අප සැම වෙත සාදරයෙන් පිදූ අව්‍යජවූ අගනා විශිෂ්ට සිනමා තිළිනයකි.
2

Sunday, January 6, 2013

අප ඉනියවන් නැරඹිය යුතුද නැද්ද?



ලාංකීය දෙමළ සිනමාවක අවශ්‍යතාව එදාටත් වඩා අද බලවත්ව දැනෙන බව  කිව යුතුය. යුද්ධයට පසු සිංහල මිනිසා හදුනා ගැනීම දෙමළ මිනිසාට බෙහෙවින් වැදගත් වන අතර , දෙමළ මිනිසා හදුනා ගැනීම සිංහල මිනිසාටද ඉතා වැදගත් වෙයි.ඉහතකී දෙදෙනාම එකම රටක වෙසෙන එකම ලාංකික ජාතියේ මිනිසුන් වන බැවිනි.මේ දෙදෙනාගේම හදවත් එකිනෙකා හමුවේ අව්‍යාජව විවෘත වන්නේ නම් අන්‍යෝන්‍ය සැකය; බිය; අවිනිශ්චිතතාව ආදී දුර්ගුණ සිත් වලින් පහවී ඒ වෙනුවට දයාව; කරුණා මෛත්‍රිය;සහයෝගීතාව වැනි මානව හැගීමි වර්ධනය වනු ඇත.දෙදෙනා දෑතින් දෑත පටලවාගෙන හදවතින් හදවතක උණුසුම විද ගනු ඇත.අසිරිය එයයි.මෙය කළ හැකි ප්‍රබල මාධ්‍යය සිනමාවයි.අසෝක හදගම එවැනි ආශ්චර්යවත් සිනමාවක් උදෙසා මෙවර තම නිර්මාණ ප්‍රයත්නය යොදවා තිබීම අප කාගේත් වාසනාවක් බව කිව යුතුය.ඔහුගේ මෙම අවංක ප්‍රයත්නය නමැති පුෂ්ප පැළෑටිය තවත් අය විසින් සාත්තු කොට එය නුදුරු අනාගතයේදීම මහා වෘක්ෂයක් බවට පත් කරන්නට සමත් වෙතොත් එය ලාංකික මානව සංහතියේ  අභිවෘද්ධියට හේතු වන ප්‍රබල කාරණයක් වනු ඇති බව පැවසිය හැකිය
අසෝක හදගම ඉනියවන් සිනමා කෘතිය සදහා ඔහුගේ නිර්මාණ ප්‍රතිභාව හා කායික මානසික ශ්‍රමය නිර්ලෝභිවයොදන්නට දිරි ගැනීමම මහත්වූ එඩිතර ක්‍රියාවකි. ජගත් වැල්ලවත්ත හා අනුර ප්‍රනාන්දු නමැති කලාකාමී අර්ථපතියන් දෙදෙනාගේ අර්ථවත් සහභාගිත්වයදසිනමාව හා මනුෂ්‍යත්වය උදෙසා කළ උසස් පරිත්‍යාගයක්සේ සැළකිය යුතු වෙයි.ඔවුනට අපගේ ගෞරවය හිමි කරතොත් එය මහගු ක්‍රියාවකි.
ලාංකිය දෙමළ සිනමා කෘතියකට  මෙරට තුළදී ආයෝජනය කරන මුදලින් දශම එකක්වත් ආපසු උපයා ගැනීම දුෂ්කර බව හදගම හා අර්ථපතියන් හොදින්ම දැන සිටින බවට සැකයක් නැත.දකුණු ඉන්දියානු සිනමා සිහින ලෝකය තුළින් අප රට දමිළ ප්‍රේක්ෂක ජනතාව ගලවා අපගේමවූ දමිළ සිනමාවකට දිනා ගැනීම බෙහෙවින් දුෂ්කර බව පැහැදිළිව ඇති කරුණකි.ඉනියවන් නැරඹීම අපගේ පරම යුතුකමක් වන්නේ:ලාංකීය ජාතියේ දමිළ ආත්ම ප්‍රකාශන සිනමාව ගොඩ නගා ගැනීමට ඉන් අප ලබා දෙන ශක්තිය ඉමහත් බැවිනි.
2013 ජනවාරි මස 05 වැනිදා සෙනසුරාදා

Thursday, December 6, 2012

හොදම නළුවා ජගත් චමිල ද? ටෝනි රණසිංහ ද ?


ඊයේ පෙරේදා අවසන්වූ උත්කර්ෂවත් සුමති ටෙලි සම්මාන උළෙල ගැන ප්‍රේක්ෂක අපගේ සතුට! ....
එහි විනිශ්චයන් ගැන අප තුළ වැඩි සතුටක් පවතින නමුත් හොදම නළුවා සම්මානය ගැන නම් රංග වේදය දත් ප්‍රේක්ෂකයින් අතර පවතින්නේ කුකුසකි.විශිෂ්ටතම නාට්‍යවූ ස්වයංජාත හි ජගත් චමිල හොදම නළුවා ලෙස සම්මානනීය වූ අතර පිංසර දොස්තර හි රංගනය උදෙසා ටෝනි රණසිංහ නිර්දේශ වූවා පමණි.
ජගත් චමිල අති දක්ෂ රංගධරයකු බව අපි කවුරුත් හොදින් දනිමු.එහෙත් ස්වයංජාත හි ඔහුගේ රංගනය  ඔහුගේ බාහිර අග පසග වෙනස් කළ වෙස් ගැන්වීම මත යැපුණු බව සළකා බැලිය යුතු නොවන්නේ ද?බොල්ලෑ දත්/ සමේ කළු පැහැය / ආදිය නළුවා ගේ බාහිර ස්වරූපය  සහමුලින්ම වෙනස් කරමින් ඔහුට අනායාස රුකුලක් ලබා දී තිබිණි.එහෙත් නළුවා විසින්ම තම රංග කුසලතාව මගින් තම භූමිකාවේ බාහිර අභිනය සකස් කොට කළ හපන් කමක් මෙහි දක්නට නැත.ඉහතකී වෙස් මකා සිතා බලන විට එහි ජගත් චමිල මිස වෙන කිසිවකු නැත.
එහෙත් පිංසර දොස්තර හී ටෝනි රණසිංහගේ රංගනය පැහැදිළිවම මැනවින් ගොඩ නගා විකාශය කළවිශිෂ්ටතා වලින් හෙබි බව කිව යුතුය. ඔහු තම සිරුර චරිතයට අනුකූල ලෙස සියුම් ලෙස හසුරුවන ආකාරය පැහැදිළිය.තරමක් හුදකලාවූ වයස්ගත අමුතු ගතිද ඇති පුද්ගලයාගේ සාමාන්‍ය ඉරියව් ඔහු තම අංග ප්‍රත්‍යංග ඇසුරින් ප්‍රතිනිර්මාණය කරයි.එසේම භාවමයවූ උත්සන්න  නාටකීය අවස්ථාවන්හිදී ඔහු ස්වකීය කටහඩ තිගැස්මෙන් ලෙලවමින් හා අවස්ථානුගත හද ගැස්මත් එහි කම්පනය වන සැප දුක් සහිත මනෝ භාවයන් සියුම් ලෙස අභිනය කරන අයුරු ප්‍රසංසනීයයි.භාව සන්නිවේදනයේදී මුහුණ හා දෑස විචක්ෂණ ලෙස උපයෝගි කර ගන්නේ රංගනය පෙනී සිටීමකට එහා ගිය දැනුවත් විද්‍යාත්මක කාර්යයක් බව ප්‍රකට කරමිනි.
තිර රචනයට අයත් භූමිකාවේ හරබර චරිත ලක්ෂණ ආරෝපණයවූ පමණින් නළුවකුගේ අභිනයෙහි විශිෂ්ටතාව මතු නොවේ.එහිදී නළුවා/නිළිය තම බාහිර අංග ප්‍රත්‍යංග හසුරුවන ආකාරයේ සියුම් බවත්, අභ්‍යන්තර හැගීම් ප්‍රකාශනයේදී කට හඩ හා ඉංගිති නිර්මාණයේත් හුරුබුහුටි බවක්දැක්විය යුතු වෙයි. පිංසර දොස්තර මේ ලක්ෂණ වලින් සමන්විතය.මෙලෙස රංග පරිසමාප්තයකට අදාළ පරිකල්පනය/ සන්නිවේදනය/ රිද්මය/ආවේග අව්‍යාජත්වය කරුණු අතින්  පූර්ණව ටෝනි කළ රංගනය යස අගේට අපූර්වවූ චරිතයක් විදහා පෑ බව සතුටින් පැවසිය හැකිය.
ජගත් චමිල ප්‍රතිභා පූර්ණ රංග ධරයකු බව සත්‍යයයි.එහෙත් රංග වේදයේ තවත් පසු කළයුතු කඩ ඉම් රාශියක් ඔහුටද ඇත.තවමත් යොවුන් වියෙහි පසුවන ජගත් නුදුරු අනාගතයකදී පරිසමාප්ත බව දිනා ගන්නා බවට සැක නැත.
ජගත් චමිලගේ රංගනය අදාළ උළෙලේදි ටෝනි රණසංහ ගේ රංගනයට වඩා කවර න්‍යායකින් විශිෂ්ට වූයේදැයි පහදා දෙන්නේ නම් එය රංගනය විධිමත් ලෙස හදාරණ අපේ තරුණ කැලට මහගු අධ්‍යයනයක් වනවා ඇත.මේ ආරාධනය විවෘතය.ස්තූතියි.  2012 දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා


Tuesday, December 4, 2012

සාම සම්මානයෙන් පිදුම් ලැබූදීපිකා ප්‍රියදර්ශණී පීරිස්

පිලිපීනයේ මැනිලා නුවර පැවති අන්තර් ජාතික ගුසී සම්මානයෙන් අපගේ ආදරණීය ගායිකා දීපිකා ප්‍රිය දර්ශනී මෙනවිය පිදුම් ලැබූ බව දැනගත් අප සැම අමන්දානන්දයට පත්වූ බව දසතින් අසන්නට ලැබේ“.සරෝජා දියණියේ“ වැනි මානව දයාවෙන් හෘද කම්පනය කිරීමේ අර්ථ හා මාධූර්ය ගුණයෙන් හෙබි ගීතයක් කාලීනව ලොවට ගයන්නට ඇය සමත් වීම අප කාගේත් ආදරයට හා ගෞරවයට හේතුවේ.ඇයගේ මධුර මනෝහර වූ හද පැහැර ගන්නා ද්වනි ගුණයෙන් යුත් ගායන කෞශල්‍ය හා සියුම් කටහඩ ජනතාව වෙනුවෙන් චිරාත් කාලයක් හැඩ වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.
සුගායනයට තුඩුදෙන අයුරින් ගීතයේ පද මාලාව අර්ථ හා ද්වනි ගුණයෙන් පූර්ණව රචනය කළ ගීත රචකයා මෙන්ම අති සියුම් නාද මාලාවක් සංයෝජනය කරමින් තනුව හා සංගීත නිර්මාණයකළ සංගිතඥයාණන්ද අපගේ නොමද ගෞරවයට මෙම මහගු  අවස්ථාවේදීම පාත්‍ර විය යුතුයැයි සිතමි.2012 .11 .04