Monday, July 13, 2009

ශ්‍රී ලාංකික සිංහල දමිළ සිනමාව

ශ්‍රී ලාංකික දමිළ සිනමාවක්

ශ්‍රී ලාංකික ජාතිකත්වය සමස්ත ජනතාව තුළ වර්ධනය කිරීමට ප්‍රබල මාධ්‍යයක් වශයෙන් සිනමාවට ඇති හැකියාව උපයෝගි කොට ගත හැකි බව කවුරුත් පිළිගන්නා කරුණකි. මෙහිදී රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට කළ හැකි සේවය අපමණය.
ශ්‍රී ලාංකික දමිළ විත්‍රපට බිහි කිරීමටත් එමගින් සකල ලෝකවාසී දමිළ ජනතාවට මෙන්ම ශ්‍රී ලාංකික සිංහල දමිළ ජනතාවට ඔවුනොවුන් පිළිබද සුහදතාව ආදරය විශ්වාසය හා අවබෝධය පුලුල් කිරීමටත් චිත්‍රපට සංස්ථාව මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති වීම කනගාටුවට කරැණකි. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව‍ට කල හැකි දේ..

1.ශ්‍රී ලාංකික සිංහල දමිළ පොදු ජන ජීවිතය අව්‍යාජව නිරූපණය කෙරෙන දමිළ සිනමාවක් සදහා ලංකාවෙ කලාතරුවනට ඇරයුම් කිරීම, ඉදිරිපත්වන අයට දිරිදීමි ලබා දීම
2.විදේශවල සිටින සිංහල දමිළ ජනතාවට ශ්‍රී ලාංකික සිංහල හා දමිළ චිතුපට නරඹන්නට අවස්ථා ලබාදීමෙ ක්‍රම සමිපාදනය.

3.දකුණු ඉන්දීය චිත්‍රපට මෙරටට ගෙන්වීම හුවමාරැ ක්‍රමයකට සිදුකරමින් ලාංකික දමිළ චිත්‍රපට අනිවාර්යයෙන්ම ඉන්දියාවට යැවීමෙ ක්‍රම සමිපාදනය කිරීම.

කලාකරැවන් මෙ සදහා තම හඩ අවදිකළ යුතු කාලයයි .

ඉහත සදහන් වැඩ පිළිවෙල මගින් ශ්‍රීලාංකික අනන්‍යතාවක් සහ අභිමානයක් සමස්ත ජනතාව තුළ වර්ධනය වනු ඇත. එසේම ශ්‍රීලාංකික ජනතාවට ඔවුනොවුන් හඳුනා ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් ඉක්මන් පහසු අවස්ථාව උදාවනු ඇත.

Monday, June 22, 2009

“එකමත් එක රටෙක....” දුර්ලභ ප‍්‍රතිභාවක නව ප‍්‍රවේශය.

අධ්‍යක්‍ෂවරයා තම ප‍්‍රථම සිනමා නිර්මාණය සඳහා අරමුණු කොටගෙන ඇත්තේ කුමක් ද? මෙතෙක් සිංහල සිනමාවෙහි නුදුටු විරූ නවමු කතා පුවතක් සිනමාත්මකව ඉදිරිපත් කිරීම හා එමඟින් සිංහල සිනමාවට තවත් නව තේමාත්මක ප‍්‍රවේශයක් විවර කිරීමත් ය. මේ සඳහා සනත් ගුණතිලක තේමා කරගන්නේ සර්වකාලීන මෙන් ම සර්ව භෞමික ධ්වනි වටිනාකමකින් යුක්ත අති සියුම් කතා පුවතකි. මෙම කතා පුවත පහසුවෙන් අවබෝධ කොටගත හැකි සුන්දර මතුපිට පෙළක් හා, එය විනිවිද යන අති සංකීර්ණ යටි පෙළක් සහිත වීම අගය කළයුතු විශේෂ තෝරා ගැනීමකි. එ හෙයින්ම මෙය සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයා පවා ආනන්‍දය ට පත් කළහැකි කෘතියක්වන අතර ම; ලොව කාල, දේශ පවා ඉක්මවා යමින් මානව සබඳතාවයේ නුදුටු, අති ගැඹුරු සත්‍යතාවක් දෙස අවලෝකනය ලබා දී ජීවන ප‍්‍රඥාව සපයන උසස් කෘතියක් බව ප‍්‍රත්‍යක්‍ෂවන කරුණකි. එ හෙයින් අධ්‍යක්‍ෂවරයා තම කුළුඳුල් සිනමා නිර්මාණය උදෙසා උසස් ලෙස තම අරමුණ මෙහෙයවා ඇති ආකාරය ගැන පේ‍්‍රක්‍ෂකයා ගේ පැසසුම හිමිවීම සාධාරණ බව කිව යුතු ය.
තමා සතු ලිංගිකාකර්ෂණය සියුම් ලෙස මහා බලයක් කරගත් කාන්තාවක් සහ එම කාන්තාව හා බැඳුණු ලිංගික පාශය නිසා ම ඇය ගේ සුවච, කීකරු ගැත්තන් බවට පත් ව දීනවන පෞරුෂයන් දෙකක් ද උපයෝගී කරගනිමින් සිනමාකරුවා අප තුළ රෝපණය කරන්නේ මිනිස් ජීවිතය පිළිබඳ සනාතන ධර්මතාවයක් පිළිබඳ ඥාණය යි, ප‍්‍රබල අත්දැකීම යි.
බෞද්ධ සාහිත්‍යයෙහි එන ජාතක කතාවන්හී ඉහත කී සත්‍යතාව විවරණය කෙරෙන කතාවස්තු කිහිපයක් ඇත. අධිරාජයන් හා සිත හික්ම වූ බලගතු තවුසන් පවා ලිංගික ආකර්ෂණයේ බලයෙන් ඇය තමා හමුවේ දීනයන් බවට පත් කොට අසරණ කළ අයුරු ඒවායින් නිදසුන් වෙයි. මේ විශ්වයෙහි කොතැනක හෝ කවර දා හෝ පවත්නා මේ සත්‍ය ය හෙවත් යථාර්ථය "එකමත් එක රටෙක....” සිනමා කෘතිය මඟින් පේ‍්‍රක්‍ෂක හද විස්මයෙන් කම්පනය කරවමින් ඥාණනය කරන බව එය නරඹන අපට ප‍්‍රත්‍යක්‍ෂ වෙයි. සමාජයෙහි අපහාසයට හා පිළිකුළට ද නිරන්තර ව භාජනය වන්නා වූ අහිංසක මිනිසකු පිළිබඳ මතුපිට කතා පුවතින් - ඊට වඩා බොහෝ ගැඹුරට ගිය යටි පෙළක් විදාරණය වෙයි. ලිංගික බැඳීම වූ කලි මේ ලොව පවත්නා ගැඹුරු ම මානව සම්බන්ධතාවයි. මිනිසා දෛනික ජීවිතයේ දී නිරන්තර ව සොයා ඇවිදිනුයේ මේ සබඳතාව ප‍්‍රධානකොට ගත් සෙසු මානව සම්බන්ධතාවන් ය. එහෙත් හැම මිනිසාට ම හිතකර වූ පතන සබඳතාව ලැබෙන්නේ නැත. තම රූපය නිසා හෝ වෙනත් ආර්ථික සමාජයීය හෝ සංස්කෘතික අඩුපාඩුකම්, වෙනස්කම් නිසා හෝ තමා ආකර්ෂණය වී ලබාගන්නට පතන්නා වූ උත්තරීතර සබඳතාවය නොලැබී දුකට පත්වන්නෝ බොහෝ වෙති. මේ නොලැබීම හා එයින් හටගන්නා බියකරු හුදෙකලාව මිනිසා මෙලොව දී නිරන්තරව පීඩාවෙන් පෙළෙන බලවේගයක් වෙයි. "එකමත් එක රටෙක....” විරූපී මිනිසා පෙළෙන්නේ මේ පොදු ඛේදවාචකයෙනි. තරුණිය හා නීතිවේදී තරුණයා අතර සබඳතාවය හා සිප වැළඳගැනීම් වැනි ලිංගික හැසිරීම් දෙස, තම කාමරයේ ජනේලය ඔස්සේ සැඟවී බලා සිටින මිනිසා විඳින්නේ, මිනිසෙකුට විඳින්නට අමාරු දැඩි චිත්ත පීඩාවකි. ඒ චිත්ත පීඩාව විසින්, ඔහු ගේ දිවිය ඊර්ෂ්‍යාවෙන් ද කෝපයෙන් ද, සෝකයෙන් ද මුසපත් කරවයි. දඩබ්බර තරුණිය දකින්නට පෙර ඔහු සේවය හරිහැටි කර අනුන්ගේ සබඳතාවයන් කාරුණිකව ඉල්ලා සිටින්නෙකි. මල් කෙල්ල ඔහුගේ මනෝ ලෝකය පුබුදුකළ සිහිනමය පේ‍්‍රමයයි. ඇය ගේ අව්‍යාජ සෝකී බැල්ම හා අනුකම්පාව පිළිඹිබු කරන වත ඔහුගේ සෞන්දර්යවත් හැඟීම් පුබුදුකරවයි.
තම බටනළාව වයමින් ඔහු සිහිපත් කරන්නේ ඇයව යි. ඔහු ඇයට තම පෙම පවසන්නට පැකිළෙයි. එය ඔහු ඇයට හඟවන්න ට තැත්කරන්නේ ව්‍යංගයෙනි. එනම් මල් නොගෙන නිකම් මුදල් දීමෙනි. මේ කරුණ මල් කෙල්ලට නොතේරෙන ප‍්‍රහේළිකාවක් වන බව ඇගේ බැල්ම අපට කියාපායි.
දඩබ්බර කාමාශක්ත තරුණිය ගේ වත හා බැල්මට ගොදුරුවන ඔහු ඇයට වසඟවෙයි. ඇය තම ජීවිතයේ පංගුකාරිය කරගැන්ම ඔහුගේ සිහිනය වෙයි. තමා හා සමීප ව සිටින සුවච කීකරු බැල්ල මෙන්, මේ තරුණිය තමා සමීපයෙහි සිට, තමා සතපනු ඇතැයි ඔහු සිතයි. එහෙත් ඇයගෙන් සුපුරුදු අපහාසය ලබන ඔහුගේ සිතිවිලි ඔහු වෙලාගෙන ඔහුට සංකීර්ණ වූ සංතාපයක් ගෙන දෙයි. මේ නිසා ඔහු සමාජය හමුවේ වෙනස් ව පෙනෙන්නට වෙයි. විකෘති හැසිරීම් ඇත්තෙක් වෙයි. සදාතනික මනෝවිද්‍යාත්මක හේතු සාධක පෙළගස්වමින් මේ මිනිසාගේ චරිතය සිනමා කෘතිය තුළ ගලායන අයුරු අතිශයින් සිත්ගන්නා සුළු ය. සිනමාරූපී බවින් යුක්ත ය. මේ නිසා මේ භූමිකාව සිංහල සිනමාව තුළ නැවුම් ය. අපූර්වත්‍වයෙන් යුක්තය. චිත්ත අභ්‍යන්තරයෙහි සැඟවී පැවතෙමින් මෝරන්නා වූ හැඟීම් දහරාව නිරූපණය කිරීම තුළින් මෙම චරිතය ළං වෙතොත් ළං වන්නේ නිධානය සිනමා කෘතියේ විලී ගේ චරිතය අභ්‍යන්තරික මනෝදහම නිරූපණයට පමණි.
දෙබසින් තොරව දෘශ්‍ය රූපාවලිය තුළින් මිනිසා ගේ චිත්තාභ්‍යන්තරය නිරූපණය කිරීම බෙහෙවින් සිනමානුරූපී ය. මෙහි දී මෙම භූමිකාව රූපණය කරන සනත් ගුණතිලක දක්වන්නේ රූපණ ශිල්පියෙකුට අතිශයින් අභියෝගාත්මක දුෂ්කර කාර්යයකි. මෙම භූමිකාව සුවිශේෂී ශාරීරික ලක්‍ෂණ හා අභයන්තර මනෝභාව වලින් සමන්විත ය. මුඛයෙහි විරූපී බව - දකුණු අතෙහි ඇදය - සිරුරේ පිටුපස පෙදෙසෙ හි අසාමාන්‍ය කුදු ලක්‍ෂණය - යනාදී මෙම ශාරීරික ලක්‍ෂණ අඛණ්ඩව සමබරව තබාගැනීමට නළුවා තම සිහිය එකවර මුඛය, දකුණු අත හා පිටුපස පෙදෙස යන තුන් තැනෙහි එකලෙසම දිගට ම පිහිටුවා ගතයුතු වෙයි. අනතුරුව අදාළ දර්ශනාවලියෙහි අන්තර්ගතය සිහියට ගතයුතු වෙයි. එහි මනෝභාව නිවැරදි ව රූපණය සඳහා සිහිය මෙහෙයවිය යුතුය. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව රූපණ විද්‍යාව දත් අය මැනැවින් වටහාගනු ඇත. කඩවසම් නළුවකු වූ සනත් මේ සියල්ල සඳහා වෙස් ගැන්වීම් අංග රචනය* තුළින් අඩු සහයක් ලබා මෙය කරන බව දකිනවිට එම ”අභ්‍යාස විශිෂ්ට” ප‍්‍රයත්නය අගය කළයුතු තරම් විස්මය දනවන සුළු ය.
මේ සිනමා කෘතියේ අනෙක් මූලික භූමිකාව වන්නේ, තරුණිය ගේ චරිතයයි. එම චරිතයද මතුපිටින් දිස්වන්නා වූ කතා පුවතෙහි චරිතය මෙන් ම ඒ හරහා ඉතා ගැඹුරට විහිදෙන ප‍්‍රබල යටිපෙළ භූමිකාවක් ද වෙයි. කතා පුවතෙහි අප දකින තරුණිය තමා සතු - පිරිමින් දපනය ලා ගැනීමෙහි පවත්නා නිසඟ හැකියාව උච්ච මානයක් කරගත් හිතුවක්කාරියක් බව ප‍්‍රකට වෙයි. මේ හිතුවක්කාර බව ගෙන එන්නේ කුඩා කල සිට ය. කුඩා කල ඇය ගේ හිතුවක්කාර දඩබ්බර ගතිවලට පියා පුළුටු මුහුණින් නිහඬ ව සිටි අතර, මව උදාසීන වූවා ය. ඇයට සුරතල් බසින් ප‍්‍රතිචාර දැක් වූ යේ නැනී වරිය පමණකි.* එලෙස ම මේ තරුණිය අපූර්ව වූ රූසපුවක් ඇත්තියකි. ඇයගේ මුහුණෙහි හා සිරුරෙහි යාන්තම් ගෑ සායමක් සේ කාමකාන්ත බව දිස් වේ. ඒ ඇය දැඩිලෙස සඟවාගත් කාමාශක්ත හැඟීම් ඇත්තියක බව කියාපාන සාධකයකි. ඇය හා තරුණයා ලිංගික ඇසුරට වැටෙන්නේ ද ඇයගේ මේ අනුබලතාව ඉඟියෙන් ලබමිනි. ලිංගික ඇසුරෙන් පසු ඇය තරුණයාට කියන දේ ඇගේ චරිතයෙහි සැඟවුණු බොහෝ ගති විදහාපායි. ඇය ”පිරිමියෙකුට යටවීමට සිදුවීම” තම අභිමානයට පහරක් සේ සළකන්නියකි. ඒ නිසාය ඇය වරින්වර ස්ති‍්‍රයක් වශයෙන් තමා ද සිරුරෙන් ද ශක්තිමත් බව තරුණයාට ඔප්පු කරන්නට හදන්නේ. මේ ප‍්‍රයත්නයම විසින් තරුණයාට මාරක අනතුර සිදු කරයි. ස්තී‍්‍රන් නූතනයේ මතුපිටින් දක්වන්නා වූ මෙන් ම අතීතයේ දී සිත යටින් දැක්වූ පුරුෂාධිපත්‍යය විරෝධය මැගේ මේ හැසිරීම්වල සංකේතයයි. තරුණියගේ භූමිකාව යටිපෙළක් වශයෙන් රූපණය කෙරෙන්නේ ස්ති‍්‍රයක සතු අයස්කාන්ත බවේ මහිමයයි. එය පුරුෂ බලය ඉක්මවා මැඩගෙන ගොස් එය පරඬැලක් බවට පත්කළ හැකි තරම් ප‍්‍රබල බව සිනමා කෘතිය අපට කියා දෙයි. තරුණයාත් - වැඩිහිටි මිනිසාත් යන දෙදෙනාම ඇයගේ ලිංගික ආකර්ශනය නැමැති පාශයෙහි බැඳී දුර්වලයන් බවට පත්වූ අයුරු දකින පේ‍්‍රක්‍ෂකයා මුළුමහත් මිනිස් සංහතිය තුළ පිරිමියා හා ගැහැණිය පිළිබඳ පවත්නා අවබෝධයේ නො දුටු යථාර්ථයක් ප‍්‍රත්‍යක්‍ෂ කරමින් පුළුල් ඥාණාවබෝධයක් ලබන්නේ මිනිස් දහම පිළිබඳ දැඩි කම්පනයකට පත්වෙමිනි. කෘතිය අවසානයේ පේ‍්‍රක්‍ෂකයා නැගී සිටින්නේ මේ කම්පනය විසින් දනවනු ලබන විස්මය ද රැගෙනය.
නිරෝෂා පෙරේරා රංගන ශිල්පිනිය ට ඇයගේ භූමිකාව ප‍්‍රතිනිර්මාණය කිරීමේ දී ඇය සතු රූපකාය සහ වතෙහි ස්වාභාවය බෙහෙවින් පිහිටවන බව අපට ප‍්‍රත්‍යක්‍ෂ වේ. ඇය ගේ හැඟීම් සගවාගත් මුහුණ කියවීම පහසු නැත. සිනමා කෘතිය පුරා මේ බව දැනේ. ඇය සිතන්නේ කුමක් ද යන්න වැටහෙන්නේ කි‍්‍රයා කළා ට පසුව ය. මෙහි මතුපිටින් දිස්වන කාන්තාව ට වඩා ව්‍යක්තව පවතින්නේ යටිපෙළෙ හි භූමිකාව ය. එහි ඇය පොදු ස්තී‍්‍රත්‍වයයි. නිරෝෂා ගේ මුහුණේ පැහැය පවා මේ පොදු බවට රුකුල් දෙයි. අනවශ්‍ය ඉස්පිලි, පාපිලි නැතිව ඇය ගේ රංග රචනාව ප‍්‍රවේශම් සහිතව ගොඩනැගීමට ඇය දරා ඇති උත්සාහය සාර්ථකය. අහවල් කාලයේ අහවල් රටේ හිටිය ගැහැණිය යන්න වෙනුවට පොදු ස්තී‍්‍රත්‍වය විදහාපෑම මඟින් මෙම රංගනය අභිරාමවත් ය.
සනත් ගුණතිලක තිරනාටක රචකයා ප‍්‍රංශ ජාතික එමිල් සෝලාගේ කෙටි කතාව ඇසුරින් එහි භූමිකාවන්ගේ බාහිර අභ්‍යන්තර ගති ලක්‍ෂණ ප‍්‍රබල යටිපෙළක් ධිවනිතවන ලෙස ගෙත්තම්කර ඇති අයුරු ප‍්‍රශස්ත ය. විරූපී මිනිසාගේ දෛනික ජීවිතය කුහුල මුසු කරමින් ඒකාකාරී බවින් ද යුතුව එහි නවමු හැඟීමෙන් නැරඹිය හැකි ලෙස ගොඩනඟා තිබීම ඇගයිය හැකි ය. රූපාවලිය චරිතයන් හි අභ්‍යන්තර හැඟීම් එළිදරව්වන ලෙස පෙළගැන්වීම ද මනා ලෙස ඉටුකර ඇති දුෂ්කර කාර්යයකි.
අධ්‍යක්‍ෂවරයා ලෙස තමා නිරූපණය කළ චරිතය මෙන්ම සෙසු චරිත නිරූපනය ද මෙහෙයවා ඇත්තේ අන්තර්ගතයේ ගැඹුර ගැන මනා අවබෝධයකිනි. එලෙසම කතා පුවතෙහි පසුබිම ලෙස ලාංකීය ජන ජීවිතය පිළිබිඹු නොකර කඳුකර පරිසරයක් තෝරා ගැනීම ද ඊට අදාල ඇඳුම් පැළඳුම් භාවිත කිරීම ද තේරුමක් සහිතව කළ බව පෙනේ. කාලය - දේශය නොහඟවන ඒ ඉක්මවා යන සනාතන දහමක් මෙම සිනමා කෘතියෙන් ඉදිරිපත් කරන බැවින් ඊට අනුබල දෙන ලෙස ඉහත කී අංග තෝරා ගැනීම ද අවබෝධයෙන් කළ බව ප‍්‍රත්‍යක්‍ෂ වෙයි. "එකමත් එක රටෙක....” යන නමින් ද ඔහු කරන්නේ එම සනාතන බව තහවුරු කිරීම යි. පසුබිම ලෙස ලාංකීය පරිසරය යොදාගත්තා නම් තේමාව ට හානිවන පරිසරයක් ඇතිවීමට ඉඩ තිබෙන බව අධ්‍යක්‍ෂවරයා කළින් ම වටහාගෙන තිබීම යහපත් ය. සංගීතය ද - විශ්වීය ගති ලක්‍ෂණ සහිත සංකල්පනා මුසු කරවීමෙහි සමත් ය. එනයින් තේමාවේ සාර්වති‍්‍රක බව අපූරු ලෙස රැකගෙන තිබෙන බව පේ‍්‍රක්‍ෂක අපට අවබෝධ වේ.
සිනමා කෘතිය මුල පටන් අගට නැරඹීමේ දී එහි රූපාවලියෙහි ආලෝක වාතාවරණය පේ‍්‍රක්‍ෂකයා තුළ සෞන්දර්යවාදී චිත‍්‍රපටයක් නැරඹීමේ දී ඇතිකරවන හැඟීම් බිහිකරවීම ට සමත් ය. විරූපී මිනිසා - තරුණයා හා ස්ති‍්‍රය යන තිදෙනාගේ මේ ජීවිත ඛේදාන්තය නිරූපණයේ දී රූපරාමුවල පවත්නා දීප්තිය හා පසුබිමෙ හි පවත්නා අධි සුන්දරත්වය සිනමා කෘතියෙහි කලාත්මක සංයෝජනය ට පරස්පරව ඇති බව අධ්‍යක්‍ෂවරයා කල්පනා කටයුතුව තිබිණි. මෙය මෙම චිත‍්‍රපටයේ සම්භාව්‍ය ලක්‍ෂණ උදුරා දැමීමට යම් තරමකින් ඉවහල් වී ඇති බව කල්පනාකාරී පේ‍්‍රක්‍ෂකයා ට අවබෝධ වේ.
සමස්ථයක් වශයෙන් ගත් කළ "එකමත් එක රටෙක....” වූ කලී ප‍්‍රතිභාසම්පන්න අධ්‍යක්‍ෂවරයෙකුගේ පහළවීම සනිටුහන් කරන, මිනිස් ජීවිතය පිළිබඳ ලොමු දැහැගන්වන කල්පනාවෙන් අප පුබුදුවා - නව ඥානයක් අත්කර දෙන්නා වූ නවමු ආනන්දයක් ප‍්‍රදානය කරන දුර්ලභ නව පිටුවක ප‍්‍රවේශය බව නොමසුරුව සඳහන් කළ හැකි ය.

-එඩ්වින් පීරිස්-

Tuesday, May 19, 2009

සොයුරනි

ලාංකික දමිළ සොයුරනි, සොයුරියනි
බසයේදී හෝ දූම්රියේදී හෝ
රෝහල් බංකුවේදී හෝ
මහ මගදී හෝ
කවර ගනුදෙනුවකදී හෝ
අපි අපේ ඡාතියක් ගැන නොසැලකුවෙමු
ජාතිවාදී අරමුණු ඉස්මතු නොකලෙමු
ඉදිරියටත් ජාති භේද නොසලකන්නෙමු
ඔබත් ඔබේ ජාතියට
වෙනම බංකුවක් හෝ
වෙනම ඉඩක් හෝ
වෙනම ධජයක් හෝ
නොඉල්ලන්නට පරෙස්සම් වුවහොත්
අප දෙදෙනාටම එකම ධජයක් යට
මේ එකම බංකුවේ හොඳටම ඉඩකඩ තිබෙනු ඇත
සැනසීම තිබෙනු ඇත

අවි ගත්තෝ අවියෙන් නසිති

ඔහුගේ නමෙහි තේරුම "හිරු" යනුයි.‍
එහෙත් ඔහු ආලෝකය දුන් හිරු නොවේ.
ඔහු විෂ සුලඟින් මෙලවුණු චන්ඩවූ, පරුෂවූ, අශික්ෂිත "ගිනිගොඩක්" ම විය.
ගිනිගොඩ නිවා දැමිණි.
බාහිර බලපෑමි නමැති විෂ සුලඟ තවමත් හමයි.
එයද නුදුරෙහි නිමාවනු ඇත.
ඔහුගේ චරිතයෙන් ඔහු ලොවට පෙන්වා දුන්නේ කුමක්ද...?
අනාගත ඉතිහාසයේ පරිච්ඡේදයක් පාසා ඔහුගේ නම ගර්හාවට භාජනය වනු ඇතැයි
මම කියමි.
එසේ නොවේ යැයි කියන කිසිවකු හෝ සිටියහොත්
ඔහුගේ අදහස් සාධාරණ දැයි විනිශ්චය කරන්නට ලෝකය සැදී පෑදී සිටී.
එහෙත් ඒ ගිනිගොඩ සාධාරණ යැයි කිහන්නට
කිසිවකු මේ මිහිපිට නැතැයි මම සිතමි.

Saturday, May 16, 2009

නිර්මාණ රසවිඳීම හා විචාරය

යම්කිසි නිර්මාණයක් කියවලා හරි, නරඹලා හරි එය විචාරය කරන්න කලින් උත්සාහ කරන්න ඕන ඒ කෘතිය රසවිඳීමයි. රසාස්වාදය තමයි රසිකයාගේ මූලිකම උවමනාව. අප චිත්‍ර පටයක් බලන්න යන්නේ විචාරය කරන්න නෙමෙයි රසවිඳින්නයි. ඊට පසු නිර්මාණ කෘතිය තමන්ට අත්කර දූන් ආශ්වාදනීය අත්දැකීම ගැන හැඟීම තමයි අප විචාරයක් හැටියට පිටකරන්නේ. අපූරුයි! හරි ෂෝක් චිත්‍ර පටිය! ආෂික්! විශිෂ්ටයි! ආදී වචන වලින් රසිකයා තමාගේ දැනුමේ හැටි හැටියට අර ආශ්වාදනීය අත්දැකීම ගැන සඳහනක් කරනවා. මේ තමයි රසිකයාගේ අව්‍යාජ මූලිකම විචාරය. ඒ වගේම තමන් බැලූ චිත්‍ර පටය හරි නාට්‍ය හරි තම රසවින්දනය ප්‍රබෝධ නොකලානම් කියනවා හරිම සවුත්තුයි! ජරාවක්! කිසිම වැඩකට නැහැ! ආදී වචන. මේ කියන්නේ එම කෘතිය තමාව වින්දනයට පත් කලේවත් තමාට අපූර්ව අත්දැකීමක් ලබා දීමට සමත්වුනේවත් නැති බවයි. ‍
යම් කිසි නිර්මාණ කෘතියක් රසවිඳින්න හා එහි අත් දැකීම උකහා ගන්න කෙනෙකුට ඒ මාධ්‍ය ගැන දැනුමක් හා අභ්‍යාසයක් තියෙන්න ඕනි. ලෝකයේ තාබෙන හූඟක් උසස් චිත්‍රපට බලා අධ්‍යයනය කල අයෙකුට අපේ චිත්‍ර පටයක හොඳ නරක හඳුනා ගන්න බොහෝම ලෙහෙසියි. ඒත් දුර්වල චිත්‍රපටයක් හෝ ජීවිතයේ පලමු වරට බලන තැනත්තාට එම කෘතිය දැනෙන්නේ අපූර්ව ආනන්දනීය අත්දැකීමක් හැටියටයි. මොසාර්ට් (Mozart) ගේ හෝ බීතෝවන් (Beethoven) ගේ හෝ සංගීතයක් රසවිඳින්න නම් ඒ සංගීතය ගැන මනා දැනීමක් තියෙන්න ඕනි. මේ දැනුම නැති අයකුව මෙම සංගීතය අහන්න වාඩි කෙරෙව්වොත් සමහර විට ටික වේලාවකින් ඔහු නිදාගනියි. නැත්තන් නැගිටලා යයි (ප්‍රතිචාර)
විචාරය කියන්නේ තමන් නිර්මාණ කෘතියක් රස වින්දනය කල අයුරු ප්‍රකාශ කිරීමයි. මෙන්න මේ මේ කරුණු නිසා මේ කෘතිය තමාව ආනන්දයට පත්කල හෝ නොකල බවත් ඒ ඔස්සේ තමාට ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ලැබුණු හෝ නොලැබුණු බවත්, කෙනෙකුට සවිස්තරව විග්‍ර කරන්න පුලුවන්නම් ඒක තමයි උසස් විචාරය. එහිදී එම මාධ්‍යට අදාල ශිල්පීය වචන, න්‍යාය ආදිය ගැන තම දැනුම උපයෝගී වෙනවා. එවැනි විචාරයක් කියවා බලන දැනුමෙන් අඩු අයකුට පවා අර කෘතිය ගැන පෙර නොතිබූ දැනුමක් පවා ඇතිවෙනවා. උසස් විචාරය කියන්නේ නිර්මාණ කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීම වගෙ නිර්මාණාත්මක කාර්යයක් යැයි හඳුන්වන්නේ ඒ නිසයි. "විචාරකයෙක් වෙන්න කලින් හොඳ රසිකයෙක් වෙන්න ඕන". ඒ සඳහා දැනුම හා සතතාභ්‍යාසය ඕන. ඊට පසු කෘතියක් රසවිඳිනකොට තමා තුලින් මතුව එනවා කවර කරුණු නිසාද මේ කෘතිය උසස් වන්නේ හෝ පහත් වන්නේ හෝ කියන අදහස්. ඒ අදාල හේතු සාධක තමයි හොඳ විචාරයක සඳහන් වන්නේ. එසේ නැතිව කියන්නන්වාලේ කීම හෝ ප්‍රචාරයට රැවටීමෙන් හෝ වෙනත් හේතු නිසා හෝ "මේ කෘතිය විශිෂ්ටයි" "මේ කෘතිය අවර ගණයේ එකක්" යනාදී වශයෙන් නිගමනය විතරක් ගෙන හැර පෑම උගත් විචාරකයාගේ ලක්‍ෂණයක් නෙවෙයි. ඒ වගේම හේතු සාධක සහිතව නිර්මාණ කෘතිය "විශිෂ්ටයි" කිව්වත් "පහත්" යැයි කිව්වත්කමක් නැහැ. විචාරකයාට සාධාරණ හේතු මත ඒ කවර නිගමනයක් හෝ ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවා. ඉතින් එවැනි විචාර කියවන්න පුරුදුවුනාම ඕනෑම රසිකයකුගේ රස විඳීමේ හැකියාව වර්ධනය වෙනවා. විචාරයක් කියවලා ඒ අනුව නිර්මාණ කෘතිය දිහා නැවත බලා එම විචාරයේ කරුණු සත්‍ය දැයි පරීක්‍ෂා කර බලන්න රසිකයා පුරුදු වුනොත් රසිකයාගේත් නිර්මාණ මාධ්‍ය වලත් දියුණුවක් ඇතිවෙන්න පටන් ගන්නවා. එයින් කෘතීන් පිළිබඳව තමන්ගේම සාධාරණ මතයක් ගොඩනගා ගැනීමට රසිකයාට හැකියාව ලැබෙනවා.

නිර්මාණ කෘතියක් විචාරය කරීමේදී පහත සඳහන් කරුණු විමසා බැලීම වඩා පලදායක බව ජර්මන් ජාතික මහා කවි Goethe විසින් දක්වා තිබෙන බව පොත් පත් වල සඳහන් වේ.

  1. නිර්මාණ කරු කරන්නට උත්සහ දරා ඇත්තේ කුමක්ද?
  2. ඔහු එය කෙතරම් හොඳින් ඉටු කොට ඇත්ද?
  3. එවැනි නිර්මාණයක් කිරීමේ අර්ථයක් ති‍බේද?
කෘතියක් රස විඳිමින් ඉහත කරුණු විමසා බැලීමෙන් ප්‍රමාණවත් විචාරයක් ගොඩනැගෙනවා. එසේ නොමැතිව කිසිම නිර්මාණ කෘතියක් ගැන තම "නිගමනය" පමණක් ප්‍රකාශ කිරීම විචාරය නොවේ.

ආලෝකය සහ අඳුර

"ප්‍රදීපාගාරයෙහි ආලෝකය එහි ඇතුලට නොවේ. එයින් පිටතටයි"

සිනහව

මිනිසා සතුටට නගන සිනහව
මිනිසා දුකට නගන සිනහව
මිනිසා බයට නගන සිනහව
මිනිසා කැමැත්තට නගන සිනහව
මිනිසා අකමැත්තට නගන සිනහව
මිනිසා උපහාසයෙන් නගන සිනහව
මිනිසා අපහාසයෙන් නගන සිනහව
මිනිසා ද්වේශයෙන් නගන සිනහව
මිනිසා දයාවෙන් නගන සිනහව
මිනිසා ලැජ්ජාවෙන් නගන සිනහව
මිනිසා උපේක්‍ෂාවෙන් නගන සිනහව
ආදී වශයෙන් මිනිසාගේ සිනහව තරම් සංකීර්ණ අරුත් ඇති මානව ක්‍රියාවලියක් තවත් කොහිද?
සිනහවේ අරුත් දන්නෝ සිනහවට සිනානොමසෙති
මේ ඔබ නගන්නේ කුමන සිනහවක්ද?
෴