Wednesday, October 31, 2012

නවකථාවලටපිදෙන සම්මාන වලින්කෙරෙන්නේ පාඨක ජනතාව මුලා කිරීම ද?_2


නවකථාව යනු කුමක්ද? උසස් නවකථාවක් හදුනා ගත හැක්කේ කවර මිනුම් දඩු වලින්ද?යන්න අද අපේ නවකථාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ලොකුම ගැටළුවයි.මේ පැනයට එක් එක් තීරක මණ්ඩලය දෙන පිළිතුරුද විවිධය.කෙනෙක් නවකථාවක ආකෘතිය එහි අපුර්වත්වය ලෙස දකිති.කෙනෙක් එය භාෂා භාවිතයේ ඇති දක්ෂතාව අනුව හුවා දක්වති.කෙනෙක් කතුවරයාගේ නමට හා තත්වයට හොද ලකුණු දෙන බව පෙනේ.තවත් කෙනෙක් නවකථාවේ පිටකවරයට හා එහි නාමයට පැහැදෙන බව පෙනෙන්නට තිබේ.අලියා සහ අන්ධයෝ විලසින් කෙරෙන මෙම විවරණ වලින් පඹ ගාලේ පැටලෙන්නේ රස පිපාසිත පාඨකයන්වූ අපමය.දැනට මෙම වසරේ සම්මාන දිනා ඇතිහොදම නවකථා තුන හතර නැවතත් සමීක්ෂණය කොට ,ඇත්තටම හොද නවකථාව, තෝරා ගැනීම සදහා ඇත්තම විද්වත් මණ්ඩලයකට භාර දීම නරකදැයි තරුණ පාඨකයන් ප්‍රශ්න කරන්නේ ඔවුන් තුළ සාහිත්‍ය ග්‍රන්ථ විනිශ්චයට භාජනය කළාවූ තීරකයන්ගේ නව දැනුම පිළිබදව අවිශ්වාසයක් ජනිතවී ඇති නිසාදැයි විමසා බැලිය යුතුවෙයි.
හොදම නාට්‍ය.හොදම කාව්‍ය ග්‍රන්ථය තේරීමේදීද මේ අවුල මෙලෙසම පවතී.එම නිසා හොදම නිර්මාණ තේරීම මදකට කල්දමා ඒ ඒ වරගයේ සාහිත්‍ය නිර්මාණවල තිබිය යුතු උසස් ලක්ෂණ මොනවාදැයි විශ්ව මට්ටමින් අධ්‍යයනය කොට සර්ව සම්පූර්ණ නිර්ණායක නිබන්ධනයක් සදහා සංගායනයක් පැවැත්වීමටත් ඒ අනුව විචාර සංග්‍රහයන් කිරීමටත් සාහිත්‍ය කලා විද්වතුන් උත්සාහවත් විය යුතු බව පැවසීම කාලෝචිතයැයි සිතිය හැකිය.        2012 ඔක්තෝබර් මස 19

Monday, October 15, 2012

සිංහල නවකථා වලට පිදෙන සම්මාන වලින් කෙරෙන්නේ පාඨක ජනතාව මුලා කිරීම ද ?

මේ වසරේද හොදම සිංහල නවකථාව සදහා පුදදෙනු ලැබූ සම්මාන අතර පාඨක ජනතාව අතරමං කරනු ලැබ සිටීයැයි දැන් අපට පැහැදිළි වී ඇත.2012 වසරේ හොදම සිංහල නවකථාව කුමක්දැයි කෙනෙක් කපිල කුමාර කාලිංග යන්ගේ පියෙසි කවුළුව නමැති නවකථාව සනිටුහන් කර ගන්නා අතර තවත් කෙනෙක් එය ශ්‍රියානි ඒකනායකගේ සිටුවර පුවත යැයි සිහි තබා ගනිති.ඒ අතර බටුවන්ගල රාහුල හිමිගේ නයිගලින් උපන් පුත්‍රයෝ හොදම නවකථාවයැයි කෙනෙක් කියන අතර මේ වසරේ හොදම නවකථාවක් නැතැයි කෙනෙක් උදම් අනති.
මේ නවකථා සේරම මනස්ගාත කියමින් වසරේ හොදම සාහිත්‍ය කියමන මේ අතර ප්‍රකාශයට පත් කර ඇත්තේ විනිශ්චය මණ්ඩලයක සභාපති වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය වරයකු විසිනි. 
ඉතින් පාඨක අප අතරමං නොවන්නේයැයි කිව හැකිද??...
2012 10 16

Sunday, October 14, 2012

තණ්හාව මතුපිටට පැමිණි යුගයක්


අද ලෝකය තණ්හාව මතුපිටට පැමිණි යුගයක් හැටියට හදුන්වන්න පුලුවන්.එහෙම කියන්නේ මිනිසුන් විවෘතවම තණ්හාව පෙන්නුම් කරමින් කටයුතු කරන බව හොදින්ම පෙනෙන්නට තියෙන නිසයි.තණ්හාව සගවාගෙන වෙනත් ස්වරූපයකින් තම කාර්යය ඉෂ්ට කර ගැනීම සදහා කටයුතු කරන්නේ කලාතුරකින් බවයි පෙනෙන්නේ.එම නිසා අද ඔවුනොවුන් හා තරග වැදීම මෝස්තරයක් හා වීර කමක් හැටියටයි  පිළිගැනෙන්නේ.තරගයට නොඑළඹීම මෝඩ කමක් ලෙස ගැරහුම් ලබන ප්‍රතිපත්තියක්.අපි අද දරුවන්ට උගන්වන්නේම හැකිතාක් තරග වදින්නටයි.අනෙකාට වඩා ලකුණු ගන්නට කැපී පෙනෙන්නට,සියලු දේ අත්පත් කර ගන්නට,මුදුන් වෙන්නට අප උගන්වන්නේ එසේ නොකලොත් දරුවා සමාජය හමුවේ කොන් වෙතැයි යන බියෙන්.
එහෙත් අනෙකාට ගෞරව කිරීම ,අනෙකාට නිසි තැන දීම,අනෙකා සමග බෙදා හදා ගැනීම මානව ගුණ ධර්මයක්. එය පුරුදු කළ සමාජය අනවශ්‍ය ගැටුම් වලින් තොර සතුටින් ජීවත් විය හැකි තැනක් වන බව වර්තමාන මිනිසුන් දන්නේ නැහැ.ක්‍රෝධයෙන් හා වෛරයෙන් පුපුරු ගසන සිත් ඇති ලෝකයක කිසිවකුටත් කිසිවක්ම දිනා ගැනීමට අවස්ථා නොමැති බව තේරැම් ගන්නට තරම් අද මිනිසා ප්‍රඥාවත් නැහැ.මෙවැනි වකවානුවක ප්‍රඥාවන්තයෝ ඉවසීමෙන්,මෛත්‍රී කිරීමෙන් කරැණාවෙන් හා අනෙකාට ඉඩ දීමෙන් කිසිවෙකුටවත් නොදැනෙන්නට බොහෝ දේ දිනා ගන්නා බව නුවනින් විමසන කෙනෙකුට පෙනෙනවා ඇත.ලෝකය දිනන්නට ලෝකයා හා තරග කළ යුතු නැත.

Wednesday, September 23, 2009

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන - ආකාස කුසුම්

අධ්‍යක‍ෂවරයාගේ රූප රචනයෙහි මහිමයෙන් පිපී දිදුලන
ආකාස කුසුම්

—ආකාස කුසුම් - ලාංකික ජන ජීවිතයේ උප සංස්කෘතියක් තුළ සැරිසරන පොදු නො වූ ස්ත්‍රිය පිළිබඳ වූ සිනමා කවියකියි එය නරඹා සිනමා රඟහලින් නැඟිට එන පළමු මොහොතේ දී ම කිසියම් රසිකයෙකුට සිතේ නම්, එය හේතු යුක්ති සහිත සිතිවිල්ලකි. මෙම සිනමා කෘතිය කේන‍ද්‍රීය වශයෙන් සන‍්ධ්‍යා රාණි නමැති ස්ත්‍රිය පිළිබඳ ආත්ම විවරණය යි. සන‍ධ්‍යා රාණි - දශක දෙකක ට එහා අතීතයෙහි වැජඹි සිනමා තාරකාවියකි. වර්තමානයෙහි ඇය නටඹුන් වූ සිය අතීත ජීවිතය සිතින් යටපත් කරන්නට වැර දරමින් සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නට වෙර දරන කාන්තාවකි. එහෙත් අතීත ජීවිතය ඇය ට ද හොරා ඇය තුළ තවමත් හොල්මන්කරයි. ලාංකික ජන ජීවිතය තුළ සිටින සාමාන්‍ය කාන්තාවකගෙන් ඇය වෙනස් වනුයේ, ඇය මුහුණපාන බොහෝ ගැටළු සිනමා නිළියක වීමේ ප්‍රතිවිපාක වශයෙන් ඇය අත්දකිනු ලබන ඒවා ම වනබැවිනි. අනෙක් අතට සන‍ධ්‍යා රාණි තුළ උණුසුම් දරු සෙනෙහසක් හා පසුතැවිල්ලක් මතුකෙරෙමින් ඇයගේ චරිතයෙහි අවසාන භාගයෙහි දී ඇයට හමුවන —ප්‍රියා නමැති එක ම දියණිය ද අපගේ පොදු ජන ජීවිතයෙහි ඉතා දුලබව දක්නට ලැඛෙන කැරෝකේ සමාජශාලා සේවිකාවකි. ප්‍රියා මුහුණපාන අත්දැකීම් ද අප සමාජයෙහි ස්ත්‍රිය ඒ අයුරින් ම අනුභවකරන්නේ නො වේ. එහෙත් පිරිමියා නිසා වධ බන්ධනයට ලක්වන පොදු ස්ත්‍රිය ද ඇය තුළ ජීවමාන වෙයි. අනෙක් භූමිකාවක් වනුයේ ටෙලි නාට්‍ය නිළිය යි. ඇය වත්මනෙහි මුහුණ පාන තත්ත්වයන් සන‍ධ්‍යා රාණිගේ අතීත දිවිය පිළිබඳ සංකේතයක් බඳු ය. ඇය ද මුහුණපාන්නේ ඇයගේ ක්ෂේත්‍රයට අදාළ ව පැන නඟින විශේෂ අවස්ථාවන්ට ය. සන‍ධ්‍යා රාණාගේ බාල නැඟණිය (කෞශල්‍යා) ලාංකික ජන ජීවිතයට අයත් සාමාන්‍ය ස්ත්‍රියකවන අතර ඇය මුහුණපාන්නේ සිය පවුල නඩත්තු කිරීම පිළිබඳ පොදු ආර්ථීක හා සාමාජීය ගැටළුවට ය. සන‍ධ්‍යා රාණි ට ද අව්‍යාජ ජීවිතයේ බර හා වගකීම රැගෙන එනුයේ මෙම නැගණිය ගේ චරිතය විසිනි. ආකාස කුසුම් විවරණය කරන්නේ ඛෙහෙවින් විශේෂිත වූ ක්ෂේත්‍රයක ලාංකීය ස්ති‍්‍රය බව පැහැදිලි ය. අධ්‍යක‍ෂවරයා ගේ අරමුණ ද එය යි.
ආකාස කුසුම් සන‍ධ්‍යා රාණිය ගේ චරිතය කේන්ද්‍රකොට ගත් ඇයගේ ආත්ම විවරණය යි. මෙහි ආරම්භයක සිට කූට ප්‍රාප්තිය දක්වා දිවෙන කතා පුවතක් නැත. මෙහි ඇත්තේ ඇය ගේ වර්තමාන ජීවිතය හා අතීත නටබුන් අතර සැරිසරණ මතක සටහන්වල එකතුව යි. එහෙයින් ආකාස කුසුම් සාම්ප්‍රදායික සිංහල සිනමා කෘතියක ට, බොහෝ ඔබ්බට යන ප්‍රශස්ත නිර්මාණයක් බවට පත් වෙයි. සන‍ධ්‍යා රාණි ගේ අතීත තාරකා ජීවිතය ද දිස්වනුයේ ශෝක මුසු අපූර්ව වූ උත්ප්‍රාසයක් ද දනවමිනි. එලෙසින් අධ්‍යක‍ෂවරයා ප්‍රයත්න දරා ඇත්තේ සිනමා ප්‍රේක‍ෂක ජනතාව ගේ සිහින ලෝකය අරා වැජඹෙන, වැජඹුණු තාරකා ගුණයෙන් අනූන වූ නිළියන් ගේ දිලිසෙන ජීවිතයේ අභ්‍යන්තරයේ පවතින්නා වූ ඛේදනීය යතාර්ථය මතුපිට ට ගෙන විහිදා දැක්වීම යි. එයින් ප්‍රේක‍ෂකයා දැනුවත් ව ඥාණනය වනුයේ පොදු ස්තී‍‍්‍රත‍්වය ට වඩා විශේෂ ‍‍‍‍කෙ‍ෂ්ත්‍රයක ස්ති‍්‍රය පිළිබඳ ව යැයි සටහන් කළ හැකි ය. ස්වකීය දරුවා සැමියා ට පරිත්‍යාග කොට සිනමා ලොවට වෙන් වී යන සන‍ධ්‍යා රාණි ගේ ජීවිතය පටන් ගැන්මේ දී ම මෙම විශේෂත‍වය ආරම්භ වෙයි.
ප්‍රසන්න විතානගේ —ආකාස කුසුම් සිනමා කෘතිය පබඳන්නේ එහි තිර නාටක රචනයේ සිට ම වනබව සිනමා කෘතිය විකාශනය වන අයුරින් පැහැදිළි ය.
අඳුරු වැසි දිනෙක ගෙමිදුලක හුදකලාව ම නවත්වා ඇති කලූ පැහැති කාර් රථයක් වැස්සෙන් තෙමෙන සමීප රූපයක් මොහොතක් දෙකක් තිරයෙහි දිස් වේ. රථය මත පතිතවන වැසි දියෙන් තෙත්වන රථයෙහි ඉදිරි කවුළුවත්, පැති කණ්නාඩියත් ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ අඳුරු ශෝකාකූල හැඟීම් සමුදායකි. එම හැඟීම් සමඟ ප්‍රේක‍ෂක දෑස ට ළං කරන්නේ, වැසි අඳුරින් පිරුණු - ගෙදර ඉස්තෝප්පුවක හිඳ ලියුමක් දෙස අවධාන යොමුකොට සිටින සන‍ධ්‍යා රාණිගේ මධ්‍යම රූප රාමුවකට යි. ගෙවී ගිය කාලය විසින් ඇගේ මුහුණෙහි සටහන් කොට ඇත්තේ දුක්-දොම්නස, හුදෙකලාව, අපේක‍ෂාව සනිටුහන්කරන ඉරි - කළු පැල්ලම් හා නෙත් බැල්ම යි. මෙම රූප රාමුව සිනමා කෘතියෙහි ආරම්භය මෙන් ම, ඒ සන‍ධ්‍යා රාණිගේ හුදෙකළා - දොම්නස් සහගත අනිවාර්යයෙන් වියැකී යන ජීවිත ඉරණම නිසඟව ප්‍රේක‍ෂක මනැස තුළ සංකල්පීය ව සිතුවම්කරන ලද පද වැලක් වැනි ය. ඉස්තෝප්පුවේ වහළෙන් වැහි දිය බේරෙයි. සන‍ධ්‍යා රාණි ශෝකය ද හද රඳවාගෙන ඒ දෙස බලා සිටී. ඇය ආධ්‍යාත්මයෙන් ගරා වැටෙන්නී ය. සන‍ධ්‍යා රාණිගේ භාවාත්මක මුහුණ වැසි අඳුර හා වැහි දිය දහර ත්, තෙමෙන මෝටර් රථය ත් දක්වමින් අධ්‍යක‍ෂවරයා සන‍ධ්‍යා රාණිගේ භූමිකාවේ ගැඹුරු පදාසයක් රූපමය කාව්‍යයක් ව චිත්‍රණය කරයි. මෙහි දී අඳුර, ආලෝකය, වැසි දිය, මෝටර් රථය, වැසි අඳුරින් පිරුණු ඉස්තෝප්පුව හා සන‍ධ්‍යා රාණිගේ මුහුණ ද ලියුම ද එක් වී ප්‍රේක‍ෂකයා තුළ ජනිත කරන්නේ එම භූමිකාව පිළිබඳ ඛේදනීය වූ සිතිවිලි සංකීර්ණයකි. කිසියම් ලයකින් කිසියම් කාලයක් තුළ තිරයෙහි දිස්වෙන කෙටි රූපාවලිය සමෝධානය වීමෙන් අධ්‍යක‍ෂවරයා නඟන්නට සිතූ භාවය ත්, අර්ථය ත් නිරූපණය වෙයි. කවියා පද එකතු කිරීමෙන් නව අරුතක් නංවන්නාක් මෙන්, තමා පමණක් පූර්වයෙහි අදහස් කළ හැඟීම් සහ අර්ථය නංවන්න ට මෙහි දී අධ්‍යක‍ෂවරයා දක්වන්නේ ඉතා විශිෂ්ට නිපුණත‍වයකි. එ හෙයින් ආකාස කුසුම් අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවියක් යැයි හැඟෙන සිතිවිල්ල යුක්ති සහගත ය.
තම ලොකු නැඟණිය කැනඩාවේ සිටිමින් තමා වෙත එවන ලද සුහද ඇරියුම සහිත ලිපිය කියැවීමෙන් මද අස්වැසුමකින් සුසුම් හෙලන සන‍ධ්‍යා රාණි ආපසු හැරී ගෙතුළට යන්නේ යළි තමා පෙළෙන තනිකම පිළිබඳ බිය හා කාංසාව වෙත ළං වෙමිනි. ඇය තම යටපත්කරන ලද අතීතය සහිත හුදෙකලා ආධ්‍යාත්මය මොහොතක ට සනහන බළලා වෙත ට ආහාර බඳුනක් ළංකරනු ඉක්බිතිව දිස් වේ. සන‍ධ්‍යා රාණිගේ අඳුරු ඇතුළු හද ගැඛෙහි තවත් පැතිකඩක් වෙත මෙම රූප රාමුවෙන් අධ්‍යක‍ෂවරයා එල්ලකරන්නේ විනිවිද යන ආලෝක කදම්බයකි. තරුණ බළලා සන‍ධ්‍යා රාණිගේ තනිකම ත්, ජීවිතාශාව ත්, සමාජ සම්බන්ධතාවයන් කෙරෙහි දක්වන ඇල්මත් මූර්තිමත් කරන්නක් වැනි ය. සන‍ධ්‍යා රාණි ට මේ සමාජය අතහැර දමා යා නො හැක.
එදිනෙදා ආර්ථීක තත්වය රඳා පවත්වාගනු වස් ඇය කරන්නේ, අතුරුපස සාදා කඩවලට යැවීම යි. මේ කාර්යය ඇය කරන අයුරු අධ්‍යක‍ෂවරයා සීරුවෙන් කලබලයෙන් තොර ව සවිස්තර ව කැමරාව ට නඟයි. ධ්වනිපූර්ණ - අර්ථවත් කෙටි සංවාද ද භාවිත කෙරෙමින්, සන‍ධ්‍යා රාණියගේ දෛනික හැසිරීම රූපගත කෙරෙන ආකාරය ප්‍රේක‍ෂක මනැස ඒ වෙත රඳවා ගැනීමේ පණවත් ආකර්ෂණයකින් යුක්ත ය. සමස්ත සිනමා කෘතිය පුරා ගලායන මෙම රූප රිද්මය, සන‍ධ්‍යා රාණිය පිළිබඳ බාහිර කාරණා මෙන් ම ඇගේ ඇතුළු ආධ්‍යාත්මයෙහි අඳුරු ඉසව් කෙරෙහි අප මනැස ස්පර්ශය කිරීම ට අවශ්‍යය මෙවලම් සකස්කොට ඉදිරිපත් කෙරෙයි. සිය රූප රචනය තුළ සැලසුම්කළ අන්තර්ගතය, ජීවන දෘෂ්ටිය, ළයමානය හා බැඳුණු සිද්ධි දාමයත් භාවයෙන් හා අර්ථයෙන් නිසඟව සිනමා කෘතියට දක්වන දායකත‍වය ඉතා ප්‍රබලය.
මාලනී ෆොන්සේකා රංගධාරිනිය ඇතුළු ව දිල්හානි ඒකනායක, නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු හා ජයනී සේනානායක අධ්‍යක‍ෂවරයා විසින් තිරනාටකයෙහි පටන් සැළසුම් කළ සිද්ධි මාලාවට තම විශිෂ්ට සහභාගීත‍වය දක්වමින්, අධ්‍යක‍ෂවරයාගේ සංකල්පනය ජීවමාන කරනුයේ සිනමා කෘතියෙන් දනවන්න ට තිඛෙන භාවමය ගති හා අර්ථය ධ්වනය වන්නට අවකාශ සලසමිනි. ප්‍රවීණ මෙන් ම ප්‍රතිභා සම්පන්න, විචක‍්ෂණ රංග විඥානයකින් සපිරි මාලනී, දැඩි සංයමයකින් යුක්ත ව ඖචිත්‍ය වූ - විශ්වාසනීය ඉරියව් හා සාත්වික අභිනයෙන් මුහුණේ ගැඹුරු හැඟීම් මුදවා හරිමින් කරන ප්‍රතිනිර්මාණ රංග කාර්යය අති විශිෂ්ට බව ට අන්තර්ජාතික සම්මානයෙන් පවා සාධක සහිත ව සමිමත ව ඇත. නිම්මි හරස්ගම, කෞශල්‍යා ප්‍රනාන්දු දිල්හානි ඒකනායක හා ජයනි සේනානායක ද අධ්‍යක‍ෂවරයාගේ තිරනාටකයෙහි පබැඳි අවස්ථාවනට හෘදයාංගම ලෙස සහභාගී වෙමින් දක්වන භාවපූර්ණ රංගනය අධ්‍යක‍ෂවරයාගේ සිනමා කවිය ප්‍රේක‍ෂක සිත්-සතන්වලට සාර්ථක ලෙස ධ්වනය කරන්න ට තරම් ප්‍රබල ය, ව්‍යක්ත ය.
ආකාස කුසුම් සිනමා කෘතියෙහි කැමරාකරණය ඛෙහෙවින් ව්‍යක්ත ය. සන‍ධ්‍යා රාණි ඇතුළු ස්ත්‍රී චරිතයනගේ අභ්‍යන්තර සිතිවිලි පවා සූචනය කෙරෙන සමීප රූප හා මධම සමීප රූපවලින් යුක්ත රූපරාමුවලින් ඛෙහෙවින් සමන්විත ය.
සමස්ථ චිත්‍රපටය පුරා කැමරාව ප්‍රේක‍ෂක සිත්-සතන්වල සමාධිය බිඳ නො දමමින් දැඩි සංයමයෙන් භාවිත කෙරෙන්නේ නියමිත කලාත්මක වින්‍යාසයකිනි. කැරෝකේ සමාජශාලාවල ඇතුළත රාත්‍රී දර්ශනවල පවත්නා විසිතුරු ආලෝකධාරා උපයෝගීකොටගෙන ඇත්තේ සඟවා ගත් රහස් ඇති ගුප්ත මායාමය ලෝකයක ස්වභාවය සිහිගැන්වෙන පරිද්දෙනි.
සමස්තයක් වශයෙන් ගත් කල ආකාස කුසුම් සිනමා කෘතිය, එක්තරා සමාජ පැතිකඩක දිලිසෙන ස්ත්‍රී ආත්මයන්ගේ සැප - දුක් චිත්‍රණය කෙරෙන ආත්ම විවරණයක් සේ සැළකිය හැකි ය. මෙහි දී සන‍ධ්‍යා රාණි තම පසුතැවිලි සහිත නටඹුන් ජීවිතය තුළින් ම ප්‍රතිනිර්මාණය කරගන්නා නව ජීවිතය වූ දියණියගේ දරුවා තම තුරුලට ගැනීම වූ කලි - සන‍ධ්‍යා රාණි වැනි චරිතයනට එල්ල කළ සුභවාදී වූ ආලෝක ධාරාවක් වැනි ය. ලෝකයේ බිහි වූ තාරකා ගුණැති නළු, නිළි ඇතැමෙකු මත්ද්‍රව්‍ය ආදිය ගෙන පසුතැවිල්ල නැතිකරගන්නට ගොස් පරවී ගිය අයුරු ත්, එ වැනි ඇතැම් කෙනෙකු ළමයින් උදෙසා, අනාථයන් උදෙසා ආදී වශයෙන් කැපවීමෙන් ජීවිතයේ සැනසුම ලැබූ අයුරු ත් නිතැතින් ම අප සිහියට නැගේ. කෙලෙස හෝ ප්‍රසන්න විතානගේ නමැති කෘතහස්ත - ප්‍රතිභා සම්පන්න සිනමා අධ්‍යක‍ෂවරයාගේ ව්‍යක්ත තිර නාටක රචනයෙහි ද, විචක‍ෂණ සිනමා නුවණෙහි ද කෞශල්‍යය මැනැවින් විදහාපාන ආකාස කුසුම් සිනමා කෘතිය අප සිනමාවට කිහිප ආකාරයක මෙහෙයක් ඉටුකරන බව පැහැදිළි ය. සිනමාව හා සම්බන්ධ තාරකාවන්ගේ සිහිනමය වූ මායාමය ජීවිතය විනිවිද ගොස් ඔවුන්ගේ සැබෑ වූ ජීවිතය සොයා ගන්නට ප්‍රේක‍ෂක අප ට ආකාස කුසුම් දොරටු විවර කරන්නේ ප්‍රථම වරට ය. එය සිනමාවෙන් සිනමා ජීවිතය ගවේෂණය කිරීමකි. එසේ ම සිනමා රූපී බවින් යුක්ත ව ජීවිතානුභූතියක් අත්විඳින්න ට ප්‍රේක‍ෂකයනට මනා අවස්ථාවක් සලසා දෙන උසස් ප්‍රයත්නයකි. එය හුදු කතාන්දරයකින් තොර ව සිනමානුභූතියක් මුදවා හරින්නට ගත් දැනුවත් ප්‍රයත්නයකි. එ ලෙස ම සංවිධිත තිර රචනයක ගැබ් කළ සිද්ධිමාලා හා හැඟීම්, උපායශීලී දක‍ෂ අධ්‍යක‍ෂණයෙන් ඉතා විශිෂ්ට ලෙස භූමිකා රංගනයෙන් මුදවා හරින දුලබ ගණයේ සිනමා කෘතියක් ද වෙයි. එනයින් ආකාස කුසුම් ප්‍රේක‍ෂක අපගේ නුවණෙහි හා රස වින්දනයෙහි නිම්වළලූ පුළුල් කරන්නේ යැයි පැවසිය හැකි ය.

එඩ්වින් පීරිස්

Sunday, August 9, 2009

තහනම් ගහේ ගෙඩි

ලිංගිකත්වය තහනම් කළ යුතුයැයි සිතන්නෝ සදාචාර සමාජවල බහුලව සිටිති.ආහාර ගැනීම, නින්දට යෑම, මෙන්ම ලිංගික ක්‍රියාවන්ට පෙළඹීම මූලික මනුෂ්‍ය අවශ්‍යතාවයන් බව උගත්හූ පෙන්වා දෙති. සියලු ජීවීන් තම වර්ගය බෝකිරීමේ ක්‍රියාවලියක යෙදෙන අතර මිනිසා ඒ සදහා ස්ත්‍රී පුරුෂ රමණය හෙවත් සංවාසය උපයෝගි කර ගන්නේ ස්වභාවිකවමය. පුරැෂයා සහ ස්ත්‍රිය මැවූ දෙවියන් වහන්සේටවත් ඒ මිනිසුන්ගේ ලිංගික ක්‍රියාව නැවැත්වීමට බැරිවූ බව බයිබලයෙහි සදහන් වෙයි. බුදුනු සාහිත්‍යයෙහිද ලිංගික ආශාව නිසා ගැහැනුන් සහ පිරිමින් සිදු කළ බොහෝ මිනිස් හැසිරීම් විවිධාකාරයෙන් විස්තර කරමින් ජීවිතය මේ යැයි පෙන්වා දීමට උත්සාහ ගෙන තිබෙනු දැකිය හැකිය. එම නිසා මිනිස් ජීවිතය හා සම්බන්ධ පැතුම්, බලාපොරොත්තු, ක්‍රියාකාරකම්, ප්‍රශ්න ගැටලු යනාදී සියල්ලම ලිංගිකත්වය මත පවතින බව කීම බොරැවක් වන්නේ නැත. මිනිසකුගේ ලිංගික උත්තේජනය බැලීමෙන්, ඇසීමෙන් , දැකීමෙන්, ස්පර්ශයෙන් හා සිතීමෙන් මිනිසා තුළ අසුරු සැණින් පැන නගී. මෙය පාලනය කරන්නට මිනිසා තමන්ගේම උඩු සිතෙහි පවත්නා ශිෂ්ටාචාරය, සදාචාරය, සිරිත්විරිත්, නීති රීති, දඩුවම් ආදිය පිළිබද හැගීම් උපයෝගී කර ගනී. ඉහතකී හැගීම් වලින් ලිංගිකාශාව යටපත් කර ගැනීමට අපොහොසත් ස්ත්‍රිය හෝ පිරිමියා සැහැසි ලෙස හෝ ලිංගිකාශාව තෘප්ත තර ගැනීමට මාන බලයි. ඒසදහා නොයෙක් උපා උපක්‍රම යොදා ගනී. බොහෝ කාම අපරාධ ද සිදුවන්නේ එවිටය. ඒ නිසා යම්කිසි දෙයකින් ලිංගිකාශාව වැඩෙන්නේ නම් ඒදෙය මිනිසාට අහිතකර විය හැකිවන්නේ ඉන් බොහෝ වැරදි සිදුවන බැවිනි. යම් කලා හෝ සාහිත්‍ය කෘතියක් මිනිසාගේ කාම තෘෂ්ණාව අවුස්සන්නේ නම් එම කෘතිය සමාජයට අහිතකර බැවින් එය තහනමට ලක් කිරීම සාධාරණය.එසේම යම් කලා සාහිත්‍ය කෘතියකින් මිනිසාගේ කාමාශාව අවුස්සන්‍ නේ නැතිව ලිංගිකත්වයේ සැටි අදාළ දර්ශන සංයමයකින් යුතුව දර්ශනය කරමින් පවා ජීවිත විවරණයක් ලෙස පෙන්වන්නේනම් එය සමාජයට ජීවිතාවබෝධය සපයන කෘතියක් බැවින්එය සුදුසු ලෙස වර්ග කොට සමාජගත කිරීම කළ යුතු යුතු කමකි. අපගේ ඇතැම් ජාතක කතාවල ලිංගිකත්වය විවරණය කෙරෙන්නේ ඉහත සදහන් පරිදි සංයමයෙන් යුතුව මිනිසා නැණවත් කරවන පරමාර්ථයෙන් යුතුවය. එම නිසා නිර්මාණ කෘතිය ලිංගික දර්ශන දක්වමින් කරන්නේ හැගීම් ඇවිස්සීමද නැතිනම් සංයමයකින් යුතුව යථාර්ථය ගෙනහැර පෑමද යන්න විමසා බලා සුදුසු ලෙස කටයුතු කිරීම පාලක මණ්ඩල වල තදබල යුතුකම හා දැඩි සමාජ වගකීමයි. සාහිත්‍ය කලා කෘති තෝරා දෙන මණ්ඩල වලට පත් කළ යුත්තේ කෘතියක ගුණ අගුණ තේරෙණ පුද්ගලයන් මිසක වෙනත් සුදුසුකම් ඇති අන්ධ බාලයන් නොවෙ. එසේ නැති නම් හිසේ වසා සිටින මැස්සා පළවා හරින්නට පියාගේ හිසට පොරවෙන් කෙටූ පුතා මෙන් කටයුතු කෙරෙන්නට වාරණ මණ්ඩල වලට ඉඩ කඩ ඇති විය හැකිය.

Tuesday, August 4, 2009

හෙට දවසේ සිනමාවෙත් පරණ කතන්දරය? ජූලියා julia

යෞවනයේ පසුවන චරිත් අබෙසිංහ ගේ කුළුදුල් නිෂ්පාදනය වීමත් එය තිරගත කිරීමෙදී දෙන ලද දැවැන්ත ප්‍රචාරක සත්කාරයත් එම චිත්‍රපටයෙහි ප්‍රේක්ෂකයින් බවට පත්වීමට අපට දිරිදුන් කරුණු ය.කිසියම් ප්‍රමාණයක යහපත් සිනමා වින්දනයක් හා නැවුම් අත්දැකීමක් ලැබ ගැනුම අප ගේ අරමුණ විය. එහෙත් ජුලියා ප්‍රේක්ෂක යා‍ෙග් උසස් බලාපොරොත්තු යම් තරමකින් හෝ බිද දැමූ චිත්‍රපටයක් බව එය නරඔානිමාවත්ම අපට දැනෙන ප්‍රබලම තම්පනයයි. තරුණ ජවයෙන් යුක්ත සිනමා නිමවුම් කරුවන්‍ ගේ ආගමනය හෙයින් එය ඉත සිතින් පිළි ගැනුමට බලා සිටි සමස්ත ප්‍රේක්ෂක ජනතාව ගේ බලාපොරොත්තු ඉටු කළා නම් සිනමාවෙ දියුණුව පතන සැමගේ සතුටට හේතු වන්නට තිබිණි.
නවීනතම කැමරා තාක්ෂණය හා ශබිද තාක්ෂණය සාර්ථක අයුරින් යොදා ගත් ජූලියා හී කැමරාකරණය මගින් අප නෙතට හසුකර දෙන දෙස් හා විදෙස් දර්ශනාවලිය අපූර්ව චමත්කාර යෙන් යුක්තය. යොවුන් ජීවිතයේ චමත්කාරයත් සැහැල්ලු බවත් සැහැල්ලු බවත් දනවමින් මනා ලෙස වර්ණයෙන් සිත්තම්වන සජීවි රූප රාමු පෙළ ප්‍රසංසා කළ හැකි තරමට අප සිත් වසග තරවයි.එසේම භුමිකාවන්ගේ රංගනය ගලා යෑමද සමෝධානික ව්‍යක්ත සංස්කරණයෙන් උද්දීපනය වන අයුරුද අපගේ රසවිදීමට ලබා දෙන්නේ උසස් රුකුලකි. නදීෂා හේමමාලී. චරිත් අබෙසිංහ. සසන්ති ජයසේකර. හා සමිපත් ශ්‍රී රෝෂාන්. දුර්වල තිර කතාව විසින් තමන් වෙත පවරන ලද නොගැඹුරු වූ චරිත පාත්‍රයන් දුෂ්කර ලෙස ගොඩ නැගීමට ආයාසකර ප්‍රයත්නයක් දරති.ඹවුන්ගේ රංගනයේ සාධනීය මානයන් ඇති අතර චරිත තුළ ජීවත් වීමෙදී ඹවුන් දක්වන කුසලතාව බෙහෙවින් අගය කළ හැකිය. සංගීතයද තාරුණ්‍යයේ හැගීම්වල ඇති උද්වෙගකර බවත් තේමාවෙ පවත්නා අභ්‍යන්තර ඛෙදනීය ස්වභාවයත් දැනවීම පිණිස තාක්ෂණය උපයෝගි කරගෙන සංයෝජනය කොට ඇති අයුරු අගය කළ හැකිය. මෙම චිත්‍රපටයෙහි අනුසාංගික අංග බොහොමයක් ප්‍රසස්ථය. එහෙත් තම කුසලතා උපරිම කලාත්මක බවකින් යෙදීමට ශිල්පීන් ගෙන ඇති උසස් ප්‍රයත්නය අපතේ ගොස් ඇති සැටියක් පෙනෙන්නේ ඹවුන් ඒ සියල්ල කැපකොට ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නට උපරිම ප්‍රයත්නය දරන්නේ දුර්වල තිර පිටපතකට ගොනුවූ නො ගැඔරු සුලබ කතා පුවතකට පමණක් වීම නිසාය. මෙහි අන්තර්ගත කතා පුවත මීට දශක දෙක තුනකට පෙර පටන් දමිළ සිනමාවෙත් හින්දි සිනමාවෙත් හම ගැසූ වටිටෝරුගත කතා පුවතට සමානය. එයද ඉදිරිපත් වන්නේ නොගැඔුරු බයස්කොප් කතා පුවතක් ලෙස පමණය.භූමිකාවන්ගේ බාහිර අභ්‍යන්තර ලක්ෂණ යම් තරමකින්වත් පැසුණු තත්‍ය විලාසයකින් නිරූපණය කිරීමක් මෙහි සිදු නොවෙයි. නව විලාසවලින් සැරසුණු නව යොවුන් රංග ශිල්පීන් විසින් නව්‍ය පරිසරයක තබා මේ රගන්නේ පරණ ප්‍රතික්‍ ෂේපිත කතාන්දරයක් බව ප්‍රේක්ෂකයාට චිත්‍රපටයේ මුල පටන්ම වැටහෙන්නට පටන් ගනියි.කරලියද්ද බණ්ඩාරගේ චරිතය රග දක්වන ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහ හඩින් කෑගසා කරන ගෝෂාකාරී සංවාදයත්,එක පිට එක සිද්ධවන සිද්ධි සන්නිපාතයත් හමුවේ තමන්ට හුරු අභ්‍යන්තර ගති සොබා රූපණය කෙරෙන රංගනයක් කරන්නට අවස්ථාව නැතිව අසරණවන අයුරුත් දිස්වෙයි.මෙම චිත්‍රපටයෙහි රොබින් ප්‍රනාන්දු ,වීණා ජයකොඩි, හා ශ්‍රියන්ත මෙන්ඩිස් ට මතු පිටින් පෙනී සිටිනවා හැරෙන්නට හොද රංගනයක් කරන්නට අවස්ථා ගොඩ නැගී නැති බව පෙනේ.අන්තර්ගතය ගොඩ නගන්නට උපයොගි කරගන්නා සිද්ධි දාමය සහිත අවස්ථා බොහොමයක්ම අතාර්කික ස්වභායෙන් යුතුව රස නිෂ්පත්තියෙහි අසමත්ව පවතී. සිය නැගණිය කෙළෙසා ඇයව මරණයට ළං කරවන්නට කටයුතු කළ මිතුරාගෙන් පළි ගැනීමෙ තිර අදිටනින් ඔහු ලුහු බැද ලංකාවට එන දේව් දිල්රූ මරා දැමීමට ගත් තීරණය ලංකාවෙදී වෙනස් කරන්නේ පිළි ගත නොහැකි කරුණක් මතය. ජූලියා වෙනුවෙන් එවැනි ප්‍රබල චිත්ත විපර්යාසයක් සිදු කිරීමට තරම් ඇය හා ඔහු අතර ගොඩ නැගුණු ගැඹුරු අවබෝධය හෝ මානුෂීය බන්ධනය තුමක්දැයි යන්න ප්‍රේක්ෂක සිතට විමතියක්ව පැන නැගේ. එවැනි අවස්ථා බහුලව ඇති බැවින් මෙම චිත්‍ර පටය සුලබ ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයකින් ඔබ්බට නොයයි. මිතුරා මරා දැමීමට ගත් ප්‍රබල තීරණය මෙහිදී වෙනස් කරන්නේ පිළිගත නොහැකි කරුණක් වෙනුවෙනි.ජුලියා වෙනුවෙන් එම පරිත්‍යාගය කිරීමට තරම් ජුලියා හා ඔහු අතර ඇතිවූ ගැඹුරු අවබෝධය හෝ මානුෂීය බන්ධනය කුමක්දැයි පැහැදිළි නැත. එය විකාශය කොට ඇති ආකාරයෙන් ප්‍රේක්ෂක සිතට එම වෙනස් වීම පිළි නොගැනෙන බව පැහැදිළිය.එවැනි අවස්ථා බහුලය.දුර්වල විකාශනයක් සහිත කතා පුවතක් තෝරා ගැනීම අධ්‍යක්ෂවරයාගේ ප්‍රබලම දුර්වල තාවක් බව පැවසිය යුතුව ඇත. සිනමාව එහි කැමරාකරණය,අධි තාක්ෂණ ශබිද ,මන බදනා දර්ශන පසුබිම්,ප්‍රසස්ථ රූප කෝණ,උසස් අංග රචනය ,ඇදුම් පැළදුම් නළු නිළියන් හා සංගීතය ආදී අංගයන්ගේ ඖචිත්‍යවූ සමායෝජනය සදහා පමණක් නම් ජූලියා හොද සිනමා භාවිතයකි.මෙම සදහන් කාර්යයන් දැනුවත් ව්‍යක්ත ස්වරූපයකින් ගොඩ නැගී ඇත.එහෙත් මේ සියල්ලේ එකතුවෙන් ප්‍රේක්ෂක වින්දනයට තුඩුදෙන ආනන්දනීය නැවුම් අන්තර්ගතයක් නොමැතිනම් ඉහතකී අංගයන්හී ප්‍රසස්ථ භාවයෙන් කවර ප්‍රයෝජනයක් සිදුවේද? සිනමාවට ආගමනයවන අපේ අභිමානවත් යොවුන් පෙළ ගැන ප්‍රේක්ෂක අප තුළ ඇත්තේ ආඩම්බරයකි.ජූලියා නිර්මාණ ප්‍රයත්නයේ නිෂ්පාදක චරිත් අබේසිංහ හා අධ්‍යක්ෂ සම්පත් රෝෂාන් ගැනත් අප ආඩම්බරවන්නේ සිංහල සිනමාව වෙනුවෙන් ඔවුන් ගත් අභීත පියවර ගැනයි.මතුවටත් ඔවුන්ගේ සහභාගිත්වය ප්‍රේක්ෂක ජනතාව බලාපොරොත්තු වෙයි. ජුලියා කෘතියෙන් ඔවුන් විදහා දැක්වූ දියුණු නව සිනමාවක් කෙරෙහි තමන් තුළ ඇති භක්තියත් හැකියාවත් කවුරුත් අගය කරති.එම විශිෂ්ට නැඹුරුව එලෙසම රැක ගනිමින් හෙට දවසේ වඩාත් ප්‍රබල නවමු අන්තර්ගතයක් මගින් තම දුර්ලතාව ජය ගනිමින් ප්‍රේක්ෂක ඇස සිත හා නැණැස සනහනු ඇතැයි බෙහෙවින් බලාපොරොත්තු තැබිය හැකිය.

එඩ්වින් පීරිස්.

Monday, July 13, 2009

ශ්‍රී ලාංකික සිංහල දමිළ සිනමාව

ශ්‍රී ලාංකික දමිළ සිනමාවක්

ශ්‍රී ලාංකික ජාතිකත්වය සමස්ත ජනතාව තුළ වර්ධනය කිරීමට ප්‍රබල මාධ්‍යයක් වශයෙන් සිනමාවට ඇති හැකියාව උපයෝගි කොට ගත හැකි බව කවුරුත් පිළිගන්නා කරුණකි. මෙහිදී රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට කළ හැකි සේවය අපමණය.
ශ්‍රී ලාංකික දමිළ විත්‍රපට බිහි කිරීමටත් එමගින් සකල ලෝකවාසී දමිළ ජනතාවට මෙන්ම ශ්‍රී ලාංකික සිංහල දමිළ ජනතාවට ඔවුනොවුන් පිළිබද සුහදතාව ආදරය විශ්වාසය හා අවබෝධය පුලුල් කිරීමටත් චිත්‍රපට සංස්ථාව මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති වීම කනගාටුවට කරැණකි. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව‍ට කල හැකි දේ..

1.ශ්‍රී ලාංකික සිංහල දමිළ පොදු ජන ජීවිතය අව්‍යාජව නිරූපණය කෙරෙන දමිළ සිනමාවක් සදහා ලංකාවෙ කලාතරුවනට ඇරයුම් කිරීම, ඉදිරිපත්වන අයට දිරිදීමි ලබා දීම
2.විදේශවල සිටින සිංහල දමිළ ජනතාවට ශ්‍රී ලාංකික සිංහල හා දමිළ චිතුපට නරඹන්නට අවස්ථා ලබාදීමෙ ක්‍රම සමිපාදනය.

3.දකුණු ඉන්දීය චිත්‍රපට මෙරටට ගෙන්වීම හුවමාරැ ක්‍රමයකට සිදුකරමින් ලාංකික දමිළ චිත්‍රපට අනිවාර්යයෙන්ම ඉන්දියාවට යැවීමෙ ක්‍රම සමිපාදනය කිරීම.

කලාකරැවන් මෙ සදහා තම හඩ අවදිකළ යුතු කාලයයි .

ඉහත සදහන් වැඩ පිළිවෙල මගින් ශ්‍රීලාංකික අනන්‍යතාවක් සහ අභිමානයක් සමස්ත ජනතාව තුළ වර්ධනය වනු ඇත. එසේම ශ්‍රීලාංකික ජනතාවට ඔවුනොවුන් හඳුනා ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් ඉක්මන් පහසු අවස්ථාව උදාවනු ඇත.